සමිට්පුර චතූ දෙවැනි වරටත් රතු වරෙන්තු පිට ලංකාවට ගෙනෙයි... පළමු වර ගෙනාවේ ඩුබායි සිට... දෙවැනි පාර ඕමානයෙන්...
මීට වසර දෙදකකට පෙර රතු වරෙන්තු පිට ලංකාවට කුදලාගෙන පැමිණි සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් වූ සමිට්පුර චතූ නැමැත්තා ඇප ලැබීමෙන් පසු දිවයිනෙන් පැනගොස් සිටිය දී නැවත වරක් රතු වරෙන්තු මතම අත් අඩංගුවට ගෙන ඕමානයේ සිට දිවයිනට ගෙන්වීමට කටයුතු කර තිබේ.
LSN Sri Lanka ·

‘සම්මිට්පුර චතු’ ඕමානයේ සිට මෙරටට ගෙනෙයි: වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දෙයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන දිමුතු චතුරංග හෙවත් ‘සම්මිට්පුර චතු’ (සමිත්පුර චතු) නැමැත්තා ඕමානයේ සිට අද (2026 අගෝස්තු 18) අලුයම මෙරටට ගෙනැවිත් තිබේ.
කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් ඔහුව භාරයට ගෙන ඇති අතර, පසුව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) වෙත භාර දී ඇත.
ඉන්ටර්පෝල් සංවිධානය මගින් ඔහුට එරෙහිව රතු නිවේදන (Red Notice) නිකුත් කර තිබූ බව පොලිසිය තහවුරු කරයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ, මනුෂ්‍ය ඝාතන, තවත් බරපතල ගණයේ අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අත්බෝම්බයක් ළඟ තබා ගැනීම යන චෝදනා සම්බන්ධයෙන් මෙම සැකකරු අවශ්‍ය කර සිටි බවය.
මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු 28 හැවිරිදි වියේ පසුවෙයි. ඔහු සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අතර, ඔහුගේ නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක වේ.
පසුබිම
මීට පෙර 2024 ජූලි මාසයේ දී ද එවකට 26 හැවිරිදි වියේ පසුවූ මට්ටක්කුලිය සමිට්පුර පදිංචි දිමුතු චතුරංග පෙරේරා ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙරටට ගෙන එන ලද සංවිධානාත්මක අපරාධ සැකකරුවන් දෙදෙනා අතර සිටියේය. ඔහු සමග දිනේෂ් සමන්ත හෙවත් බබී නැමැත්තා ලංකාවට රැගෙන ආවේය. එම අවස්ථාවේ දී ද ඔහුට එරෙහිව රතු නිවේදන නිකුත් කර තිබිණි.
එම අවස්ථාවේ දී ඔහුව වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දීමට පියවර ගෙන තිබුණි. මෙම පුද්ගලයා ඇප මත නිදහස් වූ පසු නැවත රහසින් දිවයිනෙන් පැන ගොස් ඕමානයට වී ස්වකීය සුපුරුදු පාතාල ක්‍රියාකාරකම් කරමින් සිටියේය.
සංවිධානාත්මක අපරාධ සහ ඊට අනුබල දීමේ සිදුවීම්වලට සම්බන්ධව රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් නැවත මෙරටට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා පොලීසිය ක්‍රියාත්මක කරන මෙහෙයුම්වල තවත් එක් පියවරක් ලෙස ඕමානයේ සිට මොහුව මෙසේ ගෙන එනු ලැබීය.
සැකකරුගේ අපරාධ ක්‍රියාකාරකම් පිළිබඳ ඉදිරි විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අඛණ්ඩව සිදු කෙරේ.