LSN News › Sri Lanka

මෙවර මහ කන්නයේ වගා කටයුතු ඔක්තෝම්බර් 01 දා සිට - නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න

මෙවර මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම, අවසන් වතුර මුරය නිදහස් කිරීම සහ අස්වනු නෙළන දින වකවානු මෙන්ම එළඹෙන යල කන්නයට අදාළව ද එකඟතා රැසක් මෙහිදී ඇති කර ගනු ලැබූ අතර, ඊට ගොවි සංවිධාන නියෝජිතයන්ගේ අනුමැතිය හිමි විය.

LSN Sri Lanka · 20 September 2026

මෙවර මහ කන්නයේ වගා කටයුතු ඔක්තෝම්බර් 01 දා සිට - නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න

මෙවර මහ කන්නයේ වගා කටයුතු ඔක්තෝම්බර් මස 01 වැනිදා සිට ආරම්භ කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

මහ කන්නයේ සහ 2027 යල කන්නයේ වගා සැලැස්ම මෙන්ම වාරි ජලය බෙදා හැරීම සම්බන්ධයෙන් ගන්නෝරුව තොරතුරු තාක්ෂණ ආයතනයේදී (18) පැවැති තීරණාත්මක සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.

මහ කන්නයේ සහ 2027 යල කන්නයේ වගා සැලැස්මට අනුකූලව මහා වාරිමාර්ගවල ජලය බෙදා හැරීම සම්බන්ධ අවසන් සාකච්ඡාව සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්, නිවාස හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් යන අය සහභාගි වූහ.

එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මහවැලි ජල කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, පොහොර ලේකම් කාර්යාලය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරමින් අමාත්‍යාංශ ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන්, අදාළ කලාප කළමනාකරුවන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයෝ ද ඊට එක්ව සිටියහ.

මෙවර මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම, අවසන් වතුර මුරය නිදහස් කිරීම සහ අස්වනු නෙළන දින වකවානු මෙන්ම එළඹෙන යල කන්නයට අදාළව ද එකඟතා රැසක් මෙහිදී ඇති කර ගනු ලැබූ අතර, ඊට ගොවි සංවිධාන නියෝජිතයන්ගේ අනුමැතිය හිමි විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මෙසේ ද පැවසීය:

"ඔක්තෝම්බර් මස 01 වැනිදායින් වගා කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව ගොවීන් ජනවාරි මස මැද භාගයේදී අස්වනු නෙළීමට සූදානම් විය යුතුයි. ලබන වසරේ ජනවාරි හා පෙබරවාරි මාසවලදී රටේ දැඩි නියං තත්ත්වයක් ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විද්‍යාත්මක දත්ත පදනම් කර ගනිමින් පුරෝකථනය කර තිබෙනවා.

මෙම කාලයේදී ජලාශවල පවතින ජලය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන මෙම වගා සැලැස්ම සකස් කළා. ඉදිරි යල කන්නය ගැන ධනාත්මකව සිතීමට හැකි වන්නේ මේ අනුව ක්‍රියා කිරීමෙනි. ගොවි නායකයන් සියලු දෙනා මෙම වගා සැලැස්මට එකඟතාව පළ කිරීම තුළින් අතිසාර්ථක මහ සහ යල කන්නයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා.

බිම් සකස් කර වගා කටයුතු ආරම්භ කිරීම වැසි ජලයෙන් සිදු කිරීමට සූදානම් වන ලෙස ගොවි ජනතාවට දැනුම් දෙනවා. එසේ කිරීමට හැකි වුවහොත් ජලාශවල දැනට පවතින ජලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට පුළුවන්.

මෙවර මහ කන්නයේදී මාස හතරේ වැඩිමහල් වී වෙනුවට මාස තුනහමාරේ හෝ තුනේ වී වගා කරන ලෙස ගොවීන්ට නිර්දේශ කර තිබෙනවා. පොහොර සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති කර නොගෙන වගා කටයුතු ආරම්භ කරන ලෙස දැනුම් දෙන අතර, අවශ්‍ය පොහොර තොග යම් ප්‍රමාණයක් මේ වන විටත් රට තුළ පවතිනවා.

වගා කටයුතුවලට කිසිදු ආකාරයකින් බාධාවක් නොවන ලෙස පොහොර හා රසායනික ද්‍රව්‍ය රටට ගෙන ඒමට රජය මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා.

මල් පීදෙන අවස්ථාවේ ගොයම වැස්සට අසුවී අස්වැන්න අඩු විය හැකි බවට මතයක් පැවතුණ ද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේත් මහවැලි අධිකාරියේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේත් දත්තවලට අනුව එවැන්නක් සිදු නොවන බවට කරුණු තහවුරු වුණා".