පියයුරු පිළිකා පූර්ව හඳුනාගැනීමට නොවැම්බර් 02 දිවයින පුරා ජාතික වැඩසටහනක්!
ශ්රී ලංකාව තුළ වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000ක් පමණ වාර්තා වන අතර, වසරකට කාන්තාවන් 1,000ක් පමණ මෙම රෝගයෙන් මියයන බවත්, පියයුරු පිළිකාවක් ආරම්භක අවස්ථාවේදීම හඳුනාගතහොත් එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බවත් මෙහිදී සෞඛ්ය අමාත්යාංශ නිලධාරීන් පෙන්වා දී තිබේ.
LSN Sri Lanka ·

ශ්රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව වාර්තා වන පියයුරු පිළිකා රෝගය කලින් හඳුනාගැනීම සහ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදයේ සහ සෞඛ්ය අමාත්යාංශයේ මූලිකත්වයෙන් නොවැම්බර් මස 02 වැනිදා දිවයින පුරා විශේෂ ජාතික වැඩසටහනක් පැවැත්වීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදයේ සභාපතිනි, අමාත්ය සරෝජා සාවිත්රි පෝල්රාජ්ගේ සභාපතීත්වයෙන් එම සංසදය පසුගියදා (22) රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබිණි.

ශ්රී ලංකාව තුළ වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000ක් පමණ වාර්තා වන අතර, වසරකට කාන්තාවන් 1,000ක් පමණ මෙම රෝගයෙන් මියයන බවත්, පියයුරු පිළිකාවක් ආරම්භක අවස්ථාවේදීම හඳුනාගතහොත් එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බවත් මෙහිදී සෞඛ්ය අමාත්යාංශ නිලධාරීන් පෙන්වා දී තිබේ. බිය, ලැජ්ජාව හෝ දැනුවත්භාවය අඩුකම හේතුවෙන් ප්රතිකාර සඳහා යොමු වීම ප්රමාද වීම ප්රධාන ගැටලුවක් ලෙස ද මෙහිදී වෛද්යවරුන් පෙන්වා දී ඇත.

මේ අනුව, පාර්ලිමේන්තු මන්ත්රීවරියන් සිය ආසන හා දිස්ත්රික්ක මට්ටමින් සෞඛ්ය සායන සහ වැඩසටහන් ලබන නොවැම්බර් 02 වැනිදා සංවිධානය කිරීමට හා ඒවාට සෘජුවම සම්බන්ධ වීමට ද නියමිත බව පැවසේ. ග්රාමීය, වතු ආශ්රිත, නාගරික තට්ටු නිවාසවල කාන්තාවන් සුවනාරී සායන වෙත යොමු කරවා ගැනීමට මෙහිදී විශේෂ අවධානය යොමු කෙරේ.

දැනට වයස අවුරුදු 35-45 අතර කාන්තාවන් සඳහා වන සුවනාරී සායනවලට පැමිණෙන්නේ 50%ක පමණ පිරිසක් බැවින්, මෙය සියයට සියයක් දක්වා වැඩිකර ගැනීමට ග්රාම නිලධාරී වසම් මට්ටමින් ක්රියාත්මක කාන්තා සමිති ඇතුළු අදාළ අංශ ඒකාබද්ධ කරගනිමින් පුළුල් වැඩපිළිවෙලක් ඉදිරි වසරේදී ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. වයස අවුරුදු 35-45 අතර සියලුම කාන්තාවන් පරීක්ෂණ (Screening tests) සඳහා යොමු කිරීමේ පුළුල් වැඩපිළිවෙලක් ද ඉදිරි වසරේදී ක්රියාත්මක කිරීමට නියමිතය.

මීට අමතරව, ජනවාරි මාසයේදී පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ මූලිකත්වයෙන් ගැබ්ගෙල පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම පිළිබඳව ද අවධානය යොමු විය.

එසේම, ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අයවැයකරණය (GRP) සහ රැකවරණ ආර්ථිකය (Care Economy) පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ජාතික රැකවරණ ප්රතිපත්තිය ක්රියාත්මක කිරීම සහ අයවැය ක්රියාවලියට ස්ත්රී පුරුෂ සංවේදී ප්රතිපත්තීන් ඇතුළත් කිරීම සඳහා තාක්ෂණික උපදේශක සහාය ලබා ගැනීමට අදාළ කටයුතු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

තවද, ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමේ පනත, නඩත්තු පනත සහ ළමුන්ට කායික දඬුවම් පැමිණවීම වැළැක්වීමේ නීතිවල පවතින අඩුපාඩු නිරාකරණය කිරීම සඳහා අධිකරණ අමාත්යාංශය හා සම්බන්ධ වී එම සංශෝධන කටයුතු කඩිනම් කිරීමේ අවශ්යතාව ද අවධාරණය කෙරිණි.

පාර්ලිමේන්තුවේ නියෝජ්ය කාරක සභාපතිනි හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදයේ නියෝජ්ය සම සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්රිනි නීතිඥ චමින්ද්රාණී කිරිඇල්ල ඇතුළු කාරක සභා සාමාජික මන්ත්රීවරියන් පිරිසක් ද සෞඛ්ය අමාත්යාංශයේ නිලධාරීහු පිරිසක් ද ප්රජාතන්ත්රවාදය සඳහා වූ වෙස්මින්ස්ටර් පදනමේ (WFD) මෙරට නියෝජිතයන් පිරිසක් ද මෙම සාකච්ඡාවලට එක්ව සිටියහ.