LSN News › Sri Lanka

සෞදියේ අභියාචනයෙන් පසු මරණ දඬුවමක්ද? නබි තුමාට සහ ඉස්ලාමයට අපහාස වරදට වසර 05ක් බන්ධනාගාරගත වුන අනෝජන්ගේ කතාව...

රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කොළඹ සෞදි තානාපති කාර්යාලය සමඟ එක්ව පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවත්, රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සෞදි බලධාරීන් සමඟ අඛණ්ඩව සම්බන්ධතා පවත්වන බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

LSN Sri Lanka · 18 September 2026

සෞදියේ අභියාචනයෙන් පසු මරණ දඬුවමක්ද?  නබි තුමාට සහ ඉස්ලාමයට අපහාස වරදට වසර 05ක් බන්ධනාගාරගත වුන අනෝජන්ගේ කතාව...

ඉස්ලාමයට අපහාස කිරිමේ චෝදනාවට වරදකරු වී දැනට අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින කල්මුනේ නට්පිට්ටිමුනේ ප්‍රදේශයේ පදිංචි සිවරාසා අනෝජන් නම් ශ්‍රී ලාංකික තරුණයා විසින් සිය දඬුවමට එරෙහිව අභියාචනය ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට ලබා දී තිබූ මුල් දඬුවම මරණ දඬුවම දක්වා ඉහළ දමා ඇති බවට ඔහුගේ පවුලේ පාර්ශ්වය ප්‍රකාශ කරයි.

සැප්තැම්බර් 18 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවය. කෙසේ වෙතත්, අදාළ නිවේදනය හරහා මරණ දඬුවම තහවුරු කිරීමක් සිදු නොකළ අතර, එල්ල වී ඇති චෝදනා, අභියාචනයේ අවසන් ප්‍රතිඵලය හෝ වත්මන් නීතිමය තත්ත්වය පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය කිරීමටද කටයුතු කළේ නැත.

රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කොළඹ සෞදි තානාපති කාර්යාලය සමඟ එක්ව පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවත්, රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සෞදි බලධාරීන් සමඟ අඛණ්ඩව සම්බන්ධතා පවත්වන බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

අනෝජන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහ ලබා දිය හැකි සෑම උපකාරයක්ම ලබා දීමට පියවර ගන්නා බව පැවසූ අමාත්‍යාංශය, දැනට අධිකරණයේ ලිඛිත තීන්දුව ලැබෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටින බවද පැවසීය. එම ලිඛිත තීන්දුව ලැබීමෙන් අනතුරුව අදාළ තීරණයේ නිශ්චිත නීතිමය පදනම පැහැදිලි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සිද්ධියේ පසුබිම සහ නීතිමය තත්ත්වය

සෞදි අරාබියේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවය කරමින් සිටි අනෝජන් සිවරාසා නැමැති මෙම තරුණයාට එරෙහිව චෝදනා එල්ල වූයේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා කරන ලද අදහස් දැක්වීමක් හේතුවෙනි. එකී සටහන ඉස්ලාම් දහමට සහ නබි මුහම්මද් තුමාට අපහාස වන සුළු එකක් බවට සෞදි බලධාරීන් නිගමනය කර තිබුණි.

පවුලේ අය පවසන්නේ ශ්‍රී ලංකාවේ ආගමික ප්‍රජාවන් අතර අන්තර්ජාලය ඔස්සේ ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් අතරතුර මෙම අදහස් දැක්වීම සිදුව ඇති බවය. මෙම වසරේ කතරගම පාද යාත්‍රාව අතරතුර කල්මුනේ ප්‍රදේශයේදී සිදුවූ සුනඛයෙකු සම්බන්ධ සිදුවීමක් මුල්කරගෙන ඇති වූ මාර්ගගත විවාදයක් මෙයට පදනම් වී ඇති බව කියැවේ.

කෙසේ වෙතත්, තමා අතින් සිදු වූ වරද වටහාගත් අනෝජන්, මිනිත්තු කිහිපයක් ඇතුළත අදාළ සටහන මකා දමා, සමාව ඉල්ලා ලිඛිත සටහන් සහ සජීවී වීඩියෝ පටයක්ද නිකුත් කර තිබුණි. එසේ වුවද, එකී සටහන්වල තිර ඡායාරූප (screenshots) අන්තර්ජාලය පුරා වේගයෙන් පැතිර යාම හේතුවෙන් සෞදි අරාබිය තුළ ඔහුට එරෙහිව පැමිණිලි කිහිපයක් ඉදිරිපත් වී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස සයිබර් අපරාධ නීතිය සහ ආගමික අපහාසයට අදාළ නීතිමය ප්‍රතිපාදන යටතේ ඔහුට එරෙහිව නඩු පවරන ලදී.

සෞදි අරාබි නීති පද්ධතිය යටතේ ඉස්ලාම් දහමට හෝ නබිතුමාට අපහාස කිරීම ඉතා බරපතල අපරාධයක් ලෙස සැලකේ. මෙවැනි චෝදනා සයිබර් අපරාධ නීති මෙන්ම ශරීආ නීතියේ පුළුල් අර්ථකථනයන් යටතේ විභාගයට ගැනේ. කෙසේ වෙතත්, මෙම නිශ්චිත සිදුවීම සම්බන්ධයෙන් සෞදි රජය මෙතෙක් නිකුත් කළ නිල ප්‍රකාශයක අනෝජන්ගේ නම සෘජුව සඳහන් කර නැත.

මුල් තීන්දුව සහ අභියාචනා ක්‍රියාවලිය

පසුගිය ජූලි 15 වැනිදා අල්-අහ්සා අපරාධ අධිකරණය විසින් අනෝජන්ට වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කරන ලදී. මෙම දඬුවම් කාලය ඔහු මුලින්ම අත්අඩංගුවට ගනු ලැබූ දිනයේ සිට ගණනය කිරීමට නියෝග කර තිබුණි. ඊට අමතරව, අදාළ චෝදනාවට පාදක වූ ඉලෙක්ට්‍රොනික උපකරණය රාජසන්තක කිරීමටත්, ඊට භාවිත කළ සමාජ මාධ්‍ය ගිණුම වහාම වසා දැමීමටත් අධිකරණය නියෝග කළේය. එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා තීන්දුව ලැබුණු දින සිට දින 30ක කාලයක් හිමිව තිබුණි.

රියාද් තානාපති කාර්යාලය ලබාගත් නීති උපදෙස්වලට අනුව, අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් තීන්දුව වෙනස් වීමේ හෝ දඬුවම අඩු වීමේ හැකියාව ඉතා අවම බව දැනුම් දී තිබුණි. එසේ වුවද, පවුලේ සාමාජිකයන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රගේ උපදෙස් මත අභියාචනය ඉදිරිපත් කිරීමට පියවර ගත් බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රසමානික්කම් සඳහන් කරයි. මෙම නීතිමය ක්‍රියාවලිය සඳහා අවශ්‍ය නීති ගාස්තු ලෙස රුපියල් 1,890,766ක මුදලක් විදේශ අමාත්‍යාංශ ලේකම්ගේ ගිණුම වෙත ගෙවා ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ ලේඛනවලට අනුව, මෙම අභියාචනය අගෝස්තු 24 වැනිදා කලාපීය අභියාචනාධිකරණය වෙත යොමු කර ඇත. නමුත් අභියාචනා ලේඛන පවුලේ අයට යොමු කළ ලිපියෙහි සඳහන්ව ඇත්තේ සැප්තැම්බර් 16 දිනැති දිනයකි. අභියාචනා නඩුව සඳහා ඇඩ්ලාන් අබ්දුල්ලා අල්-සුබායි නැමැති නීතිඥවරයා නම් කර තිබුණද, අධිකරණයේදී වෙනත් නීතිඥයෙකු පෙනී සිට ඇති බවත්, ඔහුගේ අනන්‍යතාව හෝ සම්බන්ධ කරගැනීමේ තොරතුරු පවුල වෙත ලබා දී නැති බවත් පවුලේ අය චෝදනා කරති.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රසමානික්කම් ලබන සතියේදී පාර්ලිමේන්තුවේදී මෙම සමස්ත ක්‍රියාවලිය පිළිබඳව රජයෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වේ. අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා ස්වාධීන හා පළපුරුදු නීති නියෝජනයක් ලබා දෙන ලෙසත්, අධිකරණය හමුවේ තවදුරටත් ඉදිරිපත් කළ හැකි අභියාචන (Legal Appeals) මෙන්ම, ඊට අමතරව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් හෝ රාජකීය සමාව (Clemency/Mercy Options) ලබා ගැනීම සඳහා ඇති හැකියාවන් අනුගමනය කරන ලෙසත්, ඉහළම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඊට මැදිහත් වන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා වාචිකව තානාපති කාර්යාලය වෙත දන්වා ඇත්තේ මුල් දඬුවම මරණ දඬුවම දක්වා ඉහළ දමා ඇති බවය. එසේම එම අභියාචනා තීන්දුවට එරෙහිව මාසයක කාලයක් ඇතුළත සෞදි උත්තරීතර අධිකරණයට නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවද නීතිඥවරයා දැනුම් දී ඇත. පවුලේ අය සමඟ සාකච්ඡා කර අදාළ කාල සීමාව ඇතුළත උත්තරීතර අධිකරණයට අභියාචනා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ අමාත්‍යාංශයේ අභ්‍යන්තර මූලාශ්‍ර ප්‍රකාශ කර තිබේ. මෙම බරපතල තත්ත්වය පිළිබඳව කොළඹ සිටින සෞදි අරාබි තානාපති කාර්යාලයේ කාර්යභාර තානාපතිවරයා සමඟද සාකච්ඡා කර ඇති අතර, ශ්‍රී ලංකා රජයේ සහ පවුලේ දැඩි කනස්සල්ල ඊට පළ කර ඇත.

ශ්‍රී ලංකා රජය මීට පෙර රාජකීය සමාව ලබා ගැනීම හෝ දඬුවම ලිහිල් කර ගැනීම ඇතුළු රාජ්‍යතාන්ත්‍රික විකල්ප කෙරෙහි අවධානය යොමු කර ඇති බව පසුගිය අගෝස්තු මාසයේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්සද සඳහන් කළේය. අනෝජන්ගේ මව ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටින්නේ තම පුත්‍රයාගේ ජීවිතය බේරාගෙන ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමට මැදිහත් වන ලෙසය.

සෞදි අරාබියේ පවතින නීතිමය ක්‍රියාවලියට ගරු කරමින් තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි. නිල ලිඛිත තීන්දුව ලැබෙන තෙක් මරණ දඬුවම තහවුරු වී නොමැති අතර, අදාළ ලේඛනය ලැබුණු වහාම උත්තරීතර අධිකරණය වෙත අභියාචනයක් යොමු කිරීමටත්, රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමටත් පියවර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.