දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් සහ අයිස් තොගයක් ප්‍රවාහනය කරන බවට සැක යාත්‍රාවක් සහ සැකකරුවන් 07 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට!
ඉන්දියානු සාගරයේ නෞකා ගමන් මාර්ග ඔස්සේ නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ පවත්වන ශක්තිමත් සම්බන්ධීකරණය මෙම මෙහෙයුම සාර්ථක වීමට ප්‍රධාන වශයෙන් ඉවහල් වී ඇත.
LSN Sri Lanka ·

හෙරොයින් සහ අයිස් (ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින්) බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ධජ රහිත යාත්‍රාවක් සමඟ සැකකරුවන් 07 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. දේශීය හා විදේශීය බුද්ධි අංශ සහ සමුද්‍රීය හවුල්කරුවන් සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයෙන් ඔබ්බට මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් දියත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම මෙහෙයුම සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාවට හැකි වී තිබේ.

නාවික හමුදා භාරයට ගත් අදාළ සැකකරුවන් 07 දෙනා සහ ධජ රහිත යාත්‍රාව, ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාර දීම පිණිස මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටියි.

ඉන්දියානු සාගරයේ නෞකා ගමන් මාර්ග ඔස්සේ නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ පවත්වන ශක්තිමත් සම්බන්ධීකරණය මෙම මෙහෙයුම සාර්ථක වීමට ප්‍රධාන වශයෙන් ඉවහල් වී ඇත. ලොව විශාලතම බහුජාතික නාවික සන්ධානය වන ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ (CMF) සාමාජිකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වීම මෙන්ම,"කොළඹ සමුද්‍රීය තොරතුරු ඒකාබද්ධ කිරීමේ මධ්‍යස්ථානය" (IFC - Colombo) හරහා ලැබෙන තත්‍යකාලීන හා නිවැරදි තොරතුරු ඔස්සේ සමුද්‍රීය වසම් පිළිබඳ සියලු පාර්ශ්වයන්ගේ දැනුවත්භාවය ශක්තිමත් කර තිබීම ද මෙහිදී කැපී පෙනේ.

කොළඹ සමුද්‍රීය තොරතුරු ඒකාබද්ධ කිරීමේ මධ්‍යස්ථානය හරහා බුද්ධි තොරතුරු සහ සමුද්‍රීය තර්ජන තක්සේරු කිරීම් සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණයෙන් ලබාගන්නා දත්ත ඒකාබද්ධ කෙරෙන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ එක්ව සිදු කෙරෙන ඒකාබද්ධ ගුවන් ආවේක්ෂණ සහ නිරීක්ෂණ මගින් සාගර කලාපයේ නිරීක්ෂණ වපසරිය තවදුරටත් පුළුල් කර තිබේ.

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් පිටුදැකීමේ අරමුණින් පසුගිය 2025 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී රජය විසින් ආරම්භ කරන ලද "රටම එකට" ජාතික මෙහෙයුමේ දිගුවක් ලෙස ජාත්‍යන්තර මුහුදේදී මෙම වැටලීම සිදු කර ඇත.

"රටම එකට" ජාතික මෙහෙයුම ආරම්භ වූ දා සිට මේ දක්වා සිදු කළ මෙහෙයුම් මගින් නාවික හමුදාව විසින් රුපියල් බිලියන 116කට අධික (රුපියල් කෝටි 11,600) දළ වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන තිබේ. තවද, 2026 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මේ දක්වා සිදු කළ මෙහෙයුම්වලින් විදේශීය යාත්‍රා 04ක් ඇතුළුව යාත්‍රා 66ක් සහ විදේශීය පුද්ගලයින් 18 දෙනෙකු ඇතුළුව සැකකරුවන් 379 දෙනෙකු නීතිය හමුවට පමුණුවා ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.