තලවතුගොඩ රැකියා නියෝජිත ආයතනයේ කෝටි 08 කොල්ලය - මහ මොළකරු අත් අඩංගුවට... අපරාධයේ සියලු තොරතුර හෙළි වෙයි...
කොල්ලය සැලසුම් කළ මොළකරුට රුපියල් කෝටි දෙකක්, හිටපු පොලිස් සිවිල් සේවකයාට කෝටි එකහමාරක් සහ රන් භාණ්ඩ තොගය, අනෙක් දෙදෙනාට රුපියල් අසූපන් ලක්ෂය බැගින් ලැබී ඇත.
LSN Sri Lanka ·

තලවතුගොඩ සංචාරක හා විදේශ රැකියා නියෝජිතායතනයකට සැප්තැම්බර් 1 වැනිදා සවස කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් කල්ලියක් සේවකයන් දණ ගස්වා, තියුණු ආයුධවලින් පහර දී රුපියල් කෝටි අටකට ආසන්න මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පලා ගියේය. අද 09 වැනිදා ය. ඊයේ (08), එනම් දින අටකට පසු ඒ කොල්ලයේ මොළකරු හා රියැදුරු මුල්ලේරියාවේදී අත්අඩංගුවට පත්විය. බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ මෙහෙයුමින් එම සැකකරු සමඟ කොල්ලකන ලද මුදලින් රුපියල් එක්කෝටි අසූපන් ලක්ෂයක්, කොල්ලයට යොදාගත් මෝටර් රථය සහ සොරාගත් යතුරුපැදියක්ද පොලිස් භාරයට ගැනිණි.

සිද්ධිය සිදුවූයේ තලංගම පොලිස් වසමේ තලවතුගොඩ පිහිටි ආයතනයකය. පස්වරු 6ට පමණ ඇල්ටෝ වර්ගයේ සුදු පැහැ මෝටර් රථයකින් තිදෙනෙක් පැමිණියහ. ඔවුන් සිටියේ මුහුණු වසාගෙනය. තියුණු ආයුධත් රැගෙන ආයතනයට ඇතුළු වූ ඔවුන් එහි සිටි හිමිකරු සහ සේවකයන්ට මරණීය තර්ජන එල්ල කර, එක් අයෙකුට පහර දී දණ ගස්වා මුදල් සහ රන් භාණ්ඩ රැගෙන ගියහ. මුදල් ලෙස රුපියල් හය කෝටි පනස් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සහ පවුම් 30ක රන් භාණ්ඩ තොගයක් (වටිනාකම රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ) කොල්කකරුවෝ කොල්ල කෑහ. සිද්ධිය CCTV කැමරාවල සටහන් වී තිබිණි.

විමර්ශනවලින් හෙළි වූයේ මෙය ඉතා හොඳින් කළ සැලසුමක් බවය. අත්අඩංගුවට ගත් සැකකරු කලකට ඉහත එම ආයතනයේම උප නියෝජිතයෙකු ලෙස සේවය කර ඇත. ඔහු ලක්ෂ ගණනින් ණය වී සිටි අතර, කොල්ල කෑ ආයතනයේ හිමිකරුටද රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් ණය වී තිබිණි. මුල්ලේරියාව ප්‍රදේශයේ මිතුරෙකුගේ අවමංගල්‍ය නිවසකදී මෙම ආයතන හිමිකරු විසින් මුදල් නොදීම ගැන බැණ වැදීමෙන් ඇති වූ ලැජ්ජාව සහ ණය බර එකට එකතු වී කොල්ලකෑමේ සිත පහළ වූ බව සැකකරුගේ ප්‍රකාශවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

මෙම කොල්ලය තනිවම කළ නොහැකි බැවින් ඔහු වසර කිහිපයකට ඉහත නවගමුව පොලිසියේ සිවිල් කම්කරුවෙකු ලෙස සේවය කළ, පිළියන්දල සිද්ධමුල්ල ප්‍රදේශයේ කුලී පදනමින් පදිංචි පුද්ගලයෙකු වෙත ගොස් උදව් ඉල්ලා ඇත. එම පුද්ගලයා නවගමුව බෝමිරිය ප්‍රදේශයේ තවත් දෙදෙනෙකු සම්බන්ධ කරගෙන තිබේ. මාසයකට පමණ ඉහත සිද්ධමුල්ලේ නිවසකදී සිවුදෙනාම එක්ව සැලසුම සාකච්ඡා කර ඇත. හංවැල්ල ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක සේවය කරන අයෙකුගෙන් කුලියට ගත් මෝටර් රථයකට ව්‍යාජ අංක තහඩු සවිකර කොල්ලය සිදු කළ බව පොලිසිය කියයි.

කොල්ලයෙන් පසු නැවතත් එම නිවසට ගොස් මුදල් බෙදාගෙන ඇත. කොල්ලය සැලසුම් කළ මොළකරුට රුපියල් කෝටි දෙකක්, හිටපු පොලිස් සිවිල් සේවකයාට කෝටි එකහමාරක් සහ රන් භාණ්ඩ තොගය, අනෙක් දෙදෙනාට රුපියල් අසූපන් ලක්ෂය බැගින් ලැබී ඇත. සැකකරු තමාට ලැබුණු මුදලින් කොටසක් බිරියගේ මිතුරියකට දී ඇත. තවත් කොටසක් ඥාතියෙකුගේ උකස් ඉඩමක් බේරා ගැනීමට සහ මුල්ලේරියාවේ කාන්තාවන් තිදෙනෙකුගෙන් ලබාගත් ණය බේරීමට යොදා ගත් බවද අනාවරණය වී ඇත. ලක්ෂ තුනක මුදලක් හැර සැකකරු බෙදා දුන් බොහෝ මුදල් දැන් පොලිස් භාරයේ ඇත.

වසර හතරකට පමණ කාලයක් මුල්ලේරියාව රෝහල් පාරේ ක්‍රීඩාංගණය ආසන්නයේ කුලී පදනමින් පදිංචිව සිට සැකකරු රහසිගත තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන තිබිණි. අනෙක් සැකකරුවන් පිළිබඳ සියලු තොරතුරු ලැබී ඇති අතර ඔවුන් ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කීවේය. අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට හඳුනාගැනීමේ පෙරටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. විමර්ශන ක්‍රියාත්මකය.