සුරේෂ් සලේ දින 100 ක් රෝහලේ: පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වැළැක්වීමේ “පූර්ව සංවිධානාත්මක වෛද්‍ය කුමන්ත්‍රණයක්” - මහා රෝහල් අධ්‍යක්ෂවරයාට අධිකරණයෙන් සිතාසි!
මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ සැකකරුට නේවාසිකව ප්‍රතිකාර ලැබීමේ අවශ්‍යතාවක් තිබේද නැද්ද යන්න පිළිබඳ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස අධිකරණය අවස්ථා කිහිපයකදීම නියෝග කර තිබුණද, එම නියෝග මෙතෙක් ඉටු කර නොමැති බවය.
LSN Sri Lanka ·

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ මාර්ගයෙන් බැහැර කරවීමට සහ අදාළ පරීක්ෂණ යටපත් කිරීමට උත්සාහ කළ බවට චෝදනා ලබා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ, ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් දින 100 ක් ගතකිරීම පිටුපස "පූර්ව සංවිධානාත්මක වෛද්‍ය කුමන්ත්‍රණයක්" පවතින බව නීතිපති දෙපාර්තමේන්තුව අද (15) අධිකරණය හමුවේ අනාවරණය කළේය.

මෙම කරුණ හෙළිදරව් වූයේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ මගහැරීම සම්බන්ධයෙන් සුරේෂ් සලේට එරෙහිව පවතින නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

අධිකරණයේදී කරුණු දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සදහන් කළේ, රැඳවුම් නියෝග මත පරීක්ෂණ සඳහා භාරයේ සිටි සුරේෂ් සලේ පසුගිය ජූනි 07 වනදා ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර අද වන විට ඔහු නේවාසිකව ප්‍රතිකාර ලබමින් දින 100 ක් සම්පූර්ණ කර ඇති බවයි.

මෙම දීර්ඝ කාලීන රෝහල්ගතවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විමර්ශන කණ්ඩායම්වලට දැඩි සැකයක් සහ ගැටලු මතුව ඇති බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, සැකකරු මුලින්ම රැඳවුම් භාරයේ සිටියදී තමාට දැඩි මානසික පීඩනයක් සහ සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවක් පවතින බව පවසමින් මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ බව අධිකරණයට මතක් කර දුන්නේය.

එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදේශගමන් තහනමක් පැනවීමෙන් සුළු මොහොතකට පසුව සැකකාර සුරේෂ් සලේ උපවාසයක් ආරම්භ කළ බවත්, ඉන් අනතුරුව ජූනි 07 වනදා රෝහල්ගත වූ බවත් නීතිපති දෙපාර්තමේන්තුව හෙළි කළේය.

සැකකරු කිසිදු බරපතල රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නැති අතර, පරීක්ෂණ ප්‍රමාද කිරීම සහ මෙම සිදුවීම්වලට සම්බන්ධ බවට සැකකෙරෙන වෙනත් පුද්ගලයින් ආරක්ෂා කිරීමේ අරමුණින් ඔහු මෙලෙස අනවශ්‍ය ලෙස රෝහලේ රැඳී සිටින බවට විමර්ශකයින් සැකකරන බව දිලීප පීරිස් වැඩිදුරටත් පැවසීය.

මෙය "පූර්ව සංවිධානාත්මක වෛද්‍ය කුමන්ත්‍රණයක්" ලෙස හඳුන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, නියෝග නිකුත් කර තිබියදීත් සැකකරුගේ වෛද්‍ය වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් නොකිරීම පිළිබඳව සොයා බලන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ කරුණු සැලකිල්ලට ගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා, සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වයට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට ලබන සැප්තැම්බර් 22 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කළේය.

ඊට අමතරව, සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔහුට තවදුරටත් නේවාසික ප්‍රතිකාර අවශ්‍යද යන්න පරීක්ෂා කිරීමට අධිකරණය මගින් පත් කරන ලද පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයේ වාර්තාවද මෙතෙක් ඉදිරිපත් නොකිරීම පිළිබඳව තොරතුරු දක්වන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයාට නියෝග කෙරිණි.

මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ සැකකරුට නේවාසිකව ප්‍රතිකාර ලැබීමේ අවශ්‍යතාවක් තිබේද නැද්ද යන්න පිළිබඳ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස අධිකරණය අවස්ථා කිහිපයකදීම නියෝග කර තිබුණද, එම නියෝග මෙතෙක් ඉටු කර නොමැති බවයි.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සිදුවීම් සමග සුරේෂ් සලේ සම්බන්ධ වන්නේ කෙසේද යන්න පිළිබඳවද විමර්ශන කණ්ඩායම් විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, ඊට අදාළ වැඩිදුර තොරතුරු ඉදිරියේදී අනාවරණය වීමට නියමිතය.