LSN News › Sri Lanka

වැරදුණු පාතාල ඉලක්කයකට ජීවිතයෙන් වන්දි ගෙවූ දෙහිවල දරු දෙදෙනා!

පාතාලයේ මිනීමරා ගැනීම්වලට කිසිදු සම්බන්ධයක් නැති මිනිසුන්ට තමන්ගේම ගෙදර දොර විවෘත කිරීම පවා ජීවිතය පිළිබඳ අවදානමක් බවට පත්වන්නේ නම්, සංවිධානාත්මක අපරාධ මර්දනයේදී අප සිටින්නේ කොතැනද?

LSN Sri Lanka · 11 September 2026

වැරදුණු පාතාල ඉලක්කයකට ජීවිතයෙන් වන්දි ගෙවූ දෙහිවල දරු දෙදෙනා!

අලුයම 3.20ට කුඩා ලෑලි ගෙයකට අත්බෝම්බයක් — ඉලක්කය යාබද නිවසේ සිටි පුද්ගලයෙක් බව පොලිසිය කියයි — ප්‍රහාරයට යොදාගත් බවට සැක ත්‍රිරෝද රථය පාදුක්කෙන් හමුවෙයි

ඊයේ දෙහිවල නිවසකට බෝම්බ ගසා තිබිනි. නිවසේ ඉදිරිපස ජනෙල්වල වීදුරු කුඩු වීම හැර වෙනත් ව්‍යසනයක් සිදුවි තිබුනේ නැත. ඊට පැය කීපයකට පසු අද අළුයම දෙහිවල යළිත් පත්තු විය. මෙවර පාතාලයේ මිනීමරා ගැනීමකට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූයේ ඒ කිසිවකට සම්බන්ධයක් නොතිබූ පාසල් දරුවන් දෙදෙනෙකුටය.

දෙහිවල පොලිස් වසමේ කවුඩාන, සිරිසඟබෝ මාවතේ කුඩා නිවසකට අද (11) අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් එම දරුවන් දෙදෙනා මිය ගියහ. ඔවුන්ගේ පියා බරපතළ තුවාල ලැබීය.

පොලිසියේ මූලික විමර්ශන අනුව මේ පවුල ප්‍රහාරකයන්ගේ සැබෑ ඉලක්කය නොවීය. ප්‍රහාරකයන්ට නිවස වැරදී තිබිණි.

අලුයම ඇසුණු දොරට තට්ටුව

වේලාව අලුයම 3.20ට පමණය. පොලිසියට ලැබී ඇති තොරතුරු සහ ආරක්ෂක කැමරා දර්ශන අනුව රතු පැහැති ත්‍රිරෝද රථයකින් පිරිසක් ප්‍රදේශයට පැමිණ තිබේ. රථය නිවසට නුදුරින් නවතා තිබියදී එක් පුද්ගලයෙකු ඉන් බැස නිවස වෙත ගොස් දොරට තට්ටු කර ඇත.කිසිදු අනතුරක් අපේක්ෂා නොකළ නිවැසියන් දොර විවෘත කර තිබේ.

එය කුඩා ලෑලි නිවසකි. දොර විවෘත වූ පසු නිවස තුළට අත්බෝම්බයක් දමා ප්‍රහාරකයා පලාගොස් ඇති බව මූලික විමර්ශනවලින් හෙළි වී ඇත. බෝම්බය පුපුරා යන අතර ප්‍රහාරකයන් පැමිණි ත්‍රිරෝද රථය පිටව යන ආකාරය ආරක්ෂක කැමරා දර්ශනවල සටහන් වී තිබේ.

මහ හඬක් සමග නිහඬ අලුයම බිඳී ගියේය. ඊළඟට ඇසුණේ විලාපයකි. අසල්වැසියෝ නිවස දෙසට දිව ආහ. කුඩා ලෑලි ගෙය තුළ දරුවන් දෙදෙනා සහ ඔවුන්ගේ පියා බරපතළ තුවාල ලබා සිටියහ.

ඔවුන් වහාම කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගියද දරුවන් දෙදෙනා ඒ වනවිටත් මියගොස් සිටි බව වාර්තා විය. පියා බරපතළ තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටී. මේ ලියන මොහොත වනවිට 11 හැවිරිදි සහ 17 හැවිරිදි දරුවන් දෙදෙනාගේ සිරුරු කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේය.

“එදා වේල හොයාගෙන දරුවන්ට කන්න දුන්න මනුස්සයෙක්”

මේ පවුල ගැන ප්‍රදේශවාසීන් කියන්නේ වෙනත් කතාවකි. “නලීන් අහිංසක මිනිහා. දරුවො දෙන්නත් හරිම අහිංසකයි. ත්‍රීවිල් එක හයර් කරලා එදා වේල හොයාගෙන තමයි මේ දරුවන්ට කන්න බොන්න දුන්නේ.” එක් ප්‍රදේශවාසියෙකු සිද්ධියෙන් පසු එසේ පැවසීය.

කෙසේ වෙතත්, තුවාල ලැබූ පියා මාස හතරකට පමණ පෙර මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවක් මත බන්ධනාගාරගතව සිට පසුව ඇප මත නිදහස් වූ පුද්ගලයෙකු බව විමර්ශන අංශ කිවේය. එහෙත් අද ප්‍රහාරයේ සැබෑ ඉලක්කය ඔහු බවට මේ දක්වා තොරතුරු අනාවරණය වී නැත. පොලිසිය කියන්නේ වෙනත් ඉලක්කයක් පිළිබඳවය.

වැරදුණු ගෙදර

සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් සඳහන් කර ඇති පරිදි ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ “බඩෝවිට අසංක” නමින් හඳුන්වන සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ පාර්ශ්වයට සම්බන්ධ මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකුගේ නිවසකි. පොලිස් විමර්ශන අනුව එම පුද්ගලයා “දිනුක” නමින් හඳුනාගෙන තිබේ.

පොලිසියට අනුව දිනුක තුවාල ලැබූ ත්‍රි රෝද රථ රියදුරාගේ වැඩිමල් පුතාය. මිය ගොස් තිබුණේ දිනුකගේ බාල සහෝදරයින් දෙදෙනාය. දිනුකව ඝාතනය කිරීමට පැමිණි ඝාතකයින්ට නිවාසය වැරදී තිබිණි. ඔවුන් පහර එල්ල කරන්නේ දිනුකගේ නිවසට යාබද ලෑලි නිවසටය.

මූලික විමර්ශනවලින් හෙළිවන තොරතුරු අනුව “කුඩු අවිශ්ක”, “කොස්මල්ලී” සහ “චූවා සමන්ත” ලෙස පොලිසිය හඳුන්වන අපරාධ ජාලයට සම්බන්ධ පුද්ගලයන් මෙම ප්‍රහාරය සැලසුම් කළ බවට සැක කෙරේ.

කෙසේ වෙතත් මේවා තවමත් විමර්ශනයට ලක්වන මූලික තොරතුරුය. ප්‍රහාරය සැලසුම් කළේ කවුද, නියෝගය දුන්නේ කවුද සහ අත්බෝම්බය එල්ල කළේ කවුද යන්න අධිකරණමය වශයෙන් තහවුරු වී නැත.

එහෙත් සිද්ධියෙන් මතුවන ප්‍රශ්නය ඊට වඩා විශාලය.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර පවතින මත්ද්‍රව්‍ය වෙළෙඳාම සහ බල ප්‍රදේශ පිළිබඳ ගැටුම් තවදුරටත් එම කණ්ඩායම් අතර පමණක් සීමා වී නැත. ප්‍රතිවාදියා සොයා එන ඝාතකයින් ගෙවල්වල දොරට තට්ටු කරන තැනට එය පැමිණ තිබේ.

දොර වැරදුණහොත් මිය යන්නේ වෙනත් මිනිසුන්ය. දෙහිවලදී මෙවර මිය ගියේ දරුවන් දෙදෙනෙකි.

ප්‍රහාරයට යොදාගත් බවට සැක ත්‍රිරෝද රථය පාදුක්කෙන්

මේ අතර ප්‍රහාරයට යොදාගත් බවට සැක කෙරෙන රතු පැහැති ත්‍රිරෝද රථය පාදුක්ක ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

එම රථය ප්‍රහාරකයන්ගේ ගමන් මාර්ගය සහ ඔවුන් හඳුනාගැනීම සඳහා වැදගත් සාක්ෂියක් විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත.

ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමමාලි හාල්පන්දෙනිය සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කර සැකකරුවන් වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබේ. දෙහිවල සහ ගල්කිස්ස පොලිස් කණ්ඩායම් මේ වනවිට වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

අද දෙහිවල සිද්ධිය තවත් බරපතළ ප්‍රශ්නයක් සමාජය ඉදිරියේ තබා ඇත.

පාතාලයේ මිනීමරා ගැනීම්වලට කිසිදු සම්බන්ධයක් නැති මිනිසුන්ට තමන්ගේම ගෙදර දොර විවෘත කිරීම පවා ජීවිතය පිළිබඳ අවදානමක් බවට පත්වන්නේ නම්, සංවිධානාත්මක අපරාධ මර්දනයේදී අප සිටින්නේ කොතැනද?

අද ඒ ප්‍රශ්නය අසා සිටින්නේ සමාජය පමණක් නොවේ.

වැරදුණු දොරකට එල්ල වූ අත්බෝම්බයකින් ජීවිත අහිමි වූ දරුවන් දෙදෙනාගේ නිහඬ මරණයත් ඒ ප්‍රශ්නයම අසා සිටී.