LSN News › Sri Lanka

පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයන්ට බිලියන ගණන් ණය... පුනර්ජනනී බලශක්තියෙන් දුවන රටක් ගැන මැවු හීනය දියවෙමින් ද?

ශ්‍රී ලංකාව 2030 වන විට ජාතික විදුලි ඉල්ලුමෙන් සියයට 70ක් පුනර්ජනනීය මූලාශ්‍රවලින් සපයා ගැනීමේ ඉලක්කයක් තබාගෙන සිටී. එහෙත් දැනට ජාලයට සම්බන්ධ වී සිටින දේශීය ආයෝජකයන්ට පවා ගෙවීම් පැහැර හරින පසුබිමක, නව ආයෝජන ආකර්ෂණය කරගැනීම මෙන්ම පවතින ධාරිතාව පවත්වාගෙන යාම ද බරපතල අභියෝගයකි. ජාතික විදුලි ජාලය නූතනකරණය කිරීම, බැටරි ගබඩා පහසුකම් ව්‍යාප්ත කිරීම සහ ගෙවීම් ප්‍රමුඛතාවන් නිසි ලෙස සකස් නොකළහොත් මෙම බලශක්ති අර්බුදය තවදුරටත් සංකීර්ණ වනු ඇත.

LSN Sri Lanka · 13 September 2026

පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයන්ට බිලියන ගණන් ණය...  පුනර්ජනනී බලශක්තියෙන් දුවන රටක් ගැන මැවු හීනය දියවෙමින් ද?

ශ්‍රී ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රය දැඩි ද්‍රවශීලතා අර්බුදයකට මෙන්ම ජාලයේ තාක්ෂණික අස්ථාවරත්වයකට මුහුණ දී සිටී. ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු පිහිටුවන ලද ජාතික පද්ධති ක්‍රියාකරු (National System Operator – NSO) ඇතුළු නව ආයතන බරපතල මූල්‍ය පීඩනයකට ලක්ව ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ට සහ වාණිජ සූර්ය බල පද්ධති හිමියන්ට ලබා දිය යුතු බිලියන ගණනක ගෙවීම් පැහැර හැර තිබේ.

2025 දෙසැම්බර් මාසයේ සිට ජාතික විදුලි ජාලයට සපයන ලද පුනර්ජනනීය විදුලිය වෙනුවෙන් ගෙවීම් සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බව පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනය (FRED) ප්‍රකාශ කරයි. 2026 අප්‍රේල් වන විට මෙම නොගෙවූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 10 ඉක්මවා ඇති අතර, මාසිකව ආසන්න වශයෙන් රුපියල් බිලියන 2.5 බැගින් එකතු වේ. ජූනි මාසයේදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සඳහන් කළේ සංවර්ධකයන් 390කට ආසන්න පිරිසකට රුපියල් බිලියන 15ක ණය මුදලක් ගෙවීමට ඇති බවයි.

FRED සංවිධානයේ දත්තවලට අනුව මෙයින් බලපෑමට ලක්ව ඇත්තේ භූමිගත සූර්ය බලාගාර 134ක් (මෙගාවොට් 314.3), කුඩා ජල විදුලි ව්‍යාපෘති 221ක් (මෙගාවොට් 434.6), සුළං බලාගාර 20ක් (මෙගාවොට් 267.5) සහ ජෛව ස්කන්ධ/දෙන්ද්‍රෝ ව්‍යාපෘති 14ක් ඇතුළු සමස්ත මෙගාවොට් 1,073.9ක ධාරිතාවකින් යුත් බලාගාර 389කි. මීට අමතරව වහල මත සූර්ය පද්ධති සවි කළ පාරිභෝගිකයන් 150,000කට අධික සංඛ්‍යාවක් සහ වාණිජ ආයෝජකයන් 360කට වැඩි පිරිසක් ද ගාස්තු කප්පාදු, Net Plus ගිවිසුම් අහෝසි කිරීම් සහ ගෙවීම් ප්‍රමාද නිසා දැඩි අසීරුතාවට පත්ව සිටිති.

ඉල්ලුම අඩු දිනවල සූර්ය බලය බලහත්කාරයෙන් වසා දැමීම

මූල්‍යමය අර්බුදයට අමතරව බරපතල තාක්ෂණික ගැටලුවක් ද පැනනැගී ඇත. නිවාඩු දින සහ දිගු සති අන්තවලදී කාර්යාල හා කර්මාන්තශාලා වසා දැමීම නිසා විදුලි ඉල්ලුම ශීඝ්‍රයෙන් පහත වැටේ. එම අවස්ථාවලදී සූර්ය බල නිෂ්පාදනය ඉහළ මට්ටමක පවතින බැවින් ජාලයේ ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීම සඳහා NSO ආයතනය විසින් වාණිජ සූර්ය බල පද්ධති බලහත්කාරයෙන් වසා දැමීමට පියවර ගනී. ඉරිදා සහ වෙළෙඳ නිවාඩු දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා මෙම කප්පාදුව සිදු කරන බව කර්මාන්ත නියෝජිතයෝ පවසති.

ශ්‍රී ලංකාවේ විදුලි ජාලය තවමත් පවතින්නේ පැරණි එක්-මාර්ගීය පද්ධතියක් (one-way system) ලෙසිනි. දෙමාර්ගීය බල ප්‍රවාහයන් හැසිරවීමට අවශ්‍ය මධ්‍යම පාලන පද්ධති හෝ බැටරි ගබඩා පහසුකම් (BESS) ප්‍රමාණවත් තරම් නොමැත. දිවා කාලයේදී සූර්ය බල උත්පාදනය වැඩි වන විට ජල විදුලි සහ අඟුරු ටර්බයිනවල ධාරිතාව අඩු කිරීමට සිදු වන අතර, එමගින් ජාලයේ ‘අවස්ථිති භාවය’ (inertia) අඩු වී රට පුරා විදුලිය විසන්ධි වීමේ (blackout) අවදානම ඉහළ යයි. මෙලෙස බලහත්කාරයෙන් සිදු කරන කප්පාදු හේතුවෙන් පමණක් ක්ෂේත්‍රයට රුපියල් බිලියන 2ක පමණ පාඩුවක් සිදුව ඇති බව කියැවේ.

ආනයනික ඉන්ධනවලට ප්‍රමුඛතාව – පුනර්ජනනීය බලයට කුඩම්මාගේ සැලකිලි

FRED සහ සූර්ය බල කර්මාන්ත සංගමය (SIA) නියෝජිතයන් පෙන්වා දෙන්නේ රජය මුදල් වෙන් කිරීමේදී අධික පිරිවැයක් දරන ආනයනික ඩීසල් සහ බර ඉන්ධන (FHO) ලබාගැනීමට ප්‍රමුඛතාව ලබා දෙන බවයි. අඟුරු බලාගාරවල පවතින උත්පාදන හිඟය පියවීම සඳහා දිනපතා මෙගාවොට් 100–150ත් අතර ප්‍රමාණයක් තාප බලාගාර මගින් ලබාගැනීමට සිදුව ඇත. ජාත්‍යන්තර භූ-දේශපාලනික ආතතීන් හමුවේ තාප විදුලි ඒකකයක පිරිවැය රුපියල් 100 සීමාවට ආසන්න වී හෝ ඉක්මවා ගොස් තිබේ.

"සාම්ප්‍රදායික ඉන්ධන භාවිතයෙන් විදුලිය නිපදවන්නන්ට ගෙවීම් කිරීමේදී ප්‍රමුඛතාව ලැබුණ ද, පරිසරහිතකාමී මෙන්ම අඩු පිරිවැය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම අමතක කර දැමීම අසාධාරණයි," යනුවෙන් FRED සංවිධානය චෝදනා කරයි. බොහෝ ව්‍යාපෘති බැංකු ණය මත පදනම්ව ක්‍රියාත්මක වන බැවින්, මුදල් නොලැබීම නිසා සේවක වැටුප්, නඩත්තු වියදම් සහ ණය වාරික ගෙවාගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස බැංකු පද්ධතිය තුළ අක්‍රීය ණය ඉහළ යාමේ අවදානමක් ද මතුව තිබේ.

NSO සභාපති ආචාර්ය ප්‍රදීප් පෙරේරා පවසා තිබුණේ ගෙවීම් ආරම්භ කිරීම සඳහා රජයෙන් හදිසි මූල්‍ය ආධාර ඉල්ලා ඇති බවයි. 2026 මාර්තු 10 වන දින තමන් ධුරයේ වගකීම් භාරගන්නා විටත් CEB පාලන සමයේ සිට පැමිණි ජනවාරි-පෙබරවාරි හිඟ ගෙවීම් පැවැති බව ඔහු සඳහන් කළ ද, ක්ෂේත්‍රයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 10ක් බව තහවුරු කිරීමට තමන්ට නොහැකි බව ප්‍රකාශ කර ඇත.

කර්මාන්ත පද්ධතියට සහ ආර්ථිකයට එල්ල වන බලපෑම

ඉහළ විදුලි ගාස්තු, මෙහෙයුම් වියදම් ඉහළ යාම සහ අමුද්‍රව්‍ය සැපයුම් දාම බිඳවැටීම නිසා කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තශාලා රැසක් වැසී යාමේ තර්ජනයට මුහුණ දී සිටී. නිවාඩු දිනවල විදුලි ඉල්ලුම තවදුරටත් පහත වැටීම ජාලයේ අස්ථාවරත්වය තවත් වැඩි කරයි.

පුනර්ජනනීය විදුලිය ලබාගැනීමේ පිරිවැය දැනටමත් පාරිභෝගික විදුලි ගාස්තු ව්‍යුහයට ඇතුළත් කර ඇති බව කර්මාන්ත නියෝජිතයෝ පෙන්වා දෙති. එසේ තිබියදීත්, අඩු පිරිවැය පරිසරහිතකාමී බලශක්ති නිෂ්පාදකයන්ට හිඟ මුදල් නොගෙවා අධික පිරිවැයක් දරන තාප බලයට මුදල් යොමු කිරීම රටේ අනාගත බලශක්ති සුරක්ෂිතතාවට දැඩි තර්ජනයකි. මේ නිසා භාණ්ඩාගාර මැදිහත්වීම මත හිඟ ණය මුදලෙන් කොටසක් හෝ වහාම ගෙවා දැමීමට කැබිනට් මට්ටමේ හදිසි තීරණයක් ගන්නා ලෙස FRED ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාව 2030 වන විට ජාතික විදුලි ඉල්ලුමෙන් සියයට 70ක් පුනර්ජනනීය මූලාශ්‍රවලින් සපයා ගැනීමේ ඉලක්කයක් තබාගෙන සිටී. එහෙත් දැනට ජාලයට සම්බන්ධ වී සිටින දේශීය ආයෝජකයන්ට පවා ගෙවීම් පැහැර හරින පසුබිමක, නව ආයෝජන ආකර්ෂණය කරගැනීම මෙන්ම පවතින ධාරිතාව පවත්වාගෙන යාම ද බරපතල අභියෝගයකි. ජාතික විදුලි ජාලය නූතනකරණය කිරීම, බැටරි ගබඩා පහසුකම් ව්‍යාප්ත කිරීම සහ ගෙවීම් ප්‍රමුඛතාවන් නිසි ලෙස සකස් නොකළහොත් මෙම බලශක්ති අර්බුදය තවදුරටත් සංකීර්ණ වනු ඇත.