ගල් අඟුරු මිලදී ගැනීමේ බිහිසුණු විකට ගිවිසුම රටට කළ ව්‍යසනය... හේතුවක් නැතිව, අධ්‍යයනයක් නැතිව, කැබිනට් අනුමැතියක් නැතිව රජයේ මුදල් ආරක්ෂාව ඉවත් කළේ කවුද?
ගල් අඟුරු විමර්ශනය – 04 - නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ බවට විගණකාධිපතිවරයා හඳුනාගත් ප්‍රසම්පාදන අක්‍රමිකතා, අමතර වියදම්, අයකරගත නොහැකි වූ මුදල් සහ ආයතනික දුර්වලතා පිළිබඳව එම විගණන වාර්තාව පදනම් කරගත් විමර්ශන ලිපි මාලාවක් LMN විසින් අද සිට ඉදිරිපත් කිරීමට තීරණය කරමු. ජාතියක් ලෙස අප පත් වූ බිහිසුණු ආර්ථික ව්‍යසනයට පදනම දැමූ ලංකාවේ විශාලතම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව මතුවී ඇති විසංවාදය තුළ කියැවෙන වංචා දූෂණ ගැන ලියැවෙන්නේ රුපියල් බිලියන දහස් ගණනකිනි. එය අනාගතයේ දී නෛතික ක්‍රියාවලියක් ඉදිරියේ තීන්දු කළ යුතු බරපතල තත්ත්වයකි. එතෙක් 2009 - 2016 තුළ නොරොච්චෝලෙ ලක් විජය ගල් අඟුරු බලාගාරය සඳහා සීමා සහිත ලංකා ගල් අඟුරු සමාගම මගින් සිදුකළ ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධව විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ විගණන වාර්තාව ඇසුරින් මෙම ලිපි පෙළ ඔබ වෙත පෙළ ගස්වමු.
LSN Sri Lanka ·

ගල් අඟුරු මිලදී ගැනීමේදී රජය ප්‍රමිතියක් නියම කරන්නේ හොඳ ගල් අඟුරු සහ නරක ගල් අඟුරු හඳුනාගැනීමට පමණක් නොවේ. එයට මූල්‍ය අර්ථයක් මෙන්ම රැකවරණයක් ද තිබේ. සැපයූ ගල් අඟුරු එකඟ වූ ප්‍රමිතියට නොගැළපේ නම්, සැපයුම්කරුට ගෙවන මුදල අඩු කර ගැනීමේ හැකියාව රජයට තබා ගැනීම මේ ප්‍රමිතිය ඉදිරිපත් කිරීමේ ජාතික වශයෙන් වැදගත් කොන්දේසිය ය. එසේ නොමැති ප්‍රමිතිය ලේඛනයක ලියා තැබීමෙන් රටට ඇති වැඩක් නැත.

2015 සහ 2016 කාලයේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට කළ ක්ෂණික ගල් අඟුරු මිලදී ගැනීම් පිළිබඳ විගණකාධිපතිවරයා හෙළි කරන කතාවේ පුදුම සහගත තැන මතුවන්නේ එතැනිනි. ලක්විජය ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු සැපයීමේ දී අතිශයින්ම වැදගත්වන ගල් අගුරු කැට ප්‍රමාණය සඳහා ප්‍රමිතියක් තිබිණි. එම ප්‍රමිතිය ගිවිසුමේ ලේඛනගත වූයේය.

එහෙත් එම ප්‍රමිතියෙන් බැහැර වූ විට මිල අඩු කිරිමක් සිදු නොවන බවට සඳහන් කරමින් ලංසු ලේඛනය සකස් වී තිබුණේය. එය දක්වා තිබුණේ සරල ඉංග්‍රීසි වචන හතරකිනි.

“No penalty for size consist.”( කැටවල ප්‍රමාණය වෙනස්වීමේ ස්වරූපය මත කිසිදු දඩයක් නොමැත)

ප්‍රමිතියක් තිබේ. දඩයක් නැත.

ගල් අඟුරුවල කැට ප්‍රමාණය සුළු තාක්ෂණික කාරණයක් නොවේ. ලක්විජය වැනි බලාගාරයක භාවිතයට ගන්නා ගල් අඟුරු සඳහා විශාල කැට සහ ඉතා කුඩා කැට කොපමණ තිබිය හැකිද යන්න ප්‍රමිතියෙන් නියම කෙරෙන්නේ අවසාන නිශ්පාදන විදුලි ඒකකයක් සදහා වැයවන ගල් අඟුරු ප්‍රමාණයත් ඉන් ඒ සඳහා දරන ජාතික පිරිවැයත් ගණනය වන බැවිනි.

ඒ අනුව පළමු ක්ෂණික මිලදී ගැනීම සඳහා ලංකා ගල් අඟුරු සමාගම ඉදිරිපත් කළ ලංසු ලේඛන 2015 ජූලි 24 දා තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් පරීක්ෂා කර තිබිණි. එම ලේඛනයේ ගල් අඟුරු කැට ප්‍රමාණය පිළිබඳ කොන්දේසි තිබුණි.

එහෙත් ලංසු ලේඛනයේ ප්‍රධාන ලක්ෂණ සටහන් කළ තැන “No penalty for size consist” යනුවෙන් පැහැදිලිව සඳහන් වී තිබූ බව විගණන වාර්තාව කියයි.

මෙහි විකාරය සාමාන්‍ය මිනිසෙකුටත් තේරුම් ගත හැකිය. භාණ්ඩයක තිබිය යුතු ගුණාත්මකභාවය අපි සැපයුම්කරුට කියමු. නමුත් එම ගුණාත්මකභාවය නොමැති භාණ්ඩයක් දුන්නත් මිල අඩු නොකර ඊට මුදල් ගෙවන බවත් අපිම කියමු. විගණනය නිරික්ෂණය කරන්නේ මේ පුදුමාකාර ස්වරූපය ගැනය. අපේ ගම්වල ඇත්තන් මේවාට කීවේ වඳුරු කුණුහරප කියාය.

හේතුවක් නැහැ. අධ්‍යයනයක් නැහැ. කැබිනට් අනුමැතියත් නැහැ

අනතුරුව විගණකාධිපතිවරයා ඊට වඩා බරපතළ නිරීක්ෂණයක් කරන්නේය. ඒ කතාව මෙසේය.

විගණන වාර්තාව අනුව, ගල් අඟුරු කැට ප්‍රමාණයට අදාළ ගුණාත්මක මිල ගැලපුම් නිර්ණායකය ක්ෂණික මිලදී ගැනීම්වලින් ඉවත් කර තිබුණේ

• සාධාරණ හේතුවක් ඉදිරිපත් නොකරය.

• විධිමත් අධ්‍යයනයක් නොකරය.

• කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ලබා නොගෙනය.

මේ කියන්නේ අප නොව විගණකාධිපතිවරයාය. ඔහු පෙළ ගස්වන්නේ ඔහුගේ නිරීක්ෂණය ය. දැන් මේ ගනුදෙනුවේ සැබෑ ප්‍රශ්නය පැහැදිලිය. මෙය ගල් අඟුරු කැටයක් මිලිමීටර කීයක් විය යුතුද යන තාක්ෂණික විවාදයක් නොවේ. රජයට අය කරගැනීමට තිබූ දඩ මුදල අය කරගැනීම සඳහා වූ නෛතික පදනම සහිත ගිවිසුම් ආරක්ෂාව ඉවත් කිරීමට තීරණය කළේ කවරෙක් ද යන්නය.

එවැනි තීරණයකට විධිමත් අධ්‍යයනයක් තිබුණේ නැතිනම්, සාධාරණ හේතුවක් ඉදිරිපත් කර තිබුණේ නැතිනම්, කැබිනට් අනුමැතියත් තිබුණේ නැතිනම්, එම තීරණය රාජ්‍ය ප්‍රසම්පාදන ලේඛනයකට ඇතුළු වූ පදනම කුමක් ද යන්නය.

මේ ජාතික අපරාධකාරී ප්‍රවේශය නොදැන සිදුවී නම් මේ ගිවිසුම්වල වගකීම දරන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ ජනාධිපති නිතිඥකම කුමක් සඳහා ද යන්ය.

රජයට වූ පාඩුව වශයෙන් ඩොලර් 1.73 මිලියනයක්

මේ ක්‍රියාවලියේ අවසන් ඵලය ගණනය කිරීමටද විගණකාධිපතිවරයා සමත් වී තිබේ. පළමු ක්ෂණික මිලදී ගැනීමේදී Liberty Commodities සමාගමෙන් අයකරගත නොහැකි වූ බව විගණනය ගණනය කරන දඩ මුදල ඩොලර් 758,358කි. එවකට රුපියල්වලින් 98,586,540කි. එනම් රුපියල් නව කෝටි අසූ පන් ලක්ෂ අසූ හය දහස් පන්සිය හතලිහකි.

දෙවැනි මිල දී ගැනීමේ දී අය කරගැනීමට නොහැකි වූ බව විගණනය පෙන්වා දෙන දඩ මුදල ඩොලර් 562,763කි. රුපියල් 73,159,190කි. එනම් රුපියල් හත් කෝටි තිස් එක් ලක්ෂ පනස් නව දහස් එකසිය අනුවකි.

මෙහි තුන්වන ක්ෂණික මිලදී ගැනීම සිදුවූයේ නැති බවත් සටහන් කළ යුතුය. මෙට්‍රික් ටොන් 330,000 ±10%ක් මිලදී ගැනීමට ආරම්භ කළ එම ප්‍රසම්පාදනය අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත අවලංගු කර තිබිණි.

එහෙත් සිවුවන මිලදී ගැනීම ක්‍රියාත්මක වන්නේ මේ මිලදී ගැනීමේ වඩාත් ප්‍රශ්නකාරී ආකාරයටය. එහි සමස්ථ පාඩුව විගණනයටවත් ගණනය කිරීමට ඉඩ තබා නැත.

සිව්වැනි මිලදී ගැනීමේදී ගණනය කිරීමට හැකි වන්නේ සමස්ථ කොටසින් සියයට 28ක් සඳහා වූ පාඩුව පමණි. එය ඩොලර් 409,537කි. රුපියල් 53,239,810කි. එනම් පන් කෝටි, තිස් දෙලක්ෂ, තිස් නව දහස් අටසිය දහයකි. පළමු මිලදී ගැනීම දෙවැනි මිලදී ගැනීම සහ සිවුවන මිලදී ගැනීමේ සමස්ථයෙන් සියයට 28ක කොටස සඳහා රජයට දඩ අය කරගැනීමට නොහැකිව සිදුකළ පාඩුව ඩොලර් 1,730,658කි. එවකට රුපියල් අගයන් එකතු කළ විට රුපියල් 225,985,540කි. එනම් රුපියල් විසි දෙකෝටි පනස් නව ලක්ෂ අසූ පන් දහස් පන්සිය හතලිහකි.

විගණන වාර්තාව කියන්නේ වඩාත් නිශ්චිත දෙයකි. එනම් ගල් අඟුරු කැට ප්‍රමාණය සඳහා වූ මිල ගැලපුම් නිර්ණායකය ඉවත් කිරීම නිසා Liberty Commodities සමාගමෙන් රුපියල් විසි දෙකෝටි පනස් නව ලක්ෂ අසූ පන් දහස් පන්සිය හතලිහක දඩ මුදල් අයකරගත නොහැකි වූ බවය.

ඩොලර් මිලියන 1.73ත් සම්පූර්ණ කතාව නොවේ

ඉහත විගණනය ඉදිරිපත් කරන කරුණු අනුව සිව්වන ක්ෂණික මිලදී ගැනීමේ දී රජයට සිදුකළ පාඩුවේ ප්‍රමාණය ගණනය කර ඇත්තේ එවර මිලදී ගත් මුලු ප්‍රමාණයෙන් සියයට 28ක් සඳහා පමණි. එම සියයට 28 සඳහා වූ පාඩුව ඉහත දැක්වූ ආකාරයට ඩොලර් 409,537 කි. එනම් පන් කෝටි, තිස් දෙලක්ෂ, තිස් නව දහස් අටසිය දහයකි.

සිවුවන මිලදී ගැනීමේ ඉතිරි සියයට 72 යනු මෙට්‍රික් ටොන් 275,144කි. එම මිලදී ගැනීමෙන් සිදුවූ පාඩුව කොපමණ දැයි ගණනය කිරීමටවත් විගණනයට ඉඩ තබා නැත. එම ගල් අඟුරුවල කැට ප්‍රමාණය පිළිබඳ අවශ්‍ය දත්ත ස්වාධීන ගුණාත්මක පරීක්ෂණ වාර්තාවල නොතිබිණි.

එබැවින් ඩොලර් මිලියන 1.73 යනු මේ කතාවේ අවසාන ගණන නොවේ. විගණනයට ගණනය කිරීමට හැකි වූ ගණන පමණි.

ජනවාරි 30 තිබූ දත්ත පෙබරවාරි 16න් පසු නැහැ

මේ කතාවේ තියුණුම තැන මෙතැනය. ස්වාධීන ගුණාත්මක පරීක්ෂණ ආයතනය 2016 ජනවාරි 30 දක්වා නිකුත් කළ වාර්තාවල ගල් අඟුරු කැට ප්‍රමාණය පිළිබඳ දත්ත ඇතුළත් කර තිබිණි.

• නමුත් 2016 පෙබරවාරි 16න් පසු එම තොරතුරු වාර්තාවල නැත.

• එම දත්ත ඉවත් කරන ලෙස ලංකා ගල් අඟුරු සමාගම පරීක්ෂණ ආයතනයට දැනුම් දුන්නේද යන්න පිළිබඳ සාක්ෂි ඉදිරිපත් වී නැත.

• එසේ නැතිනම්, තමන්ට ලැබෙන ගුණාත්මක පරීක්ෂණ වාර්තාවල කලින් තිබූ මේ වැදගත් දත්ත පසුව නැති වූයේ ඇයිදැයි ලංකා ගල් අඟුරු සමාගම පරීක්ෂණ ආයතනයෙන් විමසූ බවටද සාක්ෂි ඉදිරිපත් වී නැත.

• වෙනත් ක්‍රියාමාර්ගයක් ගත් බවටද සාක්ෂි ඉදිරිපත් කර නැත.

මෙතැන උපකල්පනය කරන්නට දෙයක් ඉතිරි වී නැත. දත්ත තිබිණි. පසුව ඒවා නැති විය. ඒ නිසා මෙට්‍රික් ටොන් 275,144කට අදාළ අයකරගත හැකිව තිබූ මුදල කොපමණදැයි ගණනය කිරීමටවත් නොහැකි විය.

ඒ ගැන සමාගම විමසූ බවට හෝ ක්‍රියා කළ බවට සාක්ෂි ද විගණනයට ඉදිරිපත් වී නැත. එපමණකි. ඒ කරුණු තුනම මේ සිද්ධියේ බර කියන්නට ප්‍රමාණවත්ය.

මෙවරත් සභාපති මෛත්‍රී ගුණරත්න

මේ සියල්ල සිදුවන්නේ ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ධුරය ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න දරමින් සිටි කාලයේය.

විගණන වාර්තාව විසින් දක්වන අතිශය වැදගත් ආයතනික කරුණක් ද අනාවරණය කරයි. එනම් අදාළ ගල් අඟුරු ප්‍රසම්පාදන ගිවිසුම් රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අත්සන් කර නොතිබූ අතර, ඒ සියල්ල ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් අත්සන් කර තිබූ බවය.

දැන් අපට ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගෙන් ඇසිය යුතු ඉතා නිශ්චිත ප්‍රශ්නයක් තිබේ. .

ප්‍රශ්නයේ පළමු කොටස - ගල් අඟුරු කැට ප්‍රමාණයට අදාළ මිල අඩු කිරීමේ ආරක්ෂාව ඉවත් කිරීමට සාධාරණ හේතුවක්, විධිමත් අධ්‍යයනයක් හෝ කැබිනට් අනුමැතියක් නොතිබූ බව විගණනය කියන්නේ නම්, තමන් සභාපතිවරයා ලෙස ගිවිසුම් අත්සන් කළ ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රසම්පාදන ලේඛන තුළට එම තීරණය පැමිණියේ කෙසේද?

ප්‍රශ්නයේ දෙවැනි කොටස - 2016 ජනවාරි 30 දක්වා ගුණාත්මක පරීක්ෂණ වාර්තාවල තිබූ කැට ප්‍රමාණයේ දත්ත පෙබරවාරි 16න් පසු නැතිවූ විට,

• සමාගමේ කළමනාකාරිත්වය එය නොදුටුවේ ඇයි?

• දුටුවේ නම් කළේ කුමක්ද?

• විමසීමක් කළේ නම් එහි ලේඛන කොහේද?

සාරාංශය -

මේ සිද්ධියට අදාළව අපට දැනට තහවුරු කරගත හැකි කරුණු එකිනෙකට තැබූ විට කතාව ඉතා සරලය.

• රජය ගල් අඟුරු සඳහා කැට ප්‍රමාණයේ ප්‍රමිතියක් තැබීය. එහෙත් එම ප්‍රමිතියෙන් බැහැර වූ විට මුදල් අඩුකර ගැනීමේ ආරක්ෂාව ක්ෂණික මිලදී ගැනීම්වලින් ඉවත් කෙරිණි.

• විගණනය අනුව ඒ සඳහා සාධාරණ හේතුවක් තිබුණේ නැත. විධිමත් අධ්‍යයනයක් තිබුණේ නැත. කැබිනට් අනුමැතියක් තිබුණේ නැත.

• එහි ප්‍රතිඵලයක් ලෙස Liberty Commodities සමාගමෙන් අවම වශයෙන් ඩොලර් 1.73 මිලියනයක දඩ මුදල් අයකරගත නොහැකි විය.

• ඊටත් වඩා, සිව්වැනි මිලදී ගැනීමේ තවත් මෙට්‍රික් ටොන් 275,144කට අදාළ මුදල කොපමණදැයි තීරණය කිරීමට අවශ්‍ය දත්තද පසුව වාර්තාවල නොතිබිණි.

එබැවින් මේ විමර්ශනයේ ඊළඟ කාර්යය විය යුත්තේ තවදුරටත් “පාඩුවක් සිදුවුණාද?” යන්න සොයා බැලීම නොවේ.

• විගණනය පෙන්වන මේ මූල්‍ය ආරක්ෂාව ඉවත් කළ තීරණය ගත්තේ කවුද?

• එය රාජ්‍ය ප්‍රසම්පාදන ලේඛනයට ඇතුළු කළේ කවුද? එය අනුමත කළේ කවුද?

• එම තීරණය සඳහා විධිමත් අධ්‍යයනයක්වත් කැබිනට් අනුමැතියවත් නොතිබුණේ නම්, රජයට අයකරගත හැකිව තිබූ ඩොලර් මිලියන ගණනක් අහිමි කළ එම තීරණයේ වගකීම භාරගන්නේ කවුද? යන්නය.

දැන් සොයාගත යුත්තේ ඒ නමය. එතකම් මෛත්‍රි ගුණරත්න... රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහි වෙමින්, දූෂණ විරෝධීව, ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සදහා දිවි හිමියෙන් කැපවෙමින් යහපත් රටක් වෙනුවෙන් ඔයා යන ඔය ගමන අනේ පරිස්සමින් යන්න...