සහරාන් හෂීම්ට බදියුදීන්ගේ දේශපාලන රැකවරණය ලැබුණු හැටි යළිත් අධිකරණයේ දි කියැවෙයි!
පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් මන්නාරමේ සිට බෝට්ටු මාර්ගයෙන් කිහිප වතාවක්ම ඉන්දියාවට විදේශගත වූ බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබූ බවත් එසේ ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී අවශ්‍ය දේශපාලන රැකවරණය ලබා දුන්නේ රිෂාඩ් බදියුදීන් බවත් අධිකරණයේ දී ප්‍රකාශ විනි.
LSN Sri Lanka ·

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් මන්නාරම් බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවට ගිය බවට බුද්ධි තොරතුරු තිබුණු අතර, එම ගමන් සඳහා දේශපාලන රැකවරණය ලැබුණේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (සැප්තැම්බර් 15) කියා සිටියේය.

මෙම කරුණු ඉදිරිපත් වූයේ හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සහ ඊට සම්බන්ධ සැකකරුවන් පළිබඳ නඩුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විමර්ශන ප්‍රගතිය පැහැදිලි කරමින් මෙම චෝදනා ඉදිරිපත් කළේය.

ඔහු පැවසුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් මන්නාරමේ සිට බෝට්ටු මාර්ගයෙන් කිහිප වතාවක්ම ඉන්දියාවට විදේශගත වූ බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබූ බවය. එසේ ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී අවශ්‍ය දේශපාලන රැකවරණය ලබා දුන්නේ රිෂාඩ් බදියුදීන් බවත්, මෙම සිදුවීම් දාමයේදී ඔහුගේ නම අනාවරණය වන ස්ථාන කිහිපයක්ම පවතින බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

එමෙන්ම සහරාන්ගේ මෙම විදේශගතවීම් සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දුන්නේ මන්නාරම් ව්‍යාපාරික අලවුදීන් බවද ඔහු කීවේය. අලවුදීන් යනු ෂැංග්‍රිලා හෝටලයේදී බෝම්බය පුපුරුවාගත් ඉන්ෂාෆ් අහමඩ්ගේ මාමා (බිරිඳගේ පියා) බවත්, ඔහුට අයත් වේග බෝට්ටු සහරාන් සහ අනෙකුත් පිරිස ඉන්දියාවට යාමට භාවිත කළ බවට විමර්ශනවලදී තොරතුරු ලැබී ඇති බවත් අධිකරණයට කියැවිණි.

පාස්කු ප්‍රහාරයෙන් පසු ඉන්ෂාෆ්ගේ බිරිඳ වන අලවුදීන්ගේ දියණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රැඳවුම් නියෝග මත තබා ප්‍රශ්න කර තිබුණි. නමුත් පසුව පැවති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ වහාම එම රැඳවුම් නියෝග කාලය අවසන් වීමටත් පෙර ඇය මුදාහැර ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

ඊට අමතරව, අලවුදීන් ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ මන්නාරම් ප්‍රදේශයේ ප්‍රචාරක කටයුතු මෙහෙයවීමේදී මූලිකත්වය ගත් ප්‍රධාන පුද්ගලයෙකු බවද දිලීප පීරිස් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මීට පෙර පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ. ඔහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර සහරාන්ව මුණගැසී නැති බව මීට පෙර ප්‍රකාශ කර තිබේ.

එම නඩුවේදී මිලිටරි බුද්ධි අංශයට ප්‍රහාරය පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් ලැබී තිබුණත් ඒවා අනෙකුත් ආරක්ෂක ආයතනවලට බෙදා නොහැරීම සහ සහරාන්ව ආරක්ෂා කිරීමට උත්සාහ කිරීම පිළිබඳවද විමර්ශන සිදුවෙමින් පවතින බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා තිබේ. නඩුව ඉදිරියට කැඳවනු ඇත.

මෙම ඉදිරිපත් කිරීම් යනු නඩු විභාගයේදී නීතිපති පාර්ශ්වය විසින් කරන ලද චෝදනා සහ විමර්ශන තොරතුරුය. මේවා අධිකරණයේදී සාක්ෂි මත තහවුරු විය යුතු කරුණුය. නඩු විභාගය තවදුරටත් පැවැත්වේ.