එයාර්බස් අල්ලස් නඩුව: නාමල් රාජපක්ෂ අද නැවත අධිකරණයට!
කොටුව අධිකරණයේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ජනක බණ්ඩාර පැවසුවේ, විද්‍යුත් තැපැල් පරීක්ෂණවලින් නාමල් රාජපක්ෂ සහ එයාර්බස් නිලධාරීන් අතර සන්නිවේදනයක් සොයාගෙන ඇති බවය. 2013 මාර්තු 23 දිනැති එයාර්බස් ඊමේල් පණිවිඩයක “ජනාධිපතිගේ පුතා” කැබිනට් මණ්ඩලයට ගනුදෙනුව ඉදිරිපත් කිරීමට පොරොන්දු වූ බව සඳහන් වන බවද අධිකරණයට දන්වා තිබේ.
LSN Sri Lanka ·

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි එයාර්බස් අල්ලස් නඩුව අද (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී නැවත කැඳවනු ලැබීය. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු අධිකරණය වෙත රැගෙන එන ලදී.

2013 වසරේ ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ඇමෙරිකානු ඩොලර් ලක්ෂ අටක් (එවකට රුපියල් මිලියන 100ක පමණ) අල්ලස් ලෙස ලබාගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් පසුගිය 4 වැනිදා ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි.

විමර්ශනයට අනුව, එයාර්බස් සමාගම විසින් යුරෝ මිලියන 1.45ක පමණ මුදලක් සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ BIZ Solutions Inc ගිණුමට බැර කර ඇත. එයින් ඩොලර් ලක්ෂ අටක් සිංගප්පූරුවේ OCBC බැංකුවේ Sabre Vision Holdings Ltd ගිණුමට මාරු කර ඇති අතර, එම සමාගමේ හිමිකරු වන ව්‍යාපාරික නිමල් පෙරේරා විසින් එම මුදල් 2014-2015 කාලයේදී මුදලින් නාමල් රාජපක්ෂට භාරදුන් බවට චෝදනා එල්ල වී තිබේ. ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින නිමල් පෙරේරා විසින් ලබාදුන් දිවුරුම් ප්‍රකාශය සහ එයාර්බස් නිලධාරීන්ගේ ප්‍රකාශ මෙම විමර්ශනයේ ප්‍රධාන සාක්ෂි ලෙස ඉදිරිපත් වී ඇත.

මේ අතර, එම ගනුදෙනුවට අදාළ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වෙනම නඩුවක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යයි. නීතිපතිවරයාගේ උපදෙස් මත පසුගිය 13 වැනිදා නාමල් රාජපක්ෂ එම නඩුවේ සිව්වැනි සැකකරු ලෙස නම් කරන ලදී. කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ පසුගිය 16 වැනිදා ඉදිරිපත් කිරීමෙන් පසු 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි. එදින ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

කොටුව අධිකරණයේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ජනක බණ්ඩාර පැවසුවේ, විද්‍යුත් තැපැල් පරීක්ෂණවලින් නාමල් රාජපක්ෂ සහ එයාර්බස් නිලධාරීන් අතර සන්නිවේදනයක් සොයාගෙන ඇති බවය. 2013 මාර්තු 23 දිනැති එයාර්බස් ඊමේල් පණිවිඩයක “ජනාධිපතිගේ පුතා” කැබිනට් මණ්ඩලයට ගනුදෙනුව ඉදිරිපත් කිරීමට පොරොන්දු වූ බව සඳහන් වන බවද අධිකරණයට දන්වා තිබේ.

නඩු දෙකෙහිම ඉදිරි කැඳවීම් සහ ඇප ඉල්ලීම් පිළිබඳ තීරණ අධිකරණයෙන් බලාපොරොත්තු වේ.