පෘථග්ජනයාගේ ප්‍රශ්නය – නවුෆර් මව්ලවිට සිරදඬුවම් ලැබෙද්දී පූජිත්ට සහ හේමසිරිට මරණ දඬුවම ලැබුණේ ඇයි?
අපට කළ හැක්කේ දඬුවමේ බර දෙස පමණක් බලා කෝප වීම හෝ සතුටු වීම නොවේ. නවුෆර් මව්ලවි කළේ කුමක්ද, පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු කළ යුතුව තිබුණේ කුමක්ද, ඔවුන් නොකළේ කුමක්ද, ඒ එක් එක් කරුණ නීතිය විසින් වරදක් බවට පත් කළේ කෙසේද යන්න වෙන වෙනම තේරුම් ගැනීමය.
LSN Sri Lanka ·

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් ඓතිහාසික නඩු තීන්දුවක් ඊයේ ප්‍රකාශයට පත් විය. නවුෆර් මව්ලවි සහ ගෆූර් මාමා ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙක් වරදකරුවෝ වූහ. නව දෙනෙක් නිදොස් කොට නිදහස් කෙරිණි.

වරදකරුවන්ට වසර 200 සිට 260 දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම විය. නවුෆර් මව්ලවිට නියම වූ දඬුවම වසර 220කි. ඔවුන්ගේ චංචල හා නිශ්චල දේපළ සියල්ල රාජසන්තක කිරීමට ද අධිකරණය නියෝග කළේය.

ඒ තීන්දුව ඇසූ සාමාන්‍ය මිනිසකුට ප්‍රශ්නයක් ඇති වීම ස්වාභාවිකය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නවුෆර් මව්ලවිලාට මරණ දඬුවම නැතිව වසර සිය ගණනක සිරදඬුවම් ලැබෙද්දී, ප්‍රහාරය නොවැළැක්වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම ලැබුණේ කොහොමද?

බැලූ බැල්මට එය පරස්පරයකි. එහෙත් නීතිය ඇතුළට ගොස් බැලූ විට මේ කතාව ඊට වඩා වෙනස්ය. එකම පාස්කු ප්‍රහාරය බව සැබෑය. නමුත් තීන්දු ලැබුනේ නඩු දෙකක් සඳහාය. මේ ප්‍රශ්නය සංවාදයට ලක් කරනවිට මුලින්ම තේරුම් ගත යුතු කාරණය එය ය.

නඩු දෙකම උපදින්නේ 2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ එකම මහා ඛේදවාචකයෙනි. එහෙත් අධිකරණය ඉදිරියේ විභාග වූයේ එකම නඩුවක් නොවේ. චෝදනාත් එකම නොවේ. එක් එක් විත්තිකරුවන් සම්බන්ධයෙන් අධිකරණයට පිළිතුරු සෙවීමට සිදුවූ නීතිමය ප්‍රශ්න සහ පදනමත් එකම නොවේ.

නවුෆර් මව්ලවි ඇතුළු පිරිසට එරෙහි නඩුවේ විත්තිකරුවන් 24 දෙනෙක් අවසානය දක්වා නඩු විභාගයට මුහුණ දුන්හ. ඔවුන්ට එරෙහිව චෝදනා 23,270ක් ඉදිරිපත් කර තිබිණි. සියදිවි නසාගැනීමේ ප්‍රහාර සඳහා කුමන්ත්‍රණය කිරීම, ඒවාට ආධාර අනුබල දීම, මිනීමැරුම් සහ මිනීමැරීමට තැත් කිරීම, අවි හා පුපුරන ද්‍රව්‍ය සම්බන්ධ වැරදි ඇතුළු චෝදනා ඒ අතර තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් පසු අධිකරණය 15 දෙනකු සම්බන්ධයෙන් පැමිණිල්ල සාධාරණ සැකයෙන් ඔබ්බට චෝදනා ඔප්පු කර ඇති බව ඒකමතිකව තීරණය කළේය. අනෙක් නව දෙනා සම්බන්ධයෙන් එම මට්ටමට චෝදනා ඔප්පු වී නැති බව තීරණය කර ඔවුන් නිදොස් කොට නිදහස් කළේය.
අනතුරුව එක් එක් වරදකරුවා සම්බන්ධයෙන් ඔප්පු වූ චෝදනා සඳහා අදාළ දඬුවම් එකතු වී වසර සිය ගණනක සිරදඬුවම් බවට පත් විය. ඒ නවුෆර් මව්ලවිලාගේ නඩුවය.

පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දුගේ කතාව වෙනත් තැනකින් ආරම්භ වන්නේය. ඔවුන්ට චෝදනා කළේ බෝම්බ තැබූ බවට නොවේ. මෙය මේ කතාවේ වැදගත්ම තැනකි.

පූජිත් ජයසුන්දර හෝ හේමසිරි ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය සැලසුම් කළ බවට මේ නඩුවෙන් අධිකරණය තීරණය කළේ නැත. ඔවුන් ත්‍රස්තවාදීන් සමඟ එක්ව ප්‍රහාරය සංවිධානය කළ බවට මේ තීන්දුවෙන් කියන්නේ ද නැත. ප්‍රශ්නය වූයේ වෙනත් එකකි. ප්‍රහාරයක් සිදුවීමට යන බවට තොරතුරු ලැබී තිබියදී, රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල නිල වගකීමක් දැරූ මේ නිලධාරීන් දෙදෙනා කළ යුතුව තිබූ දේ කළාද? නැතිනම් ඔවුන් කළ යුතුව තිබූ දෙයක් නොකිරීමෙන් පසුව සිදුවූ මරණවලට නීතිය ඉදිරියේ වරදකරුවන් වුනා ද?.

නඩුවේ මුඛ්‍ය කාරණාව තිබුණේ එතැන ය.

ඔවුන් දෙදෙනාට වෙන වෙනම චෝදනා 855ක් ඉදිරිපත් කර තිබිණි. මිනීමැරුම් හා මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධ චෝදනා ද ඒ අතර විය. පැමිණිල්ලේ නීතිමය තර්කයේ වැදගත් පදනමක් වූයේ දණ්ඩ නීති සංග්‍රහයේ 102 වැනි වගන්තිය යටතේ ආධාර අනුබල දීම පිළිබඳ සංකල්පය ය. එහිදී යම් ක්‍රියාවකින් පමණක් නොව, නීතියෙන් කළ යුතු දෙයක් හිතාමතා නොකිරීමෙන් ද යම් අපරාධයකට ආධාර විය හැකිද යන ප්‍රශ්නය මතු විය.

සරලව කිවහොත් නීතිය අධිකරණයෙන් ඇසූ ප්‍රශ්නය මෙයය.

“ඔබ බෝම්බය තැබුවාද?” යන්න පමණක් නොව, “එම බෝම්බය පුපුරා යාම වළක්වා ගැනීමට ඔබට නීතිමය වගකීමක් සහ අවශ්‍ය තොරතුරු තිබියදී ඔබ කළ යුතු දේ කළාද? යන්න අධිකරණය විමසුවේය.

කළ දේ වගේම නොකළ දේත් නීතියට වැදගත් විය හැකිය

සාමාන්‍ය ජීවිතයෙන් උදාහරණයක් ගනිමු.

යම් පුද්ගලයකුට අනතුරක් කිරීමට තවත් පුද්ගලයකු ක්‍රියා කරන බව දැන සිටීම පමණින් සියලු දෙනාම එම අපරාධයේ වරදකරුවන් වන්නේ නැත. එහෙත් තත්ත්වය වෙනස් වන්නේ යම් පුද්ගලයකුට එය වැළැක්වීම සඳහා විශේෂ නීතිමය වගකීමක් පැවරී තිබේ නම්ය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූජිත්–හේමසිරි නඩුවේ මූලික නීතිමය ගැටලුව වූයේත් එයයි.

2019 අප්‍රේල් 21 ප්‍රහාරයට පෙර ප්‍රහාරයක් පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබූ බව නඩුවේදී සලකා බැලිණි. එවකට පොලිස්පතිවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මේ දෙදෙනාට ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැවරී තිබූ වගකීම ද අධිකරණය සැලකිල්ලට ගත්තේය.

බහුතර විනිසුරුවරුන්ගේ නිගමනය වූයේ ඔවුන් එම වගකීම නිසි ලෙස ඉටු නොකළ බවත්, එම නොකිරීම සහ සිදුවූ මරණ අතර නීතියෙන් පිළිගත හැකි සම්බන්ධයක් ඇති බවත්ය.

ඒ අනුව චෝදනා 855න් 854කට ඔවුන් වරදකරුවන් කෙරිණි. මරණවලට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම විය. තවත් චෝදනා 542ක් සඳහා වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ දඩ ද නියම කෙරිණි.

එබැවින් මෙහි ඇති වැදගත්ම කරුණ මෙයය. පූජිත් සහ හේමසිරිට මරණ දඬුවම ලැබුණේ නවුෆර් මව්ලවිට වඩා ඔවුන් “විශාල ත්‍රස්තවාදීන්” ලෙස අධිකරණය සැලකූ නිසා නොවේ. නඩු දෙකේ චෝදනා, ඒවා ඔප්පු වූ ආකාරය සහ ඒ ඒ වරදට නීතියෙන් බැඳී ඇති දඬුවම වෙනස් වූ නිසාය.

එහෙත් කතාව මෙතැනින් අවසන් කළ නොහැකිය

පූජිත්–හේමසිරි තීන්දුව සම්බන්ධයෙන් තවත් ඉතා වැදගත් කාරණයක් පාඨකයා දැනගත යුතුය. එය විනිසුරුවරුන් තිදෙනාගේ ඒකමතික තීන්දුවක් නොවේ. විනිසුරු ප්‍රියන්ත ලියනගේ සහ විනිසුරු තිලකරත්න බණ්ඩාර ඔවුන් වරදකරුවන් බවට තීරණය කළහ.

එහෙත් විනිසුරු විරාජ් වීරසූරිය ඊට එකඟ වූයේ නැත. ඔහුගේ නිගමනය වූයේ පැමිණිල්ල විසින් චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර නොමැති බවය. ඒ අනුව ඔහු විත්තිකරුවන් නිදොස් කළ යුතු බවට වෙනස් මතයක් දැරීය. අවසානයේ මරණ දඬුවම නියම වූයේ විනිසුරුවරුන් දෙදෙනකුගේ බහුතර තීරණය අනුවය.

මේ වෙනස් මතය සුළු කරුණක් නොවේ. එයින් පෙන්වන්නේ “නොකිරීමක්” සහ මිනිස් මරණ අතර අපරාධ නීතියෙන් අවශ්‍ය සම්බන්ධය ගොඩනැගීම සරල ප්‍රශ්නයක් නොවන බවය. එකම සාක්ෂි සමූහය සලකා බැලූ විනිසුරුවරයකු වෙනත් නීතිමය නිගමනයකට පැමිණ තිබේ.

එය සඳහන් කිරීම බහුතර තීන්දුව ප්‍රතික්ෂේප කිරීමක් නොවේ. මේ කරන්නේ තීන්දුව සම්පූර්ණයෙන් පාඨකයා ඉදිරියේ තැබීමකි. මේ නඩුව වරක් අවසන් වි තිබුණු නඩුවකි.

වරක් අවසන් වී තිබිණු නඩුව

මේ කතාවට තවත් හැරවුමක් තිබේ. 2022 පෙබරවාරි 18 වැනිදා පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නඩුවෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබූහ. එදා ඔවුන්ගේ විත්තියේ සාක්ෂි කැඳවීමටත් පෙර මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කළේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි මත ඔවුන්ට එරෙහි නඩුව ඉදිරියට ගෙන යාමට ප්‍රමාණවත් පදනමක් නොමැති බවය. නීතිපතිවරයා එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය.

පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එම නිදොස් කිරීම ඉවත් කර, විත්තිකරුවන්ගේ ආරක්ෂාව කැඳවා නඩුව ඉදිරියට පවත්වාගෙන යන ලෙස නියම කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී අවධාරණය කළේ මෙවැනි සංකීර්ණ හා බරපතළ නඩුවක විත්තියේ කරුණු නොඅසා නඩුව අවසන් කිරීම සුදුසු නොවන බවය.

ඉන්පසු පැවැති නඩු විභාගය අවසානයේ 2026 ජූලි 31 වැනිදා ඔවුන්ට මරණ දඬුවම නියම විය. ඒ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කිරීමේ නීතිමය අවස්ථාව ඔවුන්ට තිබේ. එබැවින් මේ මොහොතේ මේ නඩුව ගැන ලියන විට එම නීතිමය ක්‍රියාවලිය අවසන් වී ඇතැයි සැලකීම ද නිවැරදි නොවේ.

පොදුජනයාගේ ප්‍රශ්නයට පිළිතුර කුමක්ද?

දැන් අපට මුලින් ඇසූ ප්‍රශ්නය වෙත නැවත පැමිණිය හැකිය.ෙනවුෆර් මව්ලවිලාට වසර සිය ගණනක සිරදඬුවම් ලැබෙද්දී පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම ලැබුණේ ඇයි?

පිළිතුර වන්නේ අධිකරණය මේ දෙපිරිස අතර “කවුද වඩා නරක?” යන සංසන්දනයක් කර දඬුවම් නියම නොකළ බවය.

අධිකරණයක් ඉදිරියේ තිබෙන්නේ එක් එක් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ නිශ්චිත චෝදනාය. ඒ චෝදනා යටතේ ඔප්පු කළ යුතු නීතිමය අංගය. ඉදිරිපත් වූ සාක්ෂිය. එම සාක්ෂියෙන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වූ දේය. අවසානයේ එම වරද සඳහා නීතිය නියම කර ඇති දඬුවමය. ඒ නිසා වසර 220ක සිරදඬුවමක් සහ මරණ දඬුවමක් දෙපස තබා, දඬුවමේ නම පමණක් බලමින් නඩු දෙකේ වගකීම මැනීම වැරදිය.

එහෙත් මේ තීන්දු දෙක එකට කියවන විට පාස්කු ප්‍රහාරය පිළිබඳ තවත් ගැඹුරු කතාවක් අප ඉදිරියේ විවෘත වෙයි. එක පැත්තකින් ප්‍රහාරයට සම්බන්ධ වූ බව අධිකරණය හමුවේ ඔප්පු වූ පුද්ගලයන්ට නීතිය ළඟා වී තිබේ. අනෙක් පැත්තෙන් ප්‍රහාරය වළක්වා ගැනීමට රාජ්‍ය බලය, තොරතුරු සහ නිල වගකීම තිබූ ඉහළ නිලධාරීන් කළ යුතු දේ නොකිරීම සම්බන්ධයෙන් ද නීතිය ප්‍රශ්න කර තිබේ. ඒ දෙක එකම දෙයක් නොවේ. නමුත් ඒ දෙකම පාස්කු ඉරිදා සිදුවූ මහා මිනිස් ඛේදවාචකයේ වගකීම සොයා යන නීතිමය ගමනේ කොටස් දෙකකි.

අවසානයේ මේ නඩු දෙක අප ඉදිරියේ තබන්නේ දඬුවම් පිළිබඳ ප්‍රශ්නයකට වඩා විශාල ප්‍රශ්නයකි. “මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ බලය සහ වගකීම රාජ්‍යය විසින් යමෙකුට පවරන විට, ඒ බලය භාවිත නොකිරීමේ ප්‍රතිවිපාකයට ඔහු නීතිය ඉදිරියේ කොතෙක් දුරට වගකිව යුතුද?“ යන්නය. පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු සම්බන්ධයෙන් මහාධිකරණයේ බහුතර තීන්දුව එක් නීතිමය පිළිතුරක් දී තිබේ. විනිසුරු මඬුල්ලේ තවත් විනිසුරුවරයකු ඊට වෙනස් පිළිතුරක් දී තිබේ. ඉදිරියේ අභියාචනයක් සිදුවුවහොත් එහි අවසන් නීතිමය පිළිතුර දීමට ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටය.

එතෙක් අපට කළ හැක්කේ දඬුවමේ බර දෙස පමණක් බලා කෝප වීම හෝ සතුටු වීම නොවේ. නවුෆර් මව්ලවි කළේ කුමක්ද, පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු කළ යුතුව තිබුණේ කුමක්ද, ඔවුන් නොකළේ කුමක්ද, ඒ එක් එක් කරුණ නීතිය විසින් වරදක් බවට පත් කළේ කෙසේද යන්න වෙන වෙනම තේරුම් ගැනීමය. එවිට බැලූ බැල්මට පෙනෙන පරස්පරය තරමක් පැහැදිලි වනු ඇත.

එහෙත් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සියලු ප්‍රශ්න මේ නඩු තින්දු දෙකෙන් අවසන් වන්නේ නැත. පාස්කු ප්‍රහාරයේ පුළුල් කුමන්ත්‍රණය, බුද්ධි තොරතුරු දාමය සහ අනෙකුත් ආයතනික වගකීම් පිළිබඳ තවමත් පවතින ප්‍රශ්න ඒ බරින්ම නොවිසඳි පවතින බැවිනි.