LSN News › World News

ආණ්ඩුවේ බලය හෙට සවස හතට බලාගත හැකියි - අගමැතිනි හරිනි අමරසූරිය පවසයි!

ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ පවතින ඒකාබද්ධකම සහ එකමුතුකම පිළිබඳව සමාජය තුළ වපුරන්නටහ හදමින් ඇති විවිධ මත පළකිරීම් හා සමපේක්ෂණයන් මුළුමනින්ම එකහෙළා ප්‍රතික්ෂේප කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

LSN World News · 24 September 2026

ආණ්ඩුවේ බලය හෙට සවස හතට බලාගත හැකියි - අගමැතිනි හරිනි අමරසූරිය පවසයි!

ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 158 දෙනාගේ ශක්තිමත් එකමුතුකම සහ ඒකාබද්ධතාව හෙට දින ප්‍රදර්ශනයවන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (24) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ පවතින ඒකාබද්ධකම සහ එකමුතුකම පිළිබඳව සමාජය තුළ වපුරන්නටහ හදමින් ඇති විවිධ මත පළකිරීම් හා සමපේක්ෂණයන් මුළුමනින්ම එකහෙළා ප්‍රතික්ෂේප කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෞද්ගලික හෝ තනි තනි අභිලාෂයන් වෙනුවෙන් නොව සාමූහික පොදු අරමුණක් වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවය.

"හෙට සවස 7 වන විට මෙම පාර්ලිමේන්තුවේ සැබෑ තත්ත්වය කුමක්දැයි අප සැමට දැකබලා ගැනීමට හැකිවනු ඇති. මෙම සාමාජිකයින් 158 දෙනාගේ පවතින එකමුතුකම සහ ශක්තිය කෙබඳුද යන්න හෙට දිනයේදී පැහැදිලිවම තහවුරු වන්නට නියමිතයි" අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

විවිධ පාර්ශ්වයන් මගින් නොයෙක් ප්‍රකාශ හා අසත්‍ය මත ප්‍රචාරය කරමින් තිබුණද, මෙම මන්ත්‍රීවරුන් 158 දෙනා අතර පවතින එකමුතුකම සහ සාමූහික ශක්තිය එක් අංශුවකින් හෝ සොලවාලීමට කිසිවෙකුටත් නොහැකි බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

රට තුළ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින පරිවර්තනීය වෙනස උදෙසා එම සාමූහික එකමුතුකම සෘජුවම දායක වන ආකාරය හෙට සන්ධ්‍යාව වන විට මුළු රටටම ඉතා පැහැදිලිවම දැකගත හැකිවනු ඇති බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

තවද, ශ්‍රී ලංකාව මීට වඩා යහපත් හා සමෘද්ධිමත් රටක් බවට පත්කළ හැකිය යන විශ්වාසය හා බලාපොරොත්තුව මහජනතාව තුළ මේ වන විට ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බවද අග්‍රාමාත්‍ය අමරසූරිය සිය කතාව අතරතුරදී සඳහන් කළාය.

ඊට ආසන්නතම උදාහරණයක් ලෙස පසුගියදා පැවැති දුම්රිය වර්ජනය පෙන්වා දුන් ඇය, එම වර්ජන සමයේදී ප්‍රවේශපත්‍ර ලබාගැනීමට නොහැකි වූ ඇතැම් තරුණයන්, වර්ජනය අවසන් වූ පසු පසුදින ගමන සඳහා ප්‍රවේශපත්‍ර දෙකක් බැගින් මිලදී ගනිමින් පෙරදින නොගෙවූ මුදල පියවා ගැනීමට කටයුතු කර තිබූ බව පැවසුවාය.

"එය කුඩා ක්‍රියාවක් හෝ සිදුවීමක් ලෙස යමෙකුට පෙනී යා හැකි නමුත්, එමගින් පිළිඹිබු වන්නේ මෙම රට මීට වඩා බොහෝ යහපත් තැනක් බවට පත්කළ හැකිය යන ජනතාවගේ දැඩි විශ්වාසය සහ අපේක්ෂාවයි" යනුවෙන් ඇය සඳහන් කළාය.

මීටත් වඩා කාර්යක්ෂම හා යහපත් මහජන සේවාවක්, වගකීම් සහගත හා පිරිසිදු නායකත්වයක්, ජනතා අවශ්‍යතාවලට සංවේදී වන රාජ්‍ය ආයතන පද්ධතියක් මෙන්ම ස්වාධීන හා සාධාරණ අධිකරණ පද්ධතියක් කෙරෙහි වූ මහජනතාවගේ බලාපොරොත්තු සහ අපේක්ෂාවන් මෙමගින් තවදුරටත් පුළුල් වන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

රට තුළ ගොඩනැගෙමින් පවතින මෙම ප්‍රබල මහජන විශ්වාසය සහ ජනතා අපේක්ෂාවන්, රට පරිවර්තනීය මාවතකට ගෙන යාම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට ලැබෙන ප්‍රධානතම ශක්තිය සහ අලෝකය බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.