LSN News › Sri Lanka

කටුනායක ගුවන්තොටුපොළේදී රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් කුෂ් තොගයක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13ක් සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් තිදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

LSN Sri Lanka · 16 November 2026

කටුනායක ගුවන්තොටුපොළේදී රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් කුෂ් තොගයක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී අද (නොවැම්බර් 16) අලුයම සිදු කළ වෙන වෙනම වැටලීම් දෙකකදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13යි ග්‍රෑම් 48ක් සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ ඇස්තමේන්තුගත වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 13කට අධික (රුපියල් 13,04,80,000ක් පමණ) බව වාර්තා වේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ (PNB) ගුවන්තොටුපොළ ඒකකය සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම් දෙක සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.

සැකකරුවන් තිදෙනාම මැලේසියානු ගුවන් සේවයේ MH 179 දරන ගුවන් යානයෙන් අද අලුයම 12.00ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බවත්, ඔවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදී ගෙන ක්වාලාලම්පූර් හරහා මෙරටට රැගෙන විත් ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ වැටලීම

ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් එක්ව සිදු කළ වැටලීමකදී මාතලේ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාර්මික ශිල්පියෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ තිබූ විදේශීය මත්පැන් බෝතල් ඇසුරුම් පෙට්ටි දෙකක, පැකට් පහක අසුරා ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 384ක් එහිදී සොයා ගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 4.384ක් පමණ වන බව ගණන් බලා ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකය වෙත භාර දී තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකය විසින් සිදු කළ අනෙක් වැටලීමේදී තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබී සොයා ගත් කුෂ් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 664ක් වන අතර, එක් සැකකරුවෙකු සන්තකයේ තිබී කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 336ක් සහ අනෙක් සැකකරු සන්තකයේ තිබී කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 328ක් වශයෙන් එම තොගය සොයා ගෙන ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 8.664ක් පමණ වේ.

මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ:

නැදුන්කේනි ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි යකඩ පෑස්සුම්කරුවෙකි.

මහනුවර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔවුන් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ තිබූ ජැක් ඩැනියෙල් (Jack Daniel’s) වර්ගයේ විස්කි බෝතල් ඇසුරුම් පෙට්ටි හතරක තිබූ බෝතල් ඉවත් කර, ඒ වෙනුවට පැකට් හතරක අසුරා මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.

ඉදිරි විමර්ශන කටයුතු

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. දෙවන වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පවසයි.