ලෝක සාමයේ මණ්ඩපය යුධකාමීන්ගේ ප්‍රකාශන වේදිකාවක් බවට පත්වන විට...
මහා බලවතුන් විසින් ජාත්‍යන්තර සංවිධාන සලකන්නේ තමන්ගේ මෙවලම් ලෙස මිස තමන්ට ඉහළින් සිට තමන්ව පාලනය කරන්නන් ලෙස නොවේ. හෙත් කුඩා රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය භාවිතා කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් හේතුවකටය. අමෙරිකාවේ හෝ ඉරානයේ හමුදා බලයට තරග කිරීමට ඔවුන්ට කිසිසේත් නොහැකිය. ඔවුන්ට කළ හැක්කේ නාවික ගමනාගමනයේ නිදහස, පරමාණුක ආයුධ තහනම, සමූහ දඬුවම් නොදීම සහ ගෝලීය තෙල් මාර්ග වටලෑම වැළැක්වීම වැනි ප්‍රතිපත්ති ලෝකයේ සම්මුතිගත ප්‍රසිද්ධ වාර්තාවලට ඇතුළත් කිරීමට උත්සාහ කිරීම පමණය.
LSN Sri Lanka ·
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය නිර්මාණය වූයේ දෙවන ලෝක මහා සංග්‍රාමයේ දැවැන්ත විනාශයෙන් පසුවය. එහි මූලිකම පරමාර්ථය සහ පොරොන්දුව වූයේ සරල එකකි; එනම් ලෝකය විනාශය කරා ගෙන යනු වෙනුවට සාකච්ඡා මාර්ගයට යොමු කිරීමය.

එහෙත් සාමය සඳහා වූ මණ්ඩප ද්වාරයෙන් ඇතුළුවන යුධ කාමීන් ලෝක සාම වේදිකාව ස්වකීය බල වියරුව ප්‍රකට කරන මෙවලමක් බවට පත්කරගෙන කරගෙන තිබේ නම් ලෝකය මේ මොහොතේ මුහුණ දී සිටින බරපතල ඛේදවාචකය එයය. අමෙරිකානු ජනාධිපතිවරයෙකුට එම වේදිකාවේ සිට "ඉස්ලාමීය ජනරජය සහමුලින්ම විනාශ කර දමනවාද" නැතහොත් "ඔවුන් නිරයටම ඇද දමනවාද" යන්න පිළිබඳව ඉදිරියේ දී තමන් තීරණය කරන බවට ප්‍රකාශ කළ හැකිය. ඊශ්‍රයාල අගමැතිට ගාසා තීරයේ ඇස්පනාපිට සිදුවන මානුෂික ව්‍යසනයට එරෙහිවන ලෝක ජන නායකයන්ට නින්දා පරිභව කරමින් අවමන් කළ හැකිය. එසේ නම් මෙම මණ්ඩපය තවදුරටත් කුමකටද?. කුමක් සඳහා ද?.

අප සංවාදයට බඳුන්කරන්නකට උත්සාහ කරන්නේ මේ ගැටලුවය.

ඊට ඇති සැබෑ සහ අමිහිරි පිළිතුර නම්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යනු අධිකරණයක් නොවන බවය. පිළිගත යුතු යථාර්ථය වන්නේ මහා බලවතෙකු විසින් දැනටමත් තෝරාගෙන ඇති යුද්ධයක් නැවැත්වීමට ඊට ශක්තියක් නැති බවය. කොටින්ම ගිවිසුමකට එළඹීමට යම් පාර්ශ්වයකට බලකිරීමට තබා සාම මණ්ඩපය ලෙස ලෝකය පිළිගන්නා සිය වේදිකාව තුළ කෙරෙන දේශනයක් සාමකාමී රාමුවක් තුළ පවත්වා ගැනීමට නිර්දේශ කිරීමට පවා මහා මණ්ඩලයට හැකියාවක් නැති බවය.

ලෝක සාමය යනු මානව වර්ගයාගේ මහා ගෞරවනීය අපේක්ෂාවය. ඒ සඳහා නිර්මාණයවන මණ්ඩපය මත හැසිරීම ශිෂ්ඨාචාරවත් ලෝකය විසින් වගකීම් සහගත ලෙස සිදුකරනු ඇතැයි විශ්වාස කරන අප්‍රකාශිත සම්මුතියකි. එහෙත් ලෝකයේ බලය සහිත පාලකයින් මනුෂ්‍යත්වයේ සීමා ඉක්මවා ගොස් තැන නොතැන නොදකිමින් තම අභිමතය වෙනුවෙන් තරග කරන විට ගෞරවනීය විශ්ව මණ්ඩප නිරුවත් සැකිලි බවට පත් වන්නේය.

එවැනි පසුබිමක් තුළ මේ වනවිට එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ දී සිදුවන එකම දේ ගෝලීය බලය ක්‍රියාත්මකවන සැබෑ ස්වරූපය මුළු ලෝකය හමුවේ ප්‍රසිද්ධියේ නිරූපණය කිරීම පමණය.

ට්‍රම්ප් පැවසූ දේ සහ එහි ප්‍රබල බලපෑම

2026 සැප්තැම්බර් 22 වන දින, ඩොනල්ඩ් ට්‍රම්ප් 81 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් කියා සිටියේ තමා දැවැන්ත තීරණයක් ඉදිරියේ සිටින බවය. එක් මාවතක් වන්නේ ඉරානයට පෙරටත් වඩා බලවත් රටක් ලෙස නැවත නැගී සිටීමට ඉඩ සලසන ගිවිසුමකට එළඹීම බවත්, අනෙක් මාවත වන්නේ ඉස්ලාමීය ජනරජය ඉතා ඉක්මනින් හා සහමුලින්ම විනාශ කර දැමීම බවත් ඔහු පැවසීය.

අන්‍යයන් සහ අනෙකුත් රටවල් විනාශ කිරීමට ඔවුන්ට නැවත කිසි දිනෙක ඉඩ නොතබන බවත්, අනාගත උදාරත්වයක් හෝ අනාගත පරම්පරාවක් පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් ඉතිරි නොකර ඔවුන් නිරයටම ඇද දමන්නේද යන්න තමා කල්පනා කරන බවත් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේය. අමෙරිකානු අතුරු මැතිවරණයෙන් තමා ලබන ජයග්‍රහණය දෙස ඉරානය බලා සිටින බැවින්, මැතිවරණයට වහාම පසුව ගිවිසුමකට එළඹීමට හැකිවනු ඇතැයිද ඔහු අනාවැකි පළ කළේය.

මෙය අහම්බෙන් කියැවුණු වචන පෙළක් නොවේ. මුළු ලෝකයම බලා සිටින මයික්‍රෆෝනයක් ඉදිරියේ ප්‍රකාශ කරන ලද බලහත්කාරී රාජ්‍යතාන්ත්‍රික උපක්‍රමයකි (Coercive diplomacy). මෙම දේශනය පැවැත්වෙන අතරතුර පවා, කටාර් රාජ්‍යයේ මැදිහත්වීම මත අමෙරිකානු සහ ඉරාන නිලධාරීන් තිරයෙන් පිටුපස රහසිගත සාකච්ඡාවල නිරත වෙමින් සිටියේය. හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඉරානය විසින් දින හතක සැලැස්මක් ඉදිරිපත් කළද ට්‍රම්ප් එය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව, තර්ජනය කිරීම සහ කේවල් කිරීම යන දෙකම එකම සතියක් තුළ සිදුවිය. වර්තමාන නවීන යුද්ධ ක්‍රියාත්මක වන්නේ එම රටාවටය. එනම්, ප්‍රසිද්ධියේ දැඩි පීඩනයක් එල්ල කරන අතරම අභ්‍යන්තරව රහසිගතව කේවල් කිරීමය.

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ද එම වේදිකාවේ සිටම ඊට පිළිතුරු දුන්නේය.

ඉරානය කිසිවිටෙකත් යටත් නොවන බවත්, "බලයේ භාෂාව" පිළිනොගන්නා බවත් ප්‍රකාශ කළ ඔහු, තවදුරටත් සාකච්ඡා සඳහා සූදානම් බව සඳහන් කළේය. අනෙක් පාර්ශ්වයන්ගේ දේශන පැවැත්වෙන අතරතුර නියෝජිත පිරිස් ශාලාවෙන් පිටව ගියහ. කැමරා මගින් මේ සියලු සිදුවීම් සටහන් කරගනු ලැබුවද, යුද්ධය අවසන් කිරීමට කිසිදු යෝජනාවක් මේ වනවිටත් සම්මත වී නැත.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැබෑ තත්ත්වය

මහා මණ්ඩලයේ රාජ්‍ය නායක හමුව බොහෝ විට "විවාදයක්" ලෙස හඳුන්වනු ලැබුවද, එය සැබෑ ලෙසම විවාදයක් නොවේ. සාමාජික රටවල් 193 ටම එහිදී තමන්ගේ අදහස් දැක්වීමට අවස්ථාව හිමිවේ. එම දේශනවලින් වැඩි ප්‍රමාණයක් ජාතික අභිලාෂයන් ප්‍රකාශ කිරීම මිස සැබෑ සාකච්ඡා හෝ සම්මුතීන් නොවේ. මහා මණ්ඩලයේ යෝජනා සාමාන්‍යයෙන් හුදු නිර්දේශයන් පමණි. අමෙරිකාව, චීනය, රුසියාව හෝ වෙනත් ඕනෑම බලවත් රාජ්‍යයක් ඒවා පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, එම යෝජනාවලට එකී රටවල් බැඳ තැබීමේ බලයක් නැත.

යුද්ධය සහ සාමය පිළිබඳව තීරණ ගැනීමේ සැබෑ බලතල ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයටය. එහි ස්ථිර සාමාජිකයින් පස්දෙනාට නිෂේධ බලය හිමිව තිබේ. එම බලවත් රටවල් පහෙන් එකක් යුද්ධයක පාර්ශ්වකරුවෙකු වූ විට ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අක්‍රිය වේ.

එය පුදුමයට කරුණක් නොවේ. 1945 දී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ලියන විටම එය ඇතුළත් කරන ලද්දකි. එම පද්ධතියට ප්‍රබල රාජ්‍යයන් පාලනය කළ හැකි බවට වඩා, එම ප්‍රබල රාජ්‍යයන් මෙම පද්ධතිය තුළ රඳවා තබා ගැනීම නිර්මාපකයින්ගේ ප්‍රධාන අරමුණ විය.

එබැවින් මහා මණ්ඩලය යනු සෑම විටම වෙනත් දෙයකි. එනම් එය වේදිකාවකි. දින දර්ශනයකි. එමෙන්ම රහසිගත සාකච්ඡා මණ්ඩපයකි.

වේදිකාවක් ලෙස: නායකයින් මෙය භාවිතා කරන්නේ අන්‍ය රාජ්‍යයන්ට මෙන්ම තමන්ගේ රටේ ජනතාවටද අදහස් දැක්වීමටය. ට්‍රම්ප්ගේ ඉලක්කය වූයේ ටෙහෙරානය පමණක් නොවේ. අමෙරිකානු ඡන්දදායකයින්, මිත්‍ර රටවල නායකයින් සහ ගෝලීය තෙල් වෙළඳපොළ ද ඔහුගේ ඉලක්ක අතර විය.

දින දර්ශනයක් ලෙස: සැප්තැම්බර් මාසය විසින් සතුරු පාර්ශ්වයන් එකම නගරයකට රැස් කරවනු ලබයි. කටාර් රාජ්‍යයට පණිවිඩ හුවමාරු කිරීමටත්, රටවල් 80 කට එක්ව හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන ලෙස ඉල්ලා සිටීමටත්, අමෙරිකාවට සහ ඉරානයට නිල රාජ්‍ය තාන්ත්‍රික හමුවක් නොමැතිව වුවද සාකච්ඡා කිරීමටත් අවස්ථාව ලැබුණේත් එබැවිනි.

රහසිගත මණ්ඩපයක් ලෙස: සැබවින්ම ඵලදායී කාර්යයන් සිදුවන්නේ ප්‍රසිද්ධ දේශනය තුළ නොවේ. දේශනයෙන් පසුව හෝටල් කාමරවල, රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම්වල හෝ මැදිහත්කරුවන්ගේ මූලස්ථානවල පැවැත්වෙන සාකච්ඡා තුළය.

මෙම රටාව ඉතා පැරණිය. 2017 දී ද ට්‍රම්ප් මෙම ශාලාවේ සිටම උතුරු කොරියාව "සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට" තර්ජනය කළේය. 1960 දී නිකිටා කෘෂෙව් ද මෙම සැසිය නාට්‍යමය ස්වරූපයකින් භාවිතා කළේය.

නායකයින් බොහෝ කලක සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය භාවිතා කර ඇත්තේ අනතුරු ඇඟවීමට, පම්පෝරි ගැසීමට සහ කාලය මිඩංගු කිරීමටය. මෙවර ඇති වූ තිගැස්ම නම් බලවතුන් රළු ලෙස හැසිරීම නොවේ. සාමය උදෙසා කැපවූ මණ්ඩපයක් තුළ සිටිමින්, බලයේ සිටින අමෙරිකානු ජනාධිපතිවරයෙකු රටක් සහමුලින්ම විනාශ කිරීම තමා සතු නිල විකල්ප දෙකෙන් එකක් ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමය.

සැබෑ ලෝකයේ දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරය

මහා බලවතුන් විසින් ජාත්‍යන්තර සංවිධාන සලකන්නේ තමන්ගේ මෙවලම් ලෙස මිස තමන්ට ඉහළින් සිට තමන්ව පාලනය කරන්නන් ලෙස නොවේ. සම්බාධක පැනවීම, හුදකලා කිරීම හෝ සතුරෙකු නම් කිරීම වැනි දේ සඳහා මෙම මෙවලම උපකාරී වන විට ඔවුහු එය භාවිතා කරති. එය තමන්ගේ න්‍යාය පත්‍රයට බාධාවක් වන විට ඔවුහු එය නොසලකා හරිති.

එහෙත් කුඩා රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය භාවිතා කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් හේතුවකටය. අමෙරිකාවේ හෝ ඉරානයේ හමුදා බලයට තරග කිරීමට ඔවුන්ට කිසිසේත් නොහැකිය. ඔවුන්ට කළ හැක්කේ නාවික ගමනාගමනයේ නිදහස, පරමාණුක ආයුධ තහනම, සමූහ දඬුවම් නොදීම සහ ගෝලීය තෙල් මාර්ග වටලෑම වැළැක්වීම වැනි ප්‍රතිපත්ති ලෝකයේ සම්මුතිගත ප්‍රසිද්ධ වාර්තාවලට ඇතුළත් කිරීමට උත්සාහ කිරීම පමණය.

හෝමූස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීමට නොහැකි වුවද, රටවල් 80 ක් එක්ව කළ ප්‍රකාශය වැදගත් වූයේ එබැවිනි. ලෝකයේ බහුතරයකගේ ස්ථාවරය කුමක්ද යන්න රක්ෂණ සමාගම්වලට, නැව් හිමියන්ට සහ ආණ්ඩුවලට එමගින් සංඥා කෙරිණි. වෙළඳපොළ මෙන්ම ප්‍රසිද්ධියේ පාර්ශ්වයන් තෝරා ගැනීමට අකමැති මධ්‍යම ප්‍රමාණයේ රාජ්‍යයන් ද මෙවැනි සංඥා දෙස අවධානයෙන් සිටියි.

එහෙත් මේ කිසිවකින් එක්සත් ජාතීන්ගේ සංවිධානය අතිශය පවිත්‍ර එකක් බවට පත් නොවන අතරම, එය හිස් සංවිධානයක් බවටද පත් නොවේ.
• හමුදාවන්ට සහ මහා භාණ්ඩාගාරවලට පමණක් කළ හැකි දේ මෙම සංවිධානයෙන් ලෝකය බලාපොරොත්තු වන විට සංවිධානය අසාර්ථක වේ.

• නමුත්, ප්‍රතිවාදීන්ට අන්‍යයන් ඉදිරියේ තමන්ගේ ක්‍රියාකලාපයන් පැහැදිලි කිරීමට, සිය ප්‍රතිමල්ලවයන්ට බලකිරීමට, සාකච්ඡා සඳහා මැදිහත්වන මැදිහත් කරුවන්ට අවස්ථාවන් නිර්මාණය කිරීමට, සියලු දෙනා නිව්යෝර්ක් නගරයට පැමිණෙන සතිය තුළ දී එම සංවිධානය සීමිත ලෙස හෝ සාර්ථකත්වයක් ලබා ගනියි.

එසේ නම් මෙම මණ්ඩපයෙන් ඇති ඵලය කුමක්ද?

"අනෙක් සාමාජික රාජ්‍යයක් විනාශ කරන බවට අමෙරිකානු ජනාධිපතිවරයෙකු කරන තර්ජනය වැළැක්වීමට මහා මණ්ඩලයට හැකිද?" යන්න පරීක්ෂණය නම්, ඊට ලැබෙන පිළිතුර "නැත" යන්නය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මගින් ද කිසිදිනෙක මහා මණ්ඩලයට එවැනි බලයක් ලබා දී නැත.

නමුත් "මහා මණ්ඩලය මගින් තවමත් යම් වෙනසක් සිදුවේද?" යන්න පරීක්ෂණය නම්, ඊට ලැබෙන පිළිතුර ඉතා පටු මෙන්ම සැබෑ එකකි:

• එය පවතින ස්ථාවරයන් වාර්තාගත කරයි: මෙම සතියට පසුව, අමෙරිකාව විසින් රටක් සහමුලින් විනාශ කිරීමේ විකල්පය මේ වනවිට මේසය මත තබා ඇති බව හෝ ඉරානය විසින් හෝමූස් පිළිබඳ දින හතක සැලැස්මක් ඉදිරිපත් කළ බව කිසිවෙකුටත් නැතැයි කීමට නොහැකිය.

• එය සාකච්ඡා කළ හැකි පිරිස එකතැනකට රැස් කරයි: ප්‍රසිද්ධ දේශන රළු වුවද, අභ්‍යන්තර රහසිගත හමුවීම් සිදුවිය.

• එය ප්‍රකාශයන් සහ නීතිය අතර ඇති පරතරය පෙන්වා දෙයි: එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ස්වයං ආරක්ෂාව සඳහා හෝ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව බලය භාවිත කිරීම තහනම්ය. ඒ අනුව රාජ්‍යයක් සහමුලින්ම විනාශ කරන බවට කෙරෙන තර්ජනය එම ජත්‍යාන්තර නීතිය මුලුමනින්ම උල්ලංඝණය කරයි. එම භාවිතයේ අන්තර්ජාතික නෛතික රාමුව තුළ පෙනෙන පරතරය පෙන්වා දීම මෙම වේදිකාවේ දී සිදුවේ. එය සම්පූර්ණයෙන්ම ප්‍රශ්නය විසඳීම නොවේ. නමුත් නිශ්ශබ්දව සිටිනවාට වඩා එය වැදගත්ය.

• නීතිය සැමට එකලෙස බලනොපාන බව කුඩා රටවලට මතක් කර දෙයි: එම මතක් කරදීම තිත්ත එකකි. නමුත් එය යථාර්ථවාදීය. දුර්වලයන් පමණක් බැඳ තබන පද්ධතියකට ඇති ගෞරවය නැතිවන අතර, බලවතුන් බැඳ තැබීමට නොහැකි පද්ධතියක ඇති ඵලදායීතාව නැති වී යයි.

මෙහි ඇති බරපතලම ගැටලුව මයික්‍රෆෝන ඉදිරියේ දොඩවන වහසි බස් හරහා ඇතිවන විසංවාදය නොවේ. නොවිසඳී ඇදෙන බරපතල යුද්ධය ය. ලෝක බලශක්ති මාර්ගයක් වසා දමා ඇත. මාස හතක් තිස්සේ ඇදෙන මේ අගතිගාමී යුද්ධය විසින් දස දහස් ගණනක් බිලිගෙන ඇත. ගණනය කළ නොහැකි ට්‍රිලියන ගණනක සම්පත් ව්‍යසනයට ලක් වී ඇත. 81 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියෙන් පසුවත් මේ යුද්ධය යාවත්කාලීන වනු ඇත.

යුද්ධය ආරම්භ කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය නොවේ. එය අවසන් කිරීමටද ඊට නොහැකිය. මෙම සතියේදී මහා මණ්ඩලයෙන් සිදුවූයේ ලෝකයට කැඩපතක් ඇල්ලීම පමණි. එම කැඩපත තුළ සාමයේ කතා මෙන්ම විනාශයේ කතාද එකම වේදිකාවක දී බෙදා ගත්තේය. යුද්ධය සම්බන්ධ අනාගත සම්මුතියක් ඇත්නම් එය අමෙරිකානු මැතිවරණය තෙක් කල් ගියේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ පළමු පිටුවේ සඳහන් වන එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙය නොවේ.
අප දුටුවේ 2026 වසරේ එක්සත් ජාතීන්ගේ සැබෑ ස්වරූපය ය.