ශිරන්තිගේ සිංගප්පූරු ගමන: ප්‍රශ්නය ඇය ගියේ ඇයි ද යන්න පමණක් නොවේ!
සැකය යනු සෑම විටම සත්‍යයම නොවිය හැකිය. නමුත්, සමාජයක් නැවත නැවතත් යම් පුද්ගලයෙකු හෝ පවුලක් සැක කිරීමට පටන් ගන්නේ පැහැදිලි සවිඥානික හේතුවක් සහිතවය. ශිරන්තිගේ සිංගප්පූරු ගමනට වඩා විශාල සහ බරපතළ කතාව ඇත්තේ අන්න එතැනය.
LSN Sri Lanka ·

ජන විඥානය යනු කිසිසේත්ම හිස් තැනකින් උපදින්නක් නොවේ. මිනිසුන් වර්තමානයේ සිදුවීමක් දෙස බලන්නේ තමන් අතීතයේ දුටු, ඇසූ සහ අත්විඳි දේවලින් ලබාගත් අත්දැකීම් පෙරදැරි කරගෙනය. විශේෂයෙන්ම දේශපාලන බලය, පොලිසිය, අධිකරණය සහ රාජ්‍ය ආයතන සම්බන්ධ සිදුවීම්වලදී මේ අතීත මතකය තවත් ප්‍රබල ලෙස ඉහළට මතු වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂගේ සිංගප්පූරු ගමන පිළිබඳව මේ වනවිට සමාජය තුළ ඇති වී තිබෙන දැඩි කථිකාව තේරුම් ගත යුත්තේ ද එම අර්ථයෙනි.

සිදුවී ඇත්තේ කුමක්ද?

ශිරන්ති රාජපක්ෂ පසුගිය සැප්තැම්බර් 16 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගියාය. අනතුරුව, සිරිලිය සවිය සංවිධානයට අදාළ මූල්‍ය ගනුදෙනු පිළිබඳ විමර්ශනයක් සඳහා සැප්තැම්බර් 24 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස ඇයට දැනුම් දී තිබිණි.

ඇය රටින් පිටවීමට පෙර මෙම කැඳවීම පිළිබඳව දැන සිටියාද යන්න සම්බන්ධයෙන් වාර්තා එකිනෙකට වෙනස්ය. ඇතැම් වාර්තාවලට අනුව ඇයට රටින් පිටවීමට පෙරම පෙනී සිටින ලෙස දැනුම්දීම් කර තිබිණි. එහෙත් රාජපක්ෂ පවුලේ පාර්ශ්වය ප්‍රකාශ කරන්නේ නිල කැඳවීම ඇයට ලැබුණේ ගුවන්තොටුපළේ පිටත්වීමේ දොරටුව ආසන්නයේදී බවය. ඔවුන් කියන්නේ මූලික දැනුම්වත් භාවය ගැන නොව නිල කැඳවීම ගැන ගැනය.

සැප්තැම්බර් 24 වැනිදා ඇය FCID හමුවේ පෙනී සිටියේ නැත. අක්ෂි ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටින බැවින් එදින පැමිණිය නොහැකි බව ඇය වෙනුවෙන් නීතිඥවරයකු මාර්ගයෙන් දැනුම් දී තිබිණි. මේ අතරතුර, ඇය සිංගප්පූරුවේ සාප්පු සංකීර්ණයක සිටින බව කියැවෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග මෙම සංවාදය තවත් තීව්‍ර විය.

කිසිදු අධිකරණයක් මගින් ශිරන්ති රාජපක්ෂ මෙම ගමන ගියේ විමර්ශනයකින් හෝ අත්අඩංගුවට ගැනීමකින් වැළකීමට බවට තීරණය කර නොමැත. එසේ කිරීමට ඇය උත්සාහ කළ බවට තහවුරු කළ හැකි නෛතික සාක්ෂියක් ද නොමැත. එහෙත්, ජනතාව ඇගේ සිංගප්පූරු ගමන දෙස බලන්නේ දැඩි සැකයෙනි. එම සැකය යළිත් තදින් බැඳෙන්නේ අතීත සිදුවීම් සමගය.

සාක්ෂි, අපරාධය සහ නෛතික හිදැස: රාජපක්ෂ පවුල කෙරෙහි සැකය යොමුවූ හැටි

සිරිලිය සවිය, වසීම් තාජුඩීන් ඝාතනය මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සංවාදයන් තුළදී ද ප්‍රභූ දේශපාලන බලය සහ නීතිය ක්‍රියාත්මක වීම අතර පැවැති සබඳතාවයේ ස්වභාවය ජනතාව තුළ ඇති කර තිබුණේ අවිශ්වාසයකි. විශේෂයෙන් රාජපක්ෂ පවුල විෂයෙහි මේ තත්ත්වය වඩාත් තියුණු ලෙස බලපෑවේය.

සිරිලිය සවිය ගිණුම විවෘත කිරීමේදී ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් සටහන්ව තිබූ '222222222V' නැමැති ජාතික හැඳුනුම්පත් අංකය සහ තවත් අත්සන්කාරියකගේ '111111111' අංකය වැනි තොරතුරු අනාවරණය විය. 2015 දී ශිරන්ති රාජපක්ෂ ප්‍රකාශ කළේ එය බැංකු පද්ධතියේ සිදු වූ දෝෂයක් බවත්, තමන් ලබාදුන්නේ ගමන් බලපත්‍ර පිටපතක් බවත්ය. එසේම මෙම ගිණුම පරීක්ෂා කළ මහජන බැංකු සේවකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කළ බවත්, එය එවකට සභාපති හේමසිරි ප්‍රනාන්දුගේ මැදිහත්වීමෙන් වැළකුණු බවත් වාර්තා විය.

එමෙන්ම වසීම් තාජුඩීන් ඝාතන විමර්ශනයේදී දේහ කොටස් අතුරුදන් වීම, එම කොටස් පාර්සල් 15කින් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ගෙන යාම සහ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරට එරෙහිව වෛද්‍ය සභාව චෝදනා තහවුරු කිරීම වැනි බරපතළ සාක්ෂි අනාවරණය විය. නමුත් එම අනාවරණයන් සමග රාජපක්ෂ පවුල සම්බන්ධව බවට සාධනය කරන කොටස නෛතික අවකාශය තුළ හිස් වී තිබිණි. එය ජනතාව අතර සැකයක් ලෙස ඉතිරි විය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලදී ද හිටපු දේශපාලන හා බුද්ධි අංශ ප්‍රධානීන් සම්බන්ධයෙන් බරපතළ තොරතුරු අධිකරණය ඉදිරියට පැමිණියේය. විමර්ශනවලදී විවිධ සාක්ෂි, තොරතුරු සහ සිදුවීම් ගණනාවක් අනාවරණය වුවද, එම අනාවරණය වූ සාක්ෂි සහ සිදු වූ අපරාධය අතර ඇති සෘජු සම්බන්ධය තහවුරු කරගැනීමට හෝ නීතිමය වශයෙන් අවසන් නිගමනයකට පැමිණීමට අපොහොසත් වූ නෛතික පසුබිමක් තවමත් ඉතිරි වී ඇත.

සාක්ෂි නතර වන තැනින් නෛතික සීමාවන් නිමා වන්නේය. අනතුරුව නිර්මාණය වන්නේ විශාල හිදැසකි. එම හිදැස පිරවෙන්නේ සැකයෙනි.

ඒ මහජන සැකය සෘජුවම රාජපක්ෂ පවුල දෙසට යොමු වූ ඉතිහාසයක් ඇත. දැන් අප ජීවත් වන්නේ ඒ ඉතිහාසයේ දිගුවකය. තවමත් රාජපක්ෂලා සම්බන්ධ සෑම සිදුවීමක් දෙසම සමාජය බලන්නේ සැකයෙනි. ශිරන්ති රාජපක්ෂගේ සිංගප්පූරු ගමන ගැන මතුවී තිබෙන සමාජ කියවීම එහි වත්මන් ස්වරූපය කියන්නේය.

සැකය යනු සත්‍යයම නොවේ; එහෙත්...

දේශපාලන බලය හමුවේ නීතිය එකම ආකාරයකින් ක්‍රියාත්මක නොවූ බවට දැඩි හැඟීමක් පවතින සමාජයක, බලවත් පවුලක සාමාජිකයකු තීරණාත්මක විමර්ශනයක් අතරතුර විදේශගත වූ විට මහජනතාව එය සාමාන්‍ය සංචාරයක් ලෙස පමණක් කියවා ගන්නේ නැත.

ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුවට ගියේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා නම්, ඒ සඳහා ඇයට ඇති හිමිකම ප්‍රශ්න කළ නොහැකිය. ඇයට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවා නොතිබුණේ නම් රටින් පිටවීම ද නීති විරෝධී නොවේ.

එහෙත්, විමර්ශනයක් මැද ඇය පිටත්ව ගිය කාලවකවානුව, සැප්තැම්බර් 24 වැනිදා FCID කැඳවීමට නොපැමිණීම සහ ඇය නැවත පැමිණෙන දිනය පිළිබඳ ඇති අවිනිශ්චිතතාව සමාජය හමුවේ ප්‍රශ්න රැසක් ඉතිරි කරයි. සැප්තැම්බර් 20 වනවිටත් පවුලේ ප්‍රකාශකයා පවා ඇය තවමත් ආපසු නොපැමිණි බව තහවුරු කළ අතර, ඇය සිටින ස්ථානය හෝ ප්‍රමාදයට හේතුව හෙළි කිරීමට රාජපක්ෂ පවුල සූදානම් නොවීය.

ඇය ප්‍රතිකාර අවසන් කරන්නේ කවදාද? නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ කවදාද? FCIDය ඉදිරියේ පෙනී සිටීමට ලබාගත් නව දිනය කුමක්ද? විමර්ශනය හමුවේ ඇගේ නීතිමය තත්ත්වය කුමක්ද? මෙයින් එකකටවත් පැහැදිලි පිළිතුරක් නැත. මේ සියල්ලම අවසන් නැවතීමේ තිත තබා ඇත්තේ සැකයට පමණි.

අවසානයේ ප්‍රශ්නය ශිරන්ති රාජපක්ෂ නැමැති පුද්ගලයා පිළිබඳවම පමණක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනතාව රාජ්‍ය ආයතන කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඇත්නම්, පුද්ගලයෙකු රෝහලකින් ගුවන්තොටුපළට ගොස් සිංගප්පූරුවට ගිය පමණින් මෙතරම් විශාල දේශපාලන කථිකාවක් උපදින්නේ නැත.

අතීතයේ බලය සහ නීතිය අතර පැවැති අසම්පූර්ණ සබඳතාව නිසා ප්‍රශ්න ගණනාවක් ඉතිරි වූ සමාජයක, මෙවැනි ගමනකට වෙනත් දේශපාලනික අර්ථකථන ලැබීම වැළැක්විය නොහැක. ඇය විමර්ශනයෙන් පලා ගිය බවට සාක්ෂි නැතත් මිනිසුන් මේ ගමන සැක කරන්නේ ඒ නිසාය. සැකය යනු සෑම විටම සත්‍යයම නොවිය හැකිය. නමුත්, සමාජයක් නැවත නැවතත් යම් පුද්ගලයෙකු හෝ පවුලක් සැක කිරීමට පටන් ගන්නේ පැහැදිලි සවිඥානික හේතුවක් සහිතවය.

ශිරන්තිගේ සිංගප්පූරු ගමනට වඩා විශාල සහ බරපතළ කතාව ඇත්තේ අන්න එතැනය.