LSN News › Sri Lanka

එකම මුදලට චෝදනා දෙකක්: නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපති සහ අල්ලස් කොමිසම එකිනෙකට පරස්පර නඩු පවරා ඇති බව සාගර කාරියවසම් කියයි!

නීතිපතිවරයා එම මුදල රග්බි ප්‍රවර්ධනය සඳහා භාර දුන් මුදලක් බව පවසන විට, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන්නේ එය රගර් ප්‍රවර්ධනය සඳහා ලබා දුන් මුදලක් නොව, වෙනත් දෙයක් ඉටු කරගැනීම සඳහා ලබා දුන් අල්ලස් මුදලක් බවය. නීතිපතිගේ තීරණය සහ මහාධිකරණයේ පවතින නඩුව ඉක්මවා යමින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම මුදල් ප්‍රමාණයම සම්බන්ධයෙන් අලුත් චෝදනාවක් ගොනු කර ඇතැයි සාගර කාරියවසම් කියන්නේය.

LSN Sri Lanka · 28 September 2026

එකම මුදලට චෝදනා දෙකක්: නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපති සහ අල්ලස් කොමිසම එකිනෙකට පරස්පර නඩු පවරා ඇති බව සාගර කාරියවසම් කියයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් අද (සැප්තැම්බර් 28) නෙළුම් මාවතේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව ක්‍රිෂ් (Krrish) ගනුදෙනුවේ රුපියල් මිලියන 70ක මුදල සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව (CIABOC) එකිනෙකට පරස්පර චෝදනා ගොනු කර ඇති බවය.

ඔහු චෝදනා කළේ වත්මන් රජය නාමල් රාජපක්ෂ කෙරෙහි ඇති කරගත් දේශපාලන භීතිය හේතුවෙන් අසත්‍ය චෝදනා නගමින් නීතිය අවභාවිත කර සිරගත කිරීමට උත්සාහ දරන බවය. නීත්‍යානුකූල හා සාධාරණ ඕනෑම නඩු විභාගයකට හෝ විමර්ශනයකට මුහුණ දීමට තමන් පසුබට නොවන බවත්, ඕනෑම චෝදනාවක් අධිකරණය හමුවේ සාක්ෂි සහිතව ඔප්පු කරන්නේ නම් නීතියට හිස නැමීමට සූදානම් බවත් ඔහු අවධාරණය කළේය.

වර්තමානයේ සිදුවන්නේ පැහැදිලි දේශපාලන පළිගැනීමක් බව ඔහු පැවසීය.

ක්‍රිෂ් ගනුදෙනුවේ කාලරාමුව

සාගර කාරියවසම් ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ වූ ආකාරය මෙසේ ඉදිරිපත් කළේය.

2015 දෙසැම්බර් 26: ‘දූෂණ විරෝධී හඬ’ සංවිධානය විසින් අරලියගහ මන්දිරයේ ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය හරහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

2016 ජනවාරි 12: කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ B 5/2016 (සමහර වාර්තාවල B 196/2015 ලෙස ද සඳහන්) අංකය යටතේ කරුණු වාර්තා කිරීම සිදු විය.

2016 මැයි 27: FCID නිලධාරීන් ඉන්දියාවට ගොස් ක්‍රිෂ් සමාගමේ හිමිකරුවන් සහ අධ්‍යක්ෂවරුන් වන අමිත් කට්ටියාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලදී. එම ප්‍රකාශ මගින් ඔවුන් සනාථ කළේ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා කාල්ටන් රග්බි සෙවන්ස් තරගාවලිය වෙනුවෙන් රුපියල් මිලියන 70ක මුදලක් කාල්ටන් ක්‍රීඩා සමාජය වෙත ස්වකැමැත්තෙන් ලබාදුන් බවයි.

2016 ජූලි 11: නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි. ජූලි 18 වනදා ඇප මත මුදාහරින ලදී.

2016 අගෝස්තු 08: නඩුවේ සියලුම තොරතුරු උපදෙස් ලබාගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කරන ලදී.

නීතිපතිවරයා සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් පසු නාමල් රාජපක්ෂට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළේය. 2012 ඔක්තෝබර් සිට 2013 ඔක්තෝබර් දක්වා කාලය තුළ ක්‍රිෂ් ආයතනය විසින් රග්බි ප්‍රවර්ධනය සඳහා ලබාදුන් රුපියල් මිලියන 70ක මුදල සම්බන්ධයෙන් “සාපරාධී විශ්වාසය කඩකිරීම” (Criminal Breach of Trust) ප්‍රධාන චෝදනාවයි.

මෙම නඩුව 2026 මැයි 29 වන දින පූර්ව නඩු විභාගයට යොමු කෙරුණු අතර, ඉන්දියානු ජාතික සාක්ෂිකරුවන් වන ගුප්තා සහ කට්ටියාර් යන මහත්වරුන්ට සිතාසි නිකුත් කර 2026 නොවැම්බර් 16 වන දින විභාගයට ගැනීමට නියමිතව තිබේ.

සාපරාධී විශ්වාසය කඩකිරීම යනු යම්කිසි කටයුත්තක් සඳහා පුද්ගලයන් සිය කැමැත්තෙන් භාර දෙන මුදලක් වෙනත් කාර්යයක් සඳහා තමන්ගේ ප්‍රයෝජනයට භාවිතා කිරීමයි. මුදල් ලබා දෙන පුද්ගලයා නිශ්චිත කාර්යයක් සඳහා නිශ්චිත මුදලක් ලබා දී තිබිය යුතුය. මෙය නොවැම්බර් 16 වනදා කොළඹ මහාධිකරණයේ විභාග කිරීමට නියමිත නඩුවේ පසුබිමය.

කාල්ටන් ක්‍රීඩා සමාජය ජාත්‍යාන්තර ක්‍රීඩා තරග සංවිධානය කළ, ලංකාවේ සහ ආසියාවේ රගර් සම්මේලන විසින් නිල වශයෙන් පිළිගත් ක්‍රීඩා සමාජයකි.

අල්ලස් කොමිසමේ චෝදනාව

කෙසේ වෙතත්, 2026 සැප්තැම්බර් 24 වන දින අල්ලස් කොමිසම විසින් ක්‍රිෂ් සමාගමේ ශ්‍රී ලාංකික අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගෙන, එම රුපියල් මිලියන 70ක මුදල නාමල් රාජපක්ෂ වෙත ලබාදුන් “අල්ලස් මුදලක්” බවට චෝදනා කරමින් කටයුතු යොදමින් සිටී. ඇය ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ් කර ඇත.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතිකයක් නිකුත් කර නාමල් රාජපක්ෂ ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක අල්ලස් මුදලක් ලබාගෙන ඇති බව ප්‍රකාශ කර ඇත. මෙය අලුත් මුදලක් නොවේ. මහාධිකරණයේ පවතින නඩුවට අදාළ එම මිලියන 70මය.

මෙහිදී නීතිමය වශයෙන් විශාල ප්‍රශ්නයක් උද්ගත වන බව නිතිඥ සාගර කාරියවසම් කියයි. ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරුන් ප්‍රකාශ කර ඇත්තේ මිලියන 70 ලංකාවේ රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ස්වකැමැත්තෙන් දුන් බවය. එම ප්‍රකාශ අනුව මෙරට ප්‍රධාන නීති නිලධාරියා වන නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර ඇත්තේ රගර් ප්‍රවර්ධනය සඳහා ලබා දුන් මුදල වෙනත් කාරණාවක් සඳහා යොදා ගත් බවටය. එය තවමත් ඔප්පු වී නැත. ඉදිරියේදී නඩු විභාගයක් පැවැත්වීමට නියමිතය.

නීතිපතිවරයා එම මුදල රග්බි ප්‍රවර්ධනය සඳහා භාර දුන් මුදලක් බව පවසන විට, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන්නේ එය රගර් ප්‍රවර්ධනය සඳහා ලබා දුන් මුදලක් නොව, වෙනත් දෙයක් ඉටු කරගැනීම සඳහා ලබා දුන් අල්ලස් මුදලක් බවය.

නීතිපතිගේ තීරණය සහ මහාධිකරණයේ පවතින නඩුව ඉක්මවා යමින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම මුදල් ප්‍රමාණයම සම්බන්ධයෙන් අලුත් චෝදනාවක් ගොනු කර තිබේ.

අල්ලස් කොමිසම මේ වනතුරු ඉන්දියානු අධ්‍යක්ෂවරුන්ගෙන් කිසිදු ප්‍රකාශයක් සටහන් කරගෙන නැත. එසේ තිබියදී කෙසේද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නාමල් රාජපක්ෂ නැවත රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමේ අවශ්‍යතාවය උඩ මෙවැනි පරස්පර චෝදනාවක් ගොනු කරන්නේ යැයි සාගර කාරියවසම් ප්‍රශ්න කළේය.

මීට පෙර ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට මරණ තර්ජන කර, රාජපක්ෂවරුන්ගේ නම් සඳහන් කිරීමට බලපෑම් කළ බවට මහේස්ත්‍රාත්වරයා හමුවේ දිවුරුම් ප්‍රකාශයක් මගින් හෙළි වී ඇති පසුබිමක, අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ ක්‍රියා කරන්නේ කාගේ අවශ්‍යතාවයකටද යන්න ජනතාව ප්‍රශ්න කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

මහාධිකරණයේ පවරා ගත හැකි නඩුව තවදුරටත් පවත්වා ගත හැකිද යන්න පිළිබඳව ද සැකයක් ඇති බව ඔහු පැවසීය. මෙය නීතිය අවභාවිතා කිරීමක් මිස කිසිම සාධාරණ හෝ යුක්තිසහගත උත්සාහයක් නොවන බව ඔහු අවධාරණය කළේය.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙවැනි ආකාරයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න මේ රටේ ජනතාව ඔහුගෙන් ඇසිය යුතු බවත්, ජනතාව දැනුම්වත් කිරීම තමන්ගේ වගකීමක් බවත් සාගර කාරියවසම් පැවසීය.