ආසියාව ජයගත් රත්තරන් කොල්ලා... රුමේෂ් තරංගගේ ඓතිහාසික හෙල්ල විසි කිරීම ගැන කතාවක්...
මුහුණ දුන් බිහිසුනුම බාධකය කළමනාකරණය කරගැනීමේ දී රුමේෂ් දැක්වූ පෞරුෂය මේ ඓතිහාසික රන් පදක්කමටත් වඩා බර බව කියන්නට අවශ්‍යය. අප ඉදිරියේ ඔලිම්පික් ශූරයෙකුගේ පෞරුෂවත් ගැඹුර සහිත තරුණයෙක් හිඳී. ඒ මහා ජාතික බලාපොරොත්තුව බරක් නොවී කළමනාකරණය කරගත හැකි බව අභියෝගවලට මුහුණ දෙන ආකාරයෙන් දැනටමත් රුමේෂ් පෙන්වා දී තිබේ. දැනට එම දැකුම රටට ඔලිම්පික් රන් පදක්කම තරම්ම බරය.
LSN Sri Lanka ·

2026 ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගැනීමට රුමේෂ් තරංග පතිරගේ සමත් විය. ජපානයේ නගෝයා නගරයේ මිසුහෝ පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැති පිරිමි හෙල්ල විසිකිරීමේ තරගයෙන් මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා වූ අතර, එය ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දිනාගත් පළමු රන් පදක්කම ලෙසද ඉතිහාසයට එක්වන්නේය.

ලොව අංක එකේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා ලෙස මෙම තරගාවලියට එක්වූ රුමේෂ්, මෙම ජයග්‍රහණය අත්කර ගත්තේ තරගාවලියට පෙර තමන් මුහුණ දුන් විශාල අභියෝගයක්ද ජය ගනිමිනි. එනම්, හංගේරියාවේ සිට ආපසු පැමිණෙන අතරතුර ඔහු නිරන්තරයෙන් තරග සඳහා භාවිත කළ ප්‍රියතම හෙලි පහක්ම විනාශ වී තිබීමය.

නගෝයා ආසියානු ක්‍රීඩා උළෙලට පෙර සිටම ඔහු ලබා තිබූ ජයග්‍රහණයේ කතාව

2026 වසරේදී හෙල්ල මීටර් 90 සීමාවෙන් ඔබ්බට විසිකළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට ඔහුට හැකියාව ලැබිණි. පසුගිය ජූනි මාසයේදී රෝමයේදී මීටර් 92.62ක දුරක් වාර්තා කරමින් තැබූ ජාතික වාර්තාව, පාකිස්තානයේ ඔලිම්පික් ශූර අර්ෂාඩ් නදීම් තබා ඇති ආසියානු වාර්තාවට (මීටර් 92.97) පමණක් දෙවැනි වන ආසියාවේ දෙවැනි හොඳම දක්ෂතාවය ය. එම ජයග්‍රහණ මෙසේ පෙළ ගැස්විය හැකිය.

• ග්ලාස්ගෝ හි පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම (මීටර් 89.75)

• ඩයමන්ඩ් ලීග් අවසාන තරගයේ ජයග්‍රහණය

• බුඩාපෙස්ට් හි පැවැති ප්‍රථම ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ ජයග්‍රහණය (මීටර් 91.09)

විනාශ වූ ප්‍රියතම හෙලි පහ සහ මතු වූ අභියෝගය

ආසියානු ක්‍රීඩා උළෙල ආරම්භ වීමට සති දෙකකට පෙර රුමේෂ්ගේ ඉදිරි ගමනට විශාල බාධාවක් එල්ල විය.

බුඩාපෙස්ට් හි පැවැති තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් පසු තුර්කි ගුවන් සේවයේ යානයකින් ආපසු කොළඹට පැමිණි අවස්ථාවේදී, ඉතා සුරක්ෂිතව අසුරා තිබූ ඔහුගේ ප්‍රියතම හෙලි පහටම දැඩි ලෙස හානි වී තිබිණි. මීටර් 90 සීමාව ඉක්මවා යෑමටත්, රෝමයේදී මීටර් 92.62ක වාර්තාව තැබීමටත් ඔහු භාවිත කර තිබුණේ මෙම හෙලිය.

විනාශ වූ ක්‍රීඩා භාණ්ඩවල ඡායාරූප සමාජ මාධ්‍ය වෙත එක් කරමින්, ඒවා මගින් තමන් වාර්තා කළ දුර ප්‍රමාණයන් සඳහන් කර "Good bye and thank you" යනුවෙන් සටහනක් තැබීමට රුමේෂ් කටයුතු කළේය.

ඔහුගේ පුහුණුකරු වූ ටෝනි ප්‍රසන්න මෙය දැඩි මානසික කම්පනයක් ලෙස හැඳින්වීය. මන්ද, එය මූල්‍යමය පාඩුවකට වඩා වැඩි මානසික පාඩුවක් වූ බැවිනි. 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල දක්වාම මෙම හෙලි භාවිත කිරීමට ඔවුන් සැලසුම් කර තිබිණි.

කෙසේ වෙතත් රුමේෂ් ඉතා සන්සුන්ව ප්‍රකාශ කළේ, මෙය ගුවන් සමාගම අතින් සිදුවූ වැරදීමක් විය හැකි බවත්, එය විශාල ප්‍රශ්නයක් කර නොගෙන තමන් ඉදිරියට යන බවත්ය.

මෙහිදී ක්‍රීඩා අමාත්‍යාංශය වහා මැදිහත් වී ස්වීඩනයෙන් උසස් තත්ත්වයේ නව හෙල්ලයක් ගෙන්වා ගැනීමට කටයුතු කළ අතර, තරගයට දින හතරකට පෙර එනම් සැප්තැම්බර් 24 වනදා ජපානයේදී එය රුමේෂ් වෙත භාර දෙන ලදී. ඒ අනුව ඔහුට ආසියානු රන් පදක්කම වෙනුවෙන් තරග කිරීමට සිදු වූයේ තමන්ට නුහරු අලුත්ම හෙල්ලයකිනි.

අවසාන තරගය දිගහැරුණු ආකාරය

ක්‍රීඩකයින් 14 දෙනෙකු නගෝයා හිදී අවසාන තරගයට මුහුණ දුන්හ. ඊට පාකිස්තානයේ ඔලිම්පික් ශූර අර්ෂාඩ් නදීම්, ඉන්දියාවේ රෝහිත් යාදව් සහ යෂ්වීර් සිං මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ක්‍රීඩක සුමේධ රණසිංහද ඇතුළත් වූහ.

ඔලිම්පික් ශූර නදීම්ට මෙම තරගාවලිය සාර්ථක එකක් නොවීය. ඔහුගේ පළමු උත්සාහය මීටර් 76.69ක් වූ අතර දෙවැනි උත්සාහය අසාර්ථක විය. මීටර් 93කට ආසන්න දක්ෂතාවක් දැක්වූ පැරණි නදීම්ව මෙදින දැකගත නොහැකි වූ අතර, වාර්තා සඳහන් කළේ ඔහුගේ හොඳම විසි කිරීම මීටර් 80 සීමාව ආසන්නයේ තිබූ බවය.

රුමේෂ්ට මීටර් 92 සීමාව ඉක්මවා යෑමට අවශ්‍ය නොවීය. නව හෙල්ල සමග පාලනය සහිතව තරග කිරීම පමණක් ප්‍රමාණවත් විය.

තරග වාර්තාවලට අනුව, ඔහු ලකුණු පුවරුවේ ඉදිරියට පැමිණියේ මීටර් 88.33ක විසිකිරීමක් සමගිනි. ඒ සමගම රන් පදක්කමේ අයිතිය තහවුරු කරගත් ඔහු, සිය අවසාන උත්සාහයේදී එම දක්ෂතාව මීටර් 88.55 දක්වා ඉහළ නංවා ගනිමින් ජයග්‍රහණය තහවුරු කළේය.

ඉන්දියාව ශූරතාවලියේ අනෙක් පදක්කම් දෙක දිනාගත්තේය. යෂ්වීර් සිං මීටර් 85.72ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම දිනාගත් අතර, රෝහිත් යාදව් මීටර් 84.35කට ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය. ශ්‍රී ලංකාවේ සුමේධ රණසිංහ මීටර් 78.08ක දක්ෂතාවක් දක්වමින් හයවැනි ස්ථානයට පත්විය.

මෙම ජයග්‍රාහී දුර ප්‍රමාණය රුමේෂ්ගේ හොඳම දක්ෂතාවයට සහ පැරණි ආසියානු ක්‍රීඩා උළෙල වාර්තාවට (මීටර් 89.15) වඩා අඩුය. ජයග්‍රහණය යනු පවතින තත්ත්වයන් සහජ බුද්ධියෙන් කළමනාකරණය කරගැනීමය. අලුත් තත්ත්ව යටතේ අලුත් වාර්තා නොව ජාතියක් අපේක්ෂා කළ නිශ්චිත ජයග්‍රහණය රුමේෂ් විසින් ලබා දුන්නේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙවර තරගාවලියේ පළමු රන් පදක්කම සටහන් විය.

මෙම ජයග්‍රහණය සුවිශේෂී වන්නේ ඇයි?

හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයෙකුගේ සාර්ථකත්වයට තමන් භාවිත කරන හෙල්ලය කෙරෙහි ඇති විශ්වාසය සහ මනා සම්බන්ධතාව ඉතා වැදගත් වේ. තමන්ගේ හෙල්ල ආත්මිය බැඳීමක් සහිතව බද්ධ වී සිය සිරුරේම කොටසක් බවට පත්වනවිට ක්‍රීඩකයෙක් එම ක්‍රිඩාවේ චමත්කාරය සහ විශ්මය මතු කරන්නේය. හෙල්ල විසිකිරිමේ ක්‍රීඩාවේ දී ලෝක වාර්තා බිහි වන්නේ එවැනි සුසංයෝගයක් ඇතිවන විටය. රුමේෂ් ආසියානු තරගයට එන්නේ තමන්ගේ හොඳම ක්‍රීඩා වාරයේදී භාවිත කළ හෙල්ල අහිමිවිය. අනතුරුව ඔහු ඔලිම්පික් ශූරයෙකු ඇතුළු ආසියාවේ හොඳම ක්‍රීඩකයින් පරාජය කරමින් මීටර් 88 සීමාව ඉක්මවන්නේය.

මුහුණ දුන් බිහිසුනුම බාධකය කළමනාකරණය කරගැනීමට රුමේෂ් දැක්වූ පෞරුෂය මේ රන් පදක්කමටත් වඩා බර බව කියන්නට අවශ්‍යය.

රුමේෂ් ලබාගත් මෙම රන් පදක්කම, මෙවර තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව්වෙන් ශ්‍රී ලංකාව ලැබූ පළමු රන් පදක්කමය. පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලැබූ ඓතිහාසික ප්‍රථම රන් පදක්කම ය. අප ඉදිරියේ ඔලිම්පික් ශූරයෙකුගේ පෞරුෂවත් ගැඹුර සහිත තරුණයෙක් හිඳී. ඒ මහා ජාතික බලාපොරොත්තුව බරක් නොවී කළමනාකරණය කරගත හැකි බව අභියෝගවලට මුහුණ දෙන ආකාරයෙන් දැනටමත් රුමේෂ් පෙන්වා දී තිබේ.

දැනට අපට ඒ විශිෂ්ට පෞරුෂය ඔලිම්පික් රන් පදක්කම තරම්ම බරය.