මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් ගලවා ගැනීමට නීතියට වඩා දෙමාපිය-දූදරු සබඳතාව ශක්තිමත් කළ යුතුයි – ජනාධිපති උපදෙස් දෙයි!
තම දරුවා මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ අවදානමක් පවතින්නේ නම් ඒ පිළිබඳ දැනුවත් කිරීමට දෙමාපියන්ට විශ්වසනීය පුද්ගලයෙකුගේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, සාමාන්‍යයෙන් එවැනි අවස්ථාවලදී ගුරුවරයෙකුගේ හෝ ආගමික නායකයෙකුගේ සහාය ලබා ගන්නා බැවින්, ඒ පිළිබඳ අවධානය යොමු කර විශ්වසනීය මගපෙන්වීමක් ලබා දිය හැකි ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස දැනුම් දුන්නේය. ගුරුවරුන් ඒ සඳහා යොදා ගන්නේ නම් ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙන ලදී.
LSN Sri Lanka ·

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් ගලවා ගත හැක්කේ නීතියට වඩා දෙමාපියන් සහ දූදරුවන් අතර පවතින ශක්තිමත් සබඳතාව මත බැවින්, මෙම ව්‍යසනයේ බරපතළකම හා දරුවන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන ආකාරය පිළිබඳ දෙමාපියන් සෘජුව දැනුවත් කරමින් ඔවුන් සක්‍රීයව දායක කර ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා පිහිටුවන ලද “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවට එක් වෙමිනි.

තම දරුවා මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ අවදානමක් පවතින්නේ නම් ඒ පිළිබඳ දැනුවත් කිරීමට දෙමාපියන්ට විශ්වසනීය පුද්ගලයෙකුගේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, සාමාන්‍යයෙන් එවැනි අවස්ථාවලදී ගුරුවරයෙකුගේ හෝ ආගමික නායකයෙකුගේ සහාය ලබා ගන්නා බැවින්, ඒ පිළිබඳ අවධානය යොමු කර විශ්වසනීය මගපෙන්වීමක් ලබා දිය හැකි ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස දැනුම් දුන්නේය. ගුරුවරුන් ඒ සඳහා යොදා ගන්නේ නම් ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙන ලදී.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ බෙදාහැරීමේ ජාලය බිඳ දැමීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරිණි.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පහසුකම් පුළුල් කරමින් එහි කටයුතු කාර්යක්ෂම කිරීම හේතුවෙන් දෛනිකව ලබා ගන්නා රස පරීක්ෂක වාර්තා ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බවත්, සැප්තැම්බර් මාසය තුළ පමණක් මත්ද්‍රව්‍යවලට අදාළ රස පරීක්ෂක වාර්තා 8,000ක් අවසන් කර ඇති බවත් සාකච්ඡාවේදී අනාවරණය විය. නාවික හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව දත්ත ඇතුළත් කිරීමේ කටයුතු සක්‍රිය කර ඇති අතර, රස පරීක්ෂක වාර්තා ලබා ගැනීම කාර්යක්ෂම වීම නිසා මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව බන්ධනාගාරගතව සිටින පිරිසෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඇප මත මුදා හරිමින් බන්ධනාගාර තදබදය අවම කර ගැනීමට හැකියාව ලැබී තිබේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මත්ද්‍රව්‍ය පාලන නව පනත ඔක්තෝබර් පළමු සතියේදී කමිටුවට යොමු කර අනුමැතිය ලබාගෙන, ඔක්තෝබර් මාසයේ 03 වන සතිය වන විට පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

පොලිසිය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතිය එකිනෙකට සම්බන්ධ කෙරෙන මධ්‍යගත ඩිජිටල් පද්ධතියක් සහ මෘදුකාංගයක් නිර්මාණය කිරීමේ කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර එහි පවතින ප්‍රායෝගික ගැටලු විසඳා ගැනීමට කටයුතු කරන ලෙසට උපදෙස් ලැබිණි.

2025 අංක 07 දරන පනත ප්‍රකාරව, විශේෂඥයන්ගේ සහ රජයේ රස පරීක්ෂක වාර්තා අධිකරණ වෙත විද්‍යුත් තැපෑල ඔස්සේ සෘජුව යොමු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම මෙන්ම නීති කෙටුම්පත් කාර්යාලයේ නිලධාරී පුරප්පාඩු පිරවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා සිටියේය.

මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීම වෙනුවෙන් ජාත්‍යන්තර පාසල් තුළ ක්‍රියාත්මක වැඩසටහන්වල සංවිධානාත්මකභාවය මෙන්ම, මත්ද්‍රව්‍ය භාවිතයේ භයානක ප්‍රතිවිපාක පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ තරුණ පරපුර ඉලක්ක කර ගත් ප්‍රචාරණ වැඩසටහන් සකස් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරිණි. යුද්ධයෙන් පසු උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය අභියෝගය සහ එය මැඩපැවැත්වීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා විය.

තවද, මත්ද්‍රව්‍ය ජාවාරම්, බෙදාහැරීම් සහ අදාළ නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා හඳුන්වා දුන් 1818 දුරකථන අංකය සක්‍රීයව පවත්වාගෙන යාම සහ ජනතාව තුළ විශ්වාසය තහවුරු වන පරිදි "1818 අංකයට ලැබුණු තොරතුරු සඳහා දැක්වූ ප්‍රතිචාර" පිළිබඳ ප්‍රචාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද පෙන්වා දුන් ජනාධිපතිවරයා, පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ධාරිතාව ඉහළ නැංවීම ඇතුළු පුනරුත්ථාපන ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳවද කරුණු විමසා සිටියේය.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි, අතිපූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයද, නිශාන්ත ප්‍රනාන්දු පියතුමා, ශ්‍රී වේලු සුරේෂ් ෂර්මා කුරුක්කල්, මුත්තුසාමී අලගේසන් කුරුක්කල්, ෂෙයික් මොහොමඩ් අර්කම් නූරාමිත් මවුලවිතුමා ඇතුළු පූජ්‍ය පක්ෂයද මේ සඳහා එක්ව සිටියහ.

ඊට අමතරව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, රාජ්‍ය පරිපාලන ලේකම් එස්. ආලෝක බණ්ඩාර, අධිකරණ අමාත්‍යාංශ ලේකම් අයේෂා ජිනසේන, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ, තරුණ කටයුතු ලේකම් අරුණ බණ්ඩාර, බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධීර යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරුන් ප්‍රමුඛ ආරක්ෂක අංශ නියෝජිතයින් ඇතුළු “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ සාමාජිකයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.