LSN News › Sri Lanka

නීතිය නැවෙන නැවිල්ලක්...

බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය, කොළඹ මහාධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙන් වෙන්ව කළ නියෝග, හුදෙක් නඩු පැවරීම් ලැයිස්තුවක් නොවේ. ඒවා ආගමික අධිකාරය, දේශපාලන අනුග්‍රහය සහ නීතියේ සමාන බලය අතර ලංකා සමාජය දිගු කලක් රැගෙන ආ ආතතියේ නව පරිච්ඡේදයකි.

LSN Sri Lanka · 2 October 2026

නීතිය නැවෙන නැවිල්ලක්...

නීතිය සැමට සමාන ද?... මෙම ප්‍රශ්නය දින දෙකක් තුළ අධිකරණ තුනකින් නිකුත් වූ වරෙන්තු හරහා නැවත සමාජය ඉදිරියට පැමිණ තිබේ. නිමිත්ත ගලබොඩඅත්තේ ඥානාසාර හිමියන්ය.

බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය, කොළඹ මහාධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙන් වෙන්ව කළ නියෝග, හුදෙක් නඩු පැවරීම් ලැයිස්තුවක් නොවේ. ඒවා ආගමික අධිකාරය, දේශපාලන අනුග්‍රහය සහ නීතියේ සමාන බලය අතර ලංකා සමාජය දිගු කලක් රැගෙන ආ ආතතියේ නව පරිච්ඡේදයකි.

වරෙන්තු හතරක්... උන්වහන්සේ කොහිද තවමත්?

ඥානසාර හිමියන් දැන් ඉන්නා තැනක වැඩ ඉන්නේ වරෙන්තු හතරක් පිටය. එම වරෙන්තුවලින් දෙකක් නිකුත් කර ඇත්තේ අභියාචනාධිකරණය විසිනි. සැප්තැම්බර් 29 වරෙන්තුව සහ ඔක්තෝබර් 1 දා නිකුත් වුන විවෘත වරෙන්තුව ලෙසය. කොළඹ මහාධිකරණයෙන් එක් වරෙන්තුවක් සැප්තැම්බර් 30 දා නිකුත් විය. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් තවත් වරෙන්තුවක් ඔක්තෝබර් 1 දා නිකුත් වූයේය. එම වරෙන්තු පෙළ මෙසේය.

1. අභියාචනාධිකරණය, සැප්තැම්බර් 29 - ජනාධිපති සමාව අහෝසි වූ පසු ඉතිරි සිරදඬුවම ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා ගොනු කළ මෝසම සැප්තැම්බර් 29 වැනිදා අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. ඥානසාර හිමියන් පෙනී නොසිටි අතර, උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ අසනීපයක් සහ පිත්තාශ ශල්‍යකර්මයක් ගැන දැනුම් දුන්නේය. විනිසුරු මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායකගෙන් සමන්විත විනිසුරු මඬුල්ල, ඔක්තෝබර් 1 වැනිදා ඥානාසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කළේය. එය පොලිස්පතිවරයා හරහා ක්‍රියාත්මක කරන ලෙස ද නියෝග විය.

2. කොළඹ මහාධිකරණය, සැප්තැම්බර් 30 -  ඉස්ලාම් දහමට අපහාස වන ප්‍රකාශ (ශුද්ධ වූ කුරානය සම්බන්ධයෙන්) කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා දණ්ඩ නීති සංග්‍රහය යටතේ පවරා ඇති නඩුව, සැප්තැම්බර් 30 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල ඉදිරියේ කැඳවනු ලැබීය. ඥානසාර හිමියෝ පෙනී නොසිටියහ. අසනීප බව සඳහන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් වූ නමුත් ඇපකරුවෝ ද පෙනී නොසිටියහ. අධිකරණය උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කළේය.

3. අභියාචනාධිකරණය, ඔක්තෝබර් 1 (විවෘත වරෙන්තුව) - සැප්තැම්බර් 29 නියෝගයෙන් පසු ඔක්තෝබර් 1 වැනිදා ද ඥානසාර හිමියෝ අභියාචනාධිකරණයට පෙනී නොසිටියහ. එම විනිසුරු මඬුල්ලම විවෘත වරෙන්තුවක් නිකුත් කර, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය. විදේශ ගමන් තහනමක් ද පනවන ලදී. ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කරන ලෙසත්, වරෙන්තුව පොලිස්පතිවරයා හරහා ක්‍රියාත්මක කරන ලෙසත් නියෝගයේ සඳහන් විය. මෙය සැප්තැම්බර් 29 වරෙන්තුවම යළි නිකුත් කිරීමක් නොව, දෙවන වරටත් නොපැමිණීමෙන් පසු නිකුත් වූ විවෘත වරෙන්තුවය.

4. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, ඔක්තෝබර් 01 - 2016 ජූලි 16 වැනිදා කිරුළපන මාධ්‍ය හමුව දී ඉස්ලාම් දහම “පිළිකාවක්” යැයි ප්‍රකාශ කිරීමේ චෝදනාවට, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන 2025 ජනවාරි 9 වැනිදා මාස නවයක ලිහිල් සිරදඬුවමක් සහ රුපියල් 1,500ක දඩයක් නියම කළේය. එම තීන්දුවට එරෙහි අභියාචනය 2026 ජුනි 23 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් ප්‍රතික්ෂේප කරන ලදී. එම මහාධිකරණ තීන්දුව කියවා දීමට නියමිතව තිබූ නඩුවට ඔක්තෝබර් 1 වැනිදා ඉදිරිපත් නොවීම හේතුවෙන්, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා වරෙන්තුවක් නිකුත් කළේය. නඩුව නොවැම්බර් 5 දක්වා කල් තබන ලදී.

මේ අධිකරණ තීන්දු හතරම අවසානයේ දී එකම සමාජ ප්‍රශ්නයට එකතු වේ. අධිකරණ නියෝගයක් ලිඛිතව පවතින විට, එය ක්‍රියාත්මක වන්නේ කාටද, කවදාද, කෙතරම් වේගයකින්ද යන්න යළිත් ප්‍රශ්න කෙරෙමින් ඇත.

සමාව අවලංගු වූ පසු ඉතිරි වූ හිඩැස

පසුබිම 2016 ජනවාරි මාසයේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය දක්වා දිව යයි. ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියාගේ අතුරුදන්වීම සම්බන්ධ නඩුව විභාග වන අතරතුර, අවසරයකින් තොරව අධිකරණයට ඇතුළු වී කටයුතුවලට බාධා කිරීම සහ රාජ්‍ය නීතිඥවරයකුට බාධා කිරීම හේතුවෙන් 2018 අගෝස්තු මස අභියාචනාධිකරණය ඥානසාර හිමියන් වරදකරු කළේය.

වසර 19ක සිරදඬුවම් සමගාමීව වසර හයක් ලෙස නියම විය. 2019දී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රදානය කළ සමාවෙන් උන්වහන්සේ නිදහස් වූහ. සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පාර්ශ්වයන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, 2026 සැප්තැම්බර් 10 වැනිදා එම සමාව අහෝසි කළේය. විනිසුරු ජනක් ද සිල්වා පැවසුවේ සමාව ප්‍රදානයේදී නීතිමය අවශ්‍යතා ඉටු නොකළ බවත්, අත්තනෝමතිකව ක්‍රියා කළ බවත්ය.

සමාව අවලංගු වූ පසු ඉතිරි දඬුවම ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටියේය. ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ අසනීපය සහ පිත්තාශයේ ශල්‍යකර්මයක් ගැන අධිකරණයට දැනුම් දුන්නේය. වෛද්‍ය වාර්තා එම අවස්ථාවේ ඉදිරිපත් නොවීය. රජයේ ස්ථාවරය වී ඇත්තේ ඉදිරි කටයුතු නීතිපතිවරයා වෙත භාර දී ඇති බවය. කැබිනට් මාධ්‍ය හමුවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නය ද එයය. නීතිය සැමට එක නම්, මෙහි ක්‍රියාත්මක වීම වෙනස් වන්නේ කෙසේද යන්නයි.

නීතිය නැමෙන්නේ ඇයි

මෙහි ඇත්තේ තනි පුද්ගලයකුගේ නඩුවක් පමණක් නොවේ. ලංකාවේ බහුතර සිංහල-බෞද්ධ සමාජය තුළ භික්ෂුව යනු හුදෙක් ආගමික භූමිකාවක් නොව, සංකේතාත්මක අධිකාරයක් දරන චරිතයකි. එම අධිකාරය දේශපාලනයට ඇතුළු වූ විට, නීතියේ සමානත්වය පිළිබඳ සමාජ බලාපොරොත්තුව සහ ආගමික ගෞරවය අතර ගැටුමක් උපදී.

මැක්ස් වෙබර් පෙන්වා දුන් ආකාරයට, නීත්‍යානුකූල-තාර්කික අධිකාරය (අධිකරණය) සහ සම්ප්‍රදායික හෝ ආකර්ෂණීය අධිකාරය (භික්ෂුව, සංවිධානය, අනුගාමික පිරිස) එකම අවකාශයේ ගැටෙන විට සමාජය දෙපැත්තට බෙදේ.

එක් පැත්තකින්, සමාව අවලංගු වූ පසුත් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම, පොත් එළිදැක්වීම්, සමාව ඉල්ලා අත්සන් එකතු කිරීම සහ මිහින්තලේ හිමියන් ඇතුළු පොදු රැස්වීම්, නීතිය තෝරා බේරා ක්‍රියාත්මක වන බවට වන සමාජ සැකය ශක්තිමත් කරයි. මෙය විශේෂයෙන් සුළුතර ප්‍රජාවන් සහ නීතියේ සමාන ආරක්ෂාව බලාපොරොත්තු වන කණ්ඩායම් අතර විශ්වාසය ඛාදනය කරයි. 2025 ජනවාරි 9 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ මාස නවයේ දඬුවම සහ කුරානය පිළිබඳ ප්‍රකාශ හේතුවෙන් පවරා ඇති නඩුව, එම සැකයට තවත් ස්ථරයක් එකතු කරයි.

අනෙක් පැත්තෙන්, අනුගාමිකයන්ට මෙය ආගමික හඬක් නීතියෙන් මර්දනය කිරීමක් ලෙස පෙනේ. අසනීපය, වෛද්‍ය වාර්තා සහ නීතිමය නියෝජනය ඔවුන්ට ප්‍රමාණවත් පැහැදිලි කිරීම්ය. සමාජ විද්‍යාවේදී මෙය “අභ්‍යන්තර කණ්ඩායම් ආරක්ෂාව” ලෙස හඳුනාගත හැකිය. තම කණ්ඩායමේ සංකේතාත්මක චරිතයක් අධිකරණයට යටත් වන විට, එය පුද්ගලික දඬුවමක් ලෙස නොව සාමූහික අනන්‍යතාවයට එල්ල වූ පහරක් ලෙස අර්ථකථනය වේ. එබැවින් අත්සන් ව්‍යාපාර සහ පොත් එළිදැක්වීම් හුදෙක් ප්‍රචාරක ක්‍රියා නොවේ. ඒවා නීතිමය පීඩනයට එරෙහි සමාජ සම්පත් රැස් කිරීමකි.

විශ්වාසයේ මිල

නීතියේ යථාර්ථය සහ නීතිය පිළිබඳ සමාජ සංජානනය අතර පරතරය විශාල වන විට, ආයතනික විශ්වාසය පිරිහේ. අධිකරණය වරෙන්තු නිකුත් කරන විටත්, ඒවා ක්‍රියාත්මක වන ආකාරය සහ වේගය පිළිබඳව පොදු කතිකාව දෙකඩ වී තිබීම, ඒ පරතරයේ ලකුණකි. රජය කාරණය නීතිපතිවරයා වෙත භාර දී ඇතැයි පැවසීම ව්‍යවස්ථානුකූලව නිවැරදි විය හැකිය. එහෙත් ප්‍රමාදය නිහඬතාවයක් ලෙස කියවෙන විට, එය “නීතිය තෝරා බේරා ක්‍රියාත්මක වේ” යන පැරණි චෝදනාවට ඉන්ධන සපයයි.

මෙහි විසඳුම කණ්ඩායම් දෙකක් ජයග්‍රහණය කිරීම නොවේ. එය, භික්ෂුව වුවද, දේශපාලනඥයකු වුවද, සාමාන්‍ය පුරවැසියකු වුවද, අධිකරණ නියෝගයක් එකම ක්‍රියාපටිපාටියෙන් ක්‍රියාත්මක වන බව සමාජයට පෙනෙන ලෙස පෙන්වීමය. වරෙන්තු තුන දැනටමත් ලිඛිතව ඇත. ඊළඟට සමාජය බලා සිටින්නේ ඒවා කඩදාසියේ ඉතිරි වන්නේද, නැතහොත් නීතියේ සමාන බලය ක්‍රියාවෙන් තහවුරු වන්නේද යන්නය.