නකල්ස් කඳුකරයේ ගල් ගුහාවක් තුළ 15 හැවිරිදි දැරියක් සහ මාස දෙකක බිළිඳියක් හමුවීම: නීතිය, සමාජ යථාර්ථය සහ මානුෂික වියවුල!
අවසාන වශයෙන් අප ජීවත්වන්නේ මොන ආකාරයේ සමාජයක දැයි අප අපෙන් විමසිය යුතුව තිබේ. මේ සිදුවීම් දාමය ප්‍රශ්න කරමින් ඇත්තේ අප උත්කර්ෂයට නන්වන “මාර සමාජයක“ අප කතා නොකරන මහා ඛේදවාචකය බව සටහන් කර තබමු.
LSN Sri Lanka ·

නකල්ස් කඳුකරයේ බටහිර බෑවුමට ආසන්න උඩුදුම්බර පොලිස් වසමේ මීමුරේ කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් මීට මාස පහකට පමණ පෙර අතුරුදන් වූයේය. ඇගේ වැඩිහිටියෝ ඇයගේ අතුරුදහන්වීම ගැන උඩුදුම්බර පොලිසියට පැමිණිල්ලක් කළහ. පොලිස් විරමර්ශන ආරම්භ වුවත් කිසිදු හෝඩුවාවක් ලැබුණේ නැත. එහෙත් පොලිසිය සිහිටියේ දැඩි සෝදිසියෙනි.

මිමුරේ වැනි ඈත දුගි ගැමි ප්‍රදේශවල ජිවිතය අප දන්න ජීවිතයට වඩා බෙහෙවින්ම වෙනස්ය. ඔවුන්ගේ පරිභෝජන රටාව දුක හිතෙන තරම් පොඩි ය. එබැවින් ඉතා කුඩා විචලනයන් පවා කැපී පෙනෙන්නේය.

එක්තරා තරුණයෙක් හැමදාම ප්‍රදේශයේ වෙළඳසැලකින් තරමක වැඩි ප්‍රමාණයක ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නේය. වැඩිපුර සහල් සහ ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා තරුණයෙක් ඒ පලාතට තැතිගන්වන සුලු විශ්මයකි. ඒ විශ්මය සැකයක් බවට පත් වන්නේය. එය පොලිසියට හෝඩුවාවක් සපයන්නේය ඒ හොඩුවාව පසුපස පොලිසිය ලුහු බඳින්නේය. වැඩිපුර හාල් කිලෝ එකක් මිලදි ගැනීම සැකකයට තුඩු දෙන පරිභෝජනයක් සහිත සමාජයක් අපේ රටේ ඇත්තේය. ඒ බව සිහි තබාගෙන මේ කතාවේ ඉතිරි ටික සංවාදයට ලක් කළ යුතුය.

වැඩිපුර හාල් කිලෝ එකක්, ළූණු 500ක්, හාල්මැස්සන් 100ක් මිලදී ගන්නා තරුණයා පසුපස පොලිසිය හඹා යන්නේය. එසේ හඹා ගිය පොලිස් නිලධාරීන් ජනාවාසවලින් ඈත්වූ ඝන වනාන්තර ප්‍රදේශයක, ඉටි රෙදි වලින් ආවරණය කළ ගල් ගුහාවක් තුළ මාස දෙකක බිළිඳියක් සමඟ සිටින බාලවයස්කාර මවක් හමුවන්නේය.

මී මුරේ කන්දකැටිය ප්‍රදේශයේ දී අතුරුදන් වූ 15 හැවිරිදි දැරිය ඒ මවය.

ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූයේ ගුහාව තුළදීම දරුවා ප්‍රසූත කළ බවය. පෙකණි වැල කිතුල් කර්මාන්තයේ භාවිතා කරන තියුණු ආයුධයකින් කපා ඇති බවය. වනාන්තරයෙන් ලබාගත් අත්බෙහෙත් භාවිතා කර මවට සහ බිළිඳියට ප්‍රතිකාර කර ඇති බවය. කිතුල් පැණි සෑදීමේ තාච්චියක බිළිඳිය නාවා ඇති බවය. මේ බිළිඳියගේ පියා 23 හැවිරිදි ය. වැඩිපුර හාල් කිලෝ එකක් මිල දී ගෙන තිබුණේ ඔහුය.

වාර්තා වන පරිදි බිළිඳිය සෞඛ්‍ය සම්පන්න තත්ත්වයේ පසුවන්නීය. මවත් නීරෝගීව සිටින්නීය. එසේනම් ප්රශ්නය කුමක් ද?. ගැටලුව විසඳිය යුත්තේ පොදු සමාජයේ නෛතික රාමුව තුළය.

නීතිය අනුව මේ බිළිඳියගේ පියා වූ 23 හැවිරිදි තරුණයා අපරාධයක් කර ඇත. ඔවුන්ට ජීවත් වීමට ආධාර කළ පුද්ගලයින් පවා නීතිය හමුවේ වරදකරුවන්ය. නීතිය අනුව තරුණයා බාල වයස්කාර තරුණියක දූෂණය කර ඇත. එය බරපතල වරදකි. ඔවුන්ට උපකාර කිරීම අපරාධයකට අනුබල දීමය.

එම නෛතික පදනම මත ළදැරියගේ පියා සහ ඔහුට ජීවිතය ගැටගසා ගැනීමට ආධාර කළ බව කියන 36 හැවිරිදි ඥාතීයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර නොවැම්බර් 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව තිබේ. දැරිය සහ බිළිඳිය පිරිසිදු කර මහනුවර ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර ඇත. වැඩිදුර විමර්ශන උඩුදුම්බර පොලිසිය විසින් කරගෙන යනු ලබයි.

මෙම සිද්ධිය පුවත්පත් සහ සමාජ මාධ්‍යවල උණුසුම් පුවතක් ලෙස පැතිර ඇත. නමුත් එය හුදෙක් “ගුහාවක දරුවෙක් බිහිවීම” හෝ “රොමෑන්ටික් ආදරයක පෙම්වතා සහ පෙම්වතිය සමාජයට වහන් වී පැනයාමක්” ලෙස උත්කර්ෂයට නැන්වීමට වඩා එහා ගිය කතාවකි. එය මානුෂික දුක්ඛිත යථාර්ථයක්, සමාජ අනාරක්ෂිතභාවයේ ප්‍රතිඵලයක් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී නිර්මාණය වන සංකීර්ණ වියවුලකි.

සමාජ විද්‍යාත්මක දෘෂ්ටියෙන්...

මීමුරේ සහ නකල්ස් ප්‍රදේශය දුෂ්කර, දුර්වල යටිතල පහසුකම් සහිත ග්‍රාමීය ප්රදේශයකි. ආර්ථික අර්බුද, අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවල සීමාවන්, පවුල් සහ ප්‍රජා බලපැම් මානව ජීවිතයක ස්වරූපයට බලපාන ආකාරය පිළිබඳව මේ සිදුවීම නිදර්ශනයකි.

ලිංගික අධ්‍යාපනයක් සහ නොමැති ආර්ථිකව බුන්බත් වූ සමාජයක තරුණ යුවළකට ස්වකීය මානව සහජාශයෙන් ඇතිවන හැඟීම් කළමනාකරණයක් ගැන අදහසක් උපදින්නට ඇති ඉඩකඩ අඩුය. අනතුරුව ඇතිවන බැඳීමකින් සිදුවන ගැබ්ගැනීමක් හමුවේ ඔවුහු තවදුරටත් වික්ෂිප්ත වෙති. එවැනි අවස්ථාවක් සදහා ඉඩහසරක් සමාජය තුළ නැත. එමෙන්ම මේ තත්ත්වය තුළ එම යුවල නෛතික වශයෙන්ම අපරාධකරුවන් ලෙස හැඳින්වෙන අනාරක්ෂිත ස්වරූපයක් සමාජය තුළ තහවුරු කර තිබේ.
ඒ තත්ත්වය කුස හොත් ගැබක් සමග තරුණ යුවළක් වනාන්තර ගුහාවකට පැනයාමට තීරණය කරන මට්ටමට එම අනාරක්ෂිත බව තීව්ර වී ඇත. අවසානයේ දී විමසිය යුතු වන්නේ සිංහල බෞද්ධ යැයි කියාගන්නා මේ සමාජයේ ඇති අමානුෂික ස්වරූපය ය. තරුණ යුවලකට මෙවැනි අවදානමක් ගැනීමට සිදුවන්නේ සමාජයේ ආරක්ෂාව සහ සහාය පද්ධතිවල අසාර්ථකත්වය නිසා බව කිසිවෙක් හෝ තේරුම් ගත්තා දැයි අපට වැටහෙන්නේ නැත.

තරුණයා කැපවීම සහිත චර්යාව ඔහුගේ වගකීම පෙන්වයි. ඔහු දරුවා සහ තරුණිය අත්නොහැර යාමේ අවංකකම සහ කුටුම්භය ආරක්ෂා කරගැනීමේ උත්සාහයක් ප්‍රකාශ වී ඇත. මේ මානුෂික කැපවීමට නෛතික නිර්වචනයක් නැත. නීතිය ඉදිරියේ ඔහු “ස්ත්‍රී දූෂකයෙකි. බාල වයස්කාර දැරියක සමග ඇයගේ කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදුන ද එය ස්ත්‍රී දූෂණයකි.

නීතියේ ක්‍රියාකාරිත්වය සහ නිර්මාණය වන වියවුල

ශ්‍රී ලංකාවේ ලිංගික කැමැත්තේ නීතිමය වයස අවුරුදු 16කි. 16ට අඩු තරුනියන් දැරියන්ය. දැරියන් සමඟ සිදුවන ලිංගික සම්බන්ධතාව කැමැත්තෙන් වුවද නීතිමය ස්ත්‍රී දූෂණයක් (statutory rape) ලෙස සැලකේ. දඬුවම් බරපතළ වන අතර, අධිකරණ අභිමතය සහ ඇතැම් සමීප වයස් අවස්ථාවලදී සැලකිලිමත් වන නමුත් මූලිකව නීතිය දැඩිය. මෙහිදී තරුණයා සිරගත වීමේ ඉඩක් ඇත. දැරිය පරිවාස භාරයට හෝ ආරක්ෂිත භාරයට පත් විය හැක. බිළිඳිය ළමා නිවාසයකට යොමු විය හැක. මෙම තුනේ එකතුව තනිකරම නැති සමාජ වියවුලක් නිර්මාණය කරයි: පවුල බිඳී, දරුවා මවගෙන් වෙන් වී, තරුණයා සිරගත වී, සමාජයට තවත් බරක් එක් වේ.

නීතියේ අරමුණ බාලවයස්කාරයන් ආරක්ෂා කිරීමය. එය අත්‍යවශ්‍යයි. නමුත් යථාර්ථයේදී යොවුන් පෙම් සබඳතා, ගැබ්ගැනීම් සහ පවුල් බලපෑම් මෙවැනි දුෂ්කර තත්ත්වයන්ට තල්ලු කරන විට, නීතිය ක්‍රියාත්මක කිරීම මානුෂික පිරිවැයක් ගෙන දෙයි. “ඔහු කුටුම්භය ආරක්ෂා කළා, නමුත් නීතිය ඔහුව දූෂකයෙක් කරයි” යන ප්රශ්නය මතුවේ. මෙය නීතිය අහෝසි කළ යුතු යැයි කීමක් නොවේ. එය සමාජය, පවුල්, අධ්‍යාපනය සහ සහාය පද්ධති ගැන ප්‍රශ්න කිරීමකි.

උත්කර්ෂයට නැංවිය යුතු නොවන සිද්ධියක්

ගුහාව තුළ උපත, අත්බෙහෙත් සහ කිතුල් ආයුධ භාවිතය වැනි විස්තර උණුසුම් කතාවක් බවට පත් කිරීම පහසුය. නමුත් එය දුක්ඛිතය. බාල වයස්කාර මවක්, නවජ බිළිඳියක් සහ තරුණ පියෙකු වනාන්තරයේ රැකබලා ගැනීමට උත්සාහ කළා යන කතාව ආදර්ශමත් නොවේ. එය සමාජ අනාරක්ෂිතභාවයේ ලක්ෂණයකි. මෙවැනි සිද්ධි නැවත නැවත සිදුවීම වළක්වන්නේ නීතිය තනිවම නොවේ. යොවුන් වියේ ලිංගිකත්වය, ගැබ්ගැනීම සහ සම්බන්ධතා පිළිබඳ අධ්‍යාපනය, පවුල් සහාය, ආර්ථික අවස්ථා සහ ප්‍රජා ආරක්ෂාව වැඩිදියුණු කිරීමෙනි.

මෙම සිද්ධිය තනිකරම එක් පවුලක හෝ යුවළක ප්‍රශ්නයක් නොවේ. එය සමාජයේ නීතිය සහ මානුෂික යථාර්ථය අතර ඇති පරතරයේ පිළිබිඹුවකි. නීතිය ක්‍රියාත්මක විය යුතුය. ඒ සමඟම සමාජය තරුණ යුවළකට මෙවැනි අවදානම් ගැනීමට තල්ලු නොවන පරිසරයක් නිර්මාණය කළ යුතුය. ගල් ගුහාවක බිහි වූ බිළිඳියක් සහ ඇය වටා ඇති වියවුල, අපගේ සමාජයේ ආරක්ෂාව සහ සහානුභූතිය ගැන නිහඬව ප්‍රශ්න කරමින් ඇත.

අවසාන වශයෙන් අප ජීවත්වන්නේ මොන ආකාරයේ සමාජයක දැයි අප අපෙන් විමසිය යුතුව තිබේ. මේ සිදුවීම් දාමය ප්‍රශ්න කරමින් ඇත්තේ අප උත්කර්ෂයට නන්වන මාර සමාජයක අප කතා නොකරන මහා ඛේදවාචකය බව සටහන් කර තබමු.