අයවැයෙන් රාජ්‍ය සේවයේ සියලු ගැටලු විසඳන්න බැහැ: වැටුප් විෂමතා නැති කිරීමට 15 දෙනෙකුගෙන් යුත් කොමිසමක් පත් කළා – කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත පාර්ලිමේන්තුවේදී කියයි!
මට පෙර අපේ ගරු විපක්ෂ නායකවරයාත් රාජ්‍ය සේවයේ තියෙන බරපතළ අර්බුදයක් සම්බන්ධයෙන් තමයි කතා කළේ. එතුමා මතු කරපු කාරණා ටික ගත්තොත් ඔක්කොම හරි. එහෙම බරපතළ ප්‍රශ්නයක් රටේ තියෙනවා. - ඇමති ලාල් කාන්ත කියයි...
LSN Sri Lanka ·

අයවැයෙන් සියලුම ප්‍රශ්න විසඳන්නට නොහැකි බවත්, රාජ්‍ය සේවයේ ඇති ගැටලු තවමත් නොවිසඳී පවතින බව පිළිගන්නා බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. වැටුප් විෂමතා නැති කිරීම වෙනුවෙන් 15 දෙනෙකුගෙන් සමන්විත විශේෂ වැටුප් කොමිසමක් පත් කර ඇති බවත්, විපක්ෂයට පවා පිළිගත හැකි මට්ටමේ විශිෂ්ට වෘත්තිකයන්ගෙන් සමන්විත එම කොමිසම හමුවට දෙසැම්බර් 31 වැනිදාට පෙර ගොස් සාකච්ඡා කරන ලෙස සියලුම වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.

කොමිසමේ අවසන් වාර්තාව ලබන වසරේ ජූනි මස අවසන් වන විට (ජූලි වන විට) ලැබෙනු ඇති බවත්, ජීවන වියදමට සරිලන ආකාරයේ වැටුප් වැඩිවීමක් පිළිබඳව මෙතෙක් රජයට ඉටුකළ නොහැකිව තිබූ කාර්යය එම කොමිසමේ නිර්දේශ ඔස්සේ ඉටුවනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

රාජ්‍ය සේවයේ අර්බුදය සහ විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය

"2027 අයවැය සම්බන්ධයෙන් ප්‍රධාන මාතෘකා කීපයක් රට තුළ සාකච්ඡා වෙමින් තිබෙනවා. ඒ වගේම මේ සභාවෙත් සාකච්ඡා වෙමින් තිබෙනවා. ඒ අතර එක් ප්‍රධාන මාතෘකාවක් තමයි මේ රාජ්‍ය සේවය ගැන කෙරෙන සාකච්ඡාව. මට පෙර අපේ ගරු විපක්ෂ නායකවරයාත් රාජ්‍ය සේවයේ තියෙන බරපතළ අර්බුදයක් සම්බන්ධයෙන් තමයි කතා කළේ. එතුමා මතු කරපු කාරණා ටික ගත්තොත් ඔක්කොම හරි. එහෙම බරපතළ ප්‍රශ්නයක් රටේ තියෙනවා."

ඉංජිනේරු සේවයේ හිඟය සහ බුද්ධි ගලනය

"ඉංජිනේරු සේවාවම ගත්තොත් මේ වෙනකොට මේ අයවැයෙන් ඒ අයට මොකක්වත් ලැබුණේ නැහැ කියලා යම්කිසි ආකාරයක ඒගොල්ලෝ වෘත්තීය ක්‍රියාමාර්ගත් ගනිමින් ඉන්නවා. අපේ අමාත්‍යාංශයටත් ගොඩක් සම්බන්ධයි, වාරිමාර්ග ඉංජිනේරුවෝ ඉන්න නිසා. එතුමලාත් විටින් විට අවස්ථා ගණනාවකදී එතුමලාගේ වෘත්තීය සමිතිය මාත් එක්කත් සාකච්ඡා ගණනාවක් පවත්වලා ඉංජිනේරු නිලධාරීන්ගේ, ඉංජිනේරු නිලධාරිනියන්ගේ ඒ ඒ ක්ෂේත්රයේ තියෙන පුරප්පාඩු සම්බන්ධයෙන් විශාල වශයෙන් සාකච්ඡා කරලා තිබෙනවා. ඒ ඒ කරන සාකච්ඡාව සම්පූර්ණ ඇත්ත.

ඒ වගේම තමයි වැටුප් පිළිබඳ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපේ ආයතන ගණනාවකම ඉංජිනේරුවරුන්ගේ බරපතළ හිඟයක් පවතිනවා. මේ ආයතන ඇත්තටම වැඩ කරගෙන යන්නේ, රාජ්‍ය සේවය පවත්වාගෙන යන්නේ හරිම අමාරුවෙන්. ඉන්න අයත් රට හැර යන ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ නිසා අපේ ගරු විපක්ෂ නායකවරයා මතු කරපු කාරණා ඇත්ත. බරපතළ ප්‍රශ්නයක් තියෙනවා ඉංජිනේරු ක්ෂේත්රයේ."

පශු වෛද්‍ය සේවයේ ගැටලු සහ ඉල්ලීම්

"මේ ප්‍රශ්න විතරක් නෙමෙයි තවත් රාජ්‍ය සේවයේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. විශාල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. පශු වෛද්‍යවරුත් මේ වෙනකොට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ඉන්නේ. පශු වෛද්‍යවරු විශාල හිඟයකුත් පවතිනවා. ඇත්තටම මේ අපේ ආයතනවල වැඩ කරගෙන යන්න බරපතළ ගැටලු මතු වෙලා තියෙන්නේ. ඒ අයගෙත් වැඩ කරන කාලයට තව පැයක් අමතර එකතු කරන්න කියලා ලොකු ඉල්ලීමක් තියෙනවා. ඒ ඉල්ලීමත් සාධාරණයි. මේවා අපි ඉක්මනින් විසඳුම් හොයන්න ඕන ප්‍රශ්න."

අයවැය සීමාවන් සහ වැටුප් කොමිසමේ අවශ්‍යතාව

"ඉතින් ඒ සම්බන්ධයෙන් විසඳුම් හොයන්න අපි මේ අයවැයෙන්, අයවැය සීමාව ඇතුළේ බැරිකමක් තියෙනවා. ඒක අයවැයෙන් විසඳන්න බැහැ. අයවැයෙන් විසඳන්න ගියොත් සමස්ත රාජ්‍ය සේවයේම බරපතළ ගැටලු, විෂමතා, ප්‍රශ්න ගණනාවක් මතු වෙනවා. නමුත් ඒ ප්රශ්නය ඉක්මනින් විසඳන්න ඕන. අපි වැටුප් කොමිෂන් එකක් පත් කළා මේ අවුරුද්දේ ජූලි මාසේ දෙවැනිදා. ඒ වැටුප් කොමිෂන් එක හරහා තමයි අපිට මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න වෙන්නේ.

නමුත් රාජ්‍ය සේවයේ කොතනට හරි වෙනම උත්තර හොයන්න කියලා අත තිබ්බොත් මුළු රාජ්‍ය සේවයම බරපතළ අවුලකට යනවා. ඒ නිසා අපි ඒ හැමෝගෙන්ම ඉල්ලනවා, වැටුප් කොමිෂන් එක ප්‍රකාශ කරලා තියෙනවා සියලු වෘත්තීය සමිති තමන්ට තියෙන ප්‍රශ්න, ගැටලු, විෂමතා, සේවා ව්‍යවස්ථා පිළිබඳ තියෙන අර්බුද, ඒ අයගේ යෝජනා මේ දෙසැම්බර් 31ට පෙර දිනයක් යොදාගෙන වැටුප් කොමිෂන් එකට ඉදිරිපත් කරන්න කියලා. ඒ හරහා තමයි අපිට මේකට ස්ථිරසාර විද්‍යාත්මක උත්තරයක් හොයාගන්න වෙන්නේ. මම හිතනවා වෘත්තීය සමිති ව්‍යාපාරයට ඒ බුද්ධිය තියෙනවා කියලා. ඒ නිසා වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලන්න ඕන සියලුම දෙනා වැටුප් කොමිෂන් එකත් එක්ක සම්බන්ධ වෙලා අපි මේ ප්රශ්නය විසඳ ගන්න කටයුතු කරමු."

15 දෙනෙකුගෙන් යුත් වැටුප් කොමිසමේ සංයුතිය

"කොහොමත් වැටුප් කොමිෂන් එක තමන්ගේ වාර්තාව ලබන අවුරුද්දේ මැද වෙනකොට දෙන්න ඕන. ජූලි වෙනකොට දෙන්න ඕන. ඒක හැර අපිට මේක කොච්චර උද්ඝෝෂණ කරත්, කොච්චර එළියට බැස්සත්, කොච්චර වැඩ නතර කරලා හිටියත් වැටුප් කොමිෂන් එක හරහා මේකට උත්තරයක් හොයනවා හැර වෙනම උත්තර හොයන්න ටිකක් අමාරුයි. නමුත් අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ අය බොහොම සුහදශීලීව ඒගොල්ලන්ගේ ප්‍රශ්න අපිත් එක්ක ඉදිරිපත් කරලා උත්තරයක් හොයන්න මැදිහත් වෙමින් ඉන්නවා.

වැටුප් කොමිෂන් එක ගැනත් මම පොඩ්ඩක් කියන්නම්. මේකේ ඉන්නේ සාමාජිකයෝ 15 යි. මොකද මේකත් දැන් මේ ප්රශ්නවල මූලික තැනක්. ප්‍රශ්න විසඳගන්න තියෙන එක මූලික තැනක්. විශේෂයෙන් අපේ පාර්ලිමේන්තුවත් අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය, වැඩ කරන පන්තිය දැනගන්න ඕන නිසා. මේකේ ඉන්නේ සාමාජිකයෝ 15 ක්. මේකේ සභාපති වෙන්නේ අශෝක පීරිස්. එතුමා තමයි සභාපති. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික වගකිවයුතු නිලධාරියෙක්. ඊළඟට අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙක් ඉන්නවා. විශ්‍රාම වැටුප් පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන විද්වතෙක් ඉන්නවා. අධ්‍යාපන අධ්යක්ෂවරයෙක් ඉන්නවා. ගණකාධිකාරීවරයෙක් ඉන්නවා. විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා. හෙද සේවයේ ආචාර්යවරයෙක් ඉන්නවා.

අපිට, වෘත්තීය සමිති ව්‍යාපාරයට, රටට, විපක්ෂයට වුණත් පිළිගන්න පුළුවන් කොමිෂන් එකක් තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒ අය දැන් වැඩ පටන් අරන් තියෙනවා. මේ වෙනකොට වෘත්තීය සමිති 69 ක් විතර සම්බන්ධ වෙලා කරුණු කාරණා ඉදිරිපත් කරලා තිබෙනවා. අනෙක් වෘත්තීය සමිතිත් මේ සඳහා එක්වන්න කියලා යෝජනා කරනවා"... ඇමතිවරයා පැවසුවේය.