LSN News › Sri Lanka

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත... පාතාලයට එරෙහි අලුත් නිතිය දැනගනිමු !

මෙම පනත පිළිබඳ සැබෑ පරීක්ෂණය ඇත්තේ එය “පාතාලය මර්දනය කරන දැඩි නීතියක්” ද යන සරල ප්‍රශ්නය තුළ නොවේ. සංවිධානාත්මක අපරාධ ජාල බිඳ දැමීමට රාජ්‍යයට අවශ්‍ය බලය ලබාදෙන අතරම, ඒ බලය අහිංසක පුද්ගලයකුගේ නිදහස, සාධාරණ නඩු විභාගයක අයිතිය සහ නීතියේ නිසි ක්‍රියාදාමය බිඳ දැමීමට භාවිත කළ නොහැකි තරම් ශක්තිමත් ආරක්ෂණ මේ පනත තුළ තිබේ ද? යනන් පිළිබඳව වන සංකාව තුළය.

LSN Sri Lanka · 7 October 2026

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත... පාතාලයට එරෙහි අලුත් නිතිය දැනගනිමු !

ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ මර්දනය සඳහා මෙතෙක් පැවති නීතිමය රාමුව සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් කර තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි පළ කර ඇති මෙම කෙටුම්පතේ ප්‍රකාශිත අරමුණ වන්නේ ජාතික සීමා ඉක්මවා ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය ක්‍රියාත්මක කිරීමත්, බරපතළ අපරාධ වැළැක්වීම, විමර්ශනය හා නඩු පැවරීම සඳහා ශක්තිමත් නීතිමය රාමුවක් ඇති කිරීමත්ය. ශ්‍රී ලංකාව එම එක්සත් ජාතීන්ගේ සම්මුතිය 2006 සැප්තැම්බර් 22 දා අපරානුමත කර තිබේ.

පාතාල සාමාජිකයා පමණක් නොව ජාලයම ඉලක්කයට

කෙටුම්පතේ විශේෂත්වය වන්නේ අපරාධයක් සිදු කළ පුද්ගලයා පමණක් ඉලක්ක නොකිරීමය. සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයකු වීම හෝ එලෙස ක්‍රියා කිරීම, බරපතළ අපරාධයක් කිරීමට තැත් කිරීම, අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම, සංවිධානය කිරීම, පහසුකම් සැලසීම සහ උපදෙස් දීම ද නීතියේ දැලට ඇතුළත් වේ. අපරාධකරුවකු සඟවා තැබීම, අපරාධ කණ්ඩායමකට පුද්ගලයන් බඳවා ගැනීම, එහි ක්‍රියාකාරකම්වලට දැනුවත්ව සක්‍රීයව සහභාගී වීම සහ අපරාධ සඳහා පරිශ්‍ර ලබාදීම ද වෙන වෙනම වැරදි බවට පත් කර තිබේ.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයකු ලෙස බරපතළ අපරාධයක් සිදුකර මූල්‍යමය හෝ වෙනත් ද්‍රව්‍යමය ප්‍රතිලාභයක් ලබාගැනීමේ වරදට වසර පහකට නොඅඩු සහ වසර විස්සකට නොවැඩි සිරදඬුවමක් සහ රුපියල් මිලියනයක් දක්වා දඩයක් නියම කළ හැකිය.

“කල්ලියේ සාමාජිකයා” කවුද ?

මෙය කෙටුම්පතේ වඩාත් අවධානය යොමු කළ යුතු කොටසකි.

යම් පුද්ගලයකු සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයකු ද යන්න තීරණය කිරීමේදී අධිකරණයට සාධක ගණනාවක් සලකා බැලිය හැකිය.

කණ්ඩායමේ ප්‍රකට සාමාජිකයන් සමඟ භෞතික හෝ අතථ්‍ය රැස්වීම් පැවැත්වීම,

ඔවුන් සමඟ සම්බන්ධතා පැවැත්වීම,

කණ්ඩායමේ සාමාජිකයන් භාවිත කරන ඇඳුම් රටා, හස්ත මුද්‍රා, භාෂාව හෝ පච්ච භාවිත කිරීම,

කණ්ඩායම භාවිත කරන ස්ථානවලට පුරුද්දක් ලෙස යාම,

කණ්ඩායමෙන් මූල්‍ය හෝ වෙනත් ප්‍රතිලාභ ලබාගැනීම සහ කණ්ඩායමේ සාමාජිකයන් සමඟ මීට පෙර බරපතළ අපරාධ සිදුකර තිබීම වැනි කරුණු ඒ අතර වේ.

මෙය නීතියේ ප්‍රබලත්වය මෙන්ම අතිශය පරෙස්සමින් ක්‍රියාත්මක කළ යුතු ස්ථානය ද වේ. පුද්ගලයකු අපරාධකරුවකු සමඟ දැනහැඳුනුම්කමක් පැවැත්වීම සහ ඔහු අපරාධ සංවිධානයක සාමාජිකයකු වීම එකම දෙයක් නොවේ. එබැවින් මේ සාධක භාවිත කරන්නේ කෙසේද, ඒවාට අවශ්‍ය සාක්ෂි මට්ටම කුමක්ද සහ හුදු සම්බන්ධතාවක් අපරාධමය සාමාජිකත්වයක් බවට පත් නොකිරීමට ඇති ආරක්ෂණ මොනවාද යන්න නීතිය ක්‍රියාත්මක කිරීමේදී වැදගත් වනු ඇත.

අත්අඩංගුවට ගත් පසු පැය 72ක්

අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ළඟම ඥාතියකුට සාමාන්‍යයෙන් පැය 24ක් තුළ ඒ පිළිබඳ දැනුම් දිය යුතුය. සැකකරු රඳවා සිටින ස්ථානය භාර නිලධරයා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැය 24ක් ඇතුළත අත්අඩංගුවට ගැනීම පිළිබඳ දැනුම් දිය යුතුය.

එහෙත් සැකකරු මහෙස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කිරීම සඳහා කෙටුම්පත ලබාදෙන මූලික කාලය පැය 72කි. මහෙස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් පසු තවත් පැය 24ක් දක්වා පොලිස් භාරයේ තැබීමට ද මහෙස්ත්‍රාත්වරයාට ලිඛිත හේතු මත අවසර දිය හැකිය.

වසරක් දක්වා රඳවා තැබීමේ හැකියාව

කෙටුම්පතේ වඩාත් ප්‍රබල විධිවිධානයක් ඇත්තේ මෙතැනයි.

පොලිස්පතිවරයාට හෝ ඔහු විසින් බලය දෙන නියෝජ්‍ය පොලිස්පති ධුරයට නොඅඩු නිලධරයකුට සැකකරුවකු රඳවා තැබීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ හැකිය. ලේකම්වරයා සාධාරණ හේතු ඇති බවට සෑහීමකට පත්වන්නේ නම් රඳවා තැබීමේ නියමයක් නිකුත් කළ හැකිය.

එවැනි නියමයක් එක් වරකට මාස දෙකක් දක්වා නිකුත් කළ හැකි අතර, එවැනි නියම යටතේ සැකකරුවකු රඳවා තැබිය හැකි සමස්ත කාලය වසරක් දක්වා දිගු විය හැකිය. එහි අරමුණු ලෙස විමර්ශනය පහසු කිරීම, සාක්ෂි හෝ ද්‍රව්‍ය ලබාගැනීම සහ සැකකරුගෙන් ප්‍රශ්න කිරීම කෙටුම්පතේම සඳහන් කර ඇත.

මේ නිසා පනත පිළිබඳ ඉදිරි නීතිමය හා පාර්ලිමේන්තු විවාදයේ ප්‍රධාන ප්‍රශ්නයක් විය හැක්කේ, සංවිධානාත්මක අපරාධ විමර්ශනය සඳහා අවශ්‍ය දීර්ඝ රඳවා තැබීම සහ පුද්ගල නිදහස ආරක්ෂා කිරීම අතර සීමාව නිවැරදිව තබා තිබේ ද යන්නය.

කෙසේ වෙතත් ආරක්ෂණ විධිවිධාන ද කෙටුම්පතේ ඇත. සැකකරු මහෙස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ විට විනිසුරුවරයා සැකකරු පෞද්ගලිකව සහ රහසිගතව හමුවී ඔහුගේ යහපැවැත්ම සොයා බැලිය යුතු බව ද කෙටුම්පත නියම කරයි.

බැංකු ගිණුමේ සිට සන්නිවේදන දත්ත දක්වා

මෙම පනත ක්‍රියාත්මක වුවහොත් සංවිධානාත්මක අපරාධවල මුදල් හා සන්නිවේදන ජාල හඹා යෑමට පොලිසියට පුළුල් නීතිමය මෙවලම් ලැබේ.

බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන සහ නම් කළ මූල්‍ය නොවන ව්‍යාපාරවලින් තොරතුරු ලබාගැනීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයාට මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ආඥාවක් ඉල්ලා සිටිය හැකිය. එමෙන්ම සේවා සපයන්නන්ගෙන් දත්ත, ලේඛන, වාර්තා සහ උපකරණ වෙත හෝ උපකරණයකින් දත්ත ගමන් කිරීම සම්බන්ධ තොරතුරු ලබාගැනීමට ද අධිකරණ ආඥා ඉල්ලා සිටිය හැකිය.

මෙහි වැදගත් කරුණ වන්නේ එවැනි තොරතුරු ලබාගැනීමේ ක්‍රියාවලියේ අධිකරණ අධීක්ෂණයක් ඇතුළත් කර තිබීමය.

සැකකරුගේ ලිඛිත ප්‍රකාශයත් සාක්ෂියක් විය හැකියි

කෙටුම්පතේ තවත් විශේෂ සහ නීතිමය වශයෙන් ඉතා වැදගත් වෙනසක් වන්නේ සාක්ෂි සම්බන්ධ විධිවිධානයයි.

මෙම පනත යටතේ බරපතළ අපරාධයකට අධිචෝදනා ලැබූ පුද්ගලයකු විසින් ලියා අත්සන් කළ ප්‍රකාශයක්, එය අපරාධෝච්චාරණයක් වුවත් නොවුවත් සහ එම අවස්ථාවේ ඔහු පොලිස් අත්අඩංගුවේ සිටියත් නොසිටියත්, නඩුවකදී ආවේශ්‍ය කරගත හැකි ( අධිකරණය විසින් සාක්ෂියක් ලෙස පිළිගෙන සලකා බැලිය හැකි) බවට කෙටුම්පත විධිවිධාන සලසයි.

එවැනි ප්‍රකාශයක් සාක්ෂි ආඥාපනතේ 24 වැනි වගන්තිය යටතේ අදාළ නොවන බව කියන්නේ නම්, ඒ බව ඔප්පු කිරීමේ භාරය එසේ ප්‍රකාශ කරන පුද්ගලයා මත තැබීම ද විශේෂ අවධානයට ලක්විය යුතු කරුණකි.

මෙය නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට ප්‍රබල සාක්ෂිමය මෙවලමක් ලබාදෙන අතරම, ප්‍රකාශයක් ලබාගත් ආකාරය, එහි ස්වේච්ඡාභාවය සහ සැකකරුගේ නීතිමය ආරක්ෂාව පිළිබඳ දැඩි අධිකරණ අධීක්ෂණයක් අවශ්‍ය කරන ක්ෂේත්‍රයක් ද වේ.

තොරතුරු දෙන්නාගේ අනන්‍යතාව සඟවයි

සංවිධානාත්මක අපරාධ විමර්ශනයේ ප්‍රධාන ගැටලුවක් වන්නේ තොරතුරු සපයන්නන්ගේ ආරක්ෂාවය. ඒ සඳහා ද කෙටුම්පත විශේෂ ආරක්ෂාවක් හඳුන්වා දෙයි.

දැනුම් දෙන්නකුගේ අනන්‍යතාව හෙළිදරව් වීම වැළැක්වීමට විධිවිධාන සලසා ඇති අතර, අධිකරණයට ඉදිරිපත් කරන පොතක, ලේඛනයක හෝ වෙනත් පත්‍රිකාවකින් දැනුම් දෙන්නා හඳුනාගත හැකි නම් එම තොරතුරු වසන් කිරීමට හෝ ඉවත් කිරීමට අධිකරණය පියවර ගත යුතුය.

මෙය මත්ද්‍රව්‍ය හා මිනීමැරුම්වලට පමණක් සීමා වූ පනතක් නොවේ

කෙටුම්පත කියවීමේදී පෙනෙන තවත් වැදගත් කරුණක් වන්නේ එහි විෂය පථයයි.

“බරපතළ අපරාධයක්” යන්න මෙම පනතේ හෝ පළමු උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති වැරදිවලට අමතරව, උපරිම දඬුවම වසර හතරක් හෝ ඊට වැඩි සිරදඬුවමක් වන වැරදි ද ආවරණය වන ලෙස සකස් කර තිබේ.

ඒ අනුව සංවිධානාත්මක අපරාධ යන්න සාම්ප්‍රදායික අර්ථයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම් සහ කප්පම් ගැනීම් පමණක් නොව වංචා, නීතිවිරෝධී සූදු ක්‍රීඩා, ගෙවීම් උපක්‍රම වංචා, ඇතැම් බුද්ධිමය දේපළ වැරදි, නීතිවිරෝධී පතල් කැණීම් සහ වනජීවී හා වන සම්පත් සම්බන්ධ ඇතැම් වැරදි ඇතුළු පුළුල් ක්ෂේත්‍රයකට පැතිර යා හැකිය.

නීතියේ ශක්තියම එහි අවදානම ද විය හැකිය

මෙම කෙටුම්පතේ මූලික අදහස පැහැදිලිය. සංවිධානාත්මක අපරාධයක් සිදු වූ පසු වෙඩික්කරු හෝ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයා පමණක් අල්ලා ගැනීම වෙනුවට අපරාධ ජාලයේ සාමාජිකයන්, මුදල්, දේපළ, සන්නිවේදනය, සැඟවීමට උදව් කරන පුද්ගලයන්, ව්‍යාපාර සහ සහායක ජාලය දක්වා හඹා යා හැකි නීතිමය ව්‍යුහයක් ගොඩනැගීම එහි අරමුණ බව පෙනේ.

එහෙත් ඒ සඳහා රාජ්‍යයට ලබාදෙන බලය ද සාමාන්‍ය අපරාධ නීතියකට වඩා ප්‍රබලය. පැය 72ක මූලික පොලිස් භාරය, වසරක් දක්වා යා හැකි රඳවා තැබීම, පුළුල් විමර්ශන බලතල, මූල්‍ය හා සන්නිවේදන දත්ත වෙත ප්‍රවේශය සහ සැකකරුගේ ඇතැම් ලිඛිත ප්‍රකාශ සාක්ෂි ලෙස භාවිත කළ හැකි වීම ඒ අතර ප්‍රධානය.

එබැවින් මෙම පනත පිළිබඳ සැබෑ පරීක්ෂණය ඇත්තේ එය “පාතාලය මර්දනය කරන දැඩි නීතියක්” ද යන සරල ප්‍රශ්නය තුළ නොවේ.

සංවිධානාත්මක අපරාධ ජාල බිඳ දැමීමට රාජ්‍යයට අවශ්‍ය බලය ලබාදෙන අතරම, ඒ බලය අහිංසක පුද්ගලයකුගේ නිදහස, සාධාරණ නඩු විභාගයක අයිතිය සහ නීතියේ නිසි ක්‍රියාදාමය බිඳ දැමීමට භාවිත කළ නොහැකි තරම් ශක්තිමත් ආරක්ෂණ මේ පනත තුළ තිබේ ද? යනන් පිළිබඳව වන සංකාව තුළය.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පැමිණෙන විට විවාදයට ලක්විය යුතු මූලික ප්‍රශ්නය එයයි.