ඥානසාර හිමිගේ සිවුර...
ඥානසාර හිමිට ක්‍රියාත්මක වන්නේ අනෙක් සිරකරුවන්ට නැති නීතියක් නම් එයට එරෙහි විය යුතුය. අනෙක් සිරකරුවන්ට ක්‍රියාත්මක වන නීතියම ඥානසාර හිමිටත් ක්‍රියාත්මක වන්නේ නම්, එය ශාසන විනාශයක් බවට පත් කිරීමට පෙර අප අපෙන්ම තවත් ප්‍රශ්නයක් ඇසිය යුතුය.
LSN Sri Lanka ·

ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ සහ අද අධිකරණයට පැමිණියේ චීවරයෙන් නොවේ. ඒ සමඟ රටේ තවත් හුරුපුරුදු විවාදයක් ආරම්භ වී තිබේ.

“සංඝරත්නයට අත තබන්න එපා” යැයි නාමල් රාජපක්ෂ කියයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චීවරයේ ගෞරවය සහ ආගමික සම්ප්‍රදායන් රැකිය යුතු බව ආණ්ඩුවට මතක් කර දෙයි. මැදගම ධම්මානන්ද හිමි මෙය ශාසනික වශයෙන් බරපතළ කාරණයක් බව වදාරයි.

එහෙත් මේ සියලු හැඟීම්බර ප්‍රකාශ අතර අමතක වන ඉතා සරල ප්‍රශ්නයක් තිබේ.

ඥානසාර හිමිට සිදුවී ඇත්තේ අලුත් දෙයක් ද?

පිළිතුර නැත යන්නය.

ඥානාසාර හිමි ජම්පරයට සමාන ගිහි ඇඳුමක් සහිතව අපි 2018දීත් දුටුවෙමු

2018 දී ඥානසාර හිමි සිරගත වූ අවස්ථාවේත් මේ ප්‍රශ්නයම මතු විය. එදා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිවරිය වූයේ තලතා අතුකෝරාලය. නමුත් තලතා සිය ස්ථාවරය කීවාය.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව අද වාගේම එදත් ඥානසාර හිමිගේ චීවරය පිළිබඳ ප්‍රශ්නය මතු කළේය. ඊට 2018 ජූනි 19 දා අමාත්‍යවරිය දුන් පිළිතුර පැහැදිලි විය.

“රටේ නීතිය වූ බන්ධනාගාර ආඥා පන ක්‍රියාත්මක කරන්න... අධිකරණයෙන් වරදකරු කර සිරගත කළ පුද්ගලයකු සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට බන්ධනාගාර ආඥාපනත අනුව කටයුතු කිරීම හැර වෙනත් විකල්පයක් නැත. “

ඇය පොදුවේ සිහි කරනු ලැබුවේ රට පාලනය වන්නේ සංඝ සාභාවක විනය නීතිවලින් නොවන බවය.

බන්ධනාගාර ආඥාපනත අනුව කටයුතු කිරීම අලුත් දෙයක් නොවේ. අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව ඊට විශේෂ ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ නැත. එදාත් ඥානසාර හිමිට සිරකරු ඇඳුම් ලබා දී තිබිණි.

2018 අගෝස්තුවේ වසර හයක බරපතළ වැඩ සහිත සිරදඬුවම ක්‍රියාත්මක වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිටි ඥානසාර හිමිට “ලිබර්ටි ඩ්‍රස්” ලෙස හැඳින්වූ සුදු සරම සහ සුදු කමිසය ලබා දී තිබූ බව එදා වාර්තා විය. බන්ධනාගාරය තුළ ජම්පරය අනිවාර්ය බවත් එදා බන්ධනාගාර බලධාරීහු පැවසූහ.

නාමල් රාජපක්ෂ දැඩි ආවේගයකින් යුතුව අද පාර්ලිමේන්තුවේ දී කීවේ මේ සිංහල බෞද්ධ විරෝධී ආණ්ඩුව ඥානසාර හිමියන්ගේ චීවරය ගැලවූ බවය. තලතා අතුකෝරල බන්ධනාගාර ඇමති ධූරය දැරූ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් වූ සජිත් ප්‍රේමදාසත් මේ මොහොතවනවිට ආණ්ඩුව ඥානසාර හිමියන්ගේ චීවරය ගැලවූ බවට විශ්වාස කරමින් මේ සිංහල බෞද්ධ ශාසනික විරෝධී ආණ්ඩුව ගැන කම්පා වන්නේය.

කෙසේ වෙතත් අද අප දකින මේ ක්‍රියාවලියේ මෙහි සියුම් නීතිමය වෙනසක් තිබේ

ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද කර ඇති පැහැදිලි කිරීම වැදගත්ය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පැහැදිලි කිරීමට අනුව සරල සිරදඬුවමක් විඳින භික්ෂුවකට චීවරයෙන් සිටිය හැකිය. නමුත් බරපතළ වැඩ සහිත සිරදඬුවමක් විඳින පුද්ගලයකු සිරකරු ඇඳුම ඇඳිය යුතුය. එ් බව බන්ධනාගාර ප්‍රකාශක සේනක පල්ලෙතැන්න පැහැදිලි කර තිබුණේය. වසර තුන ඉක්මවන දඬුවමකට ලක් වූ සිරකරුවකු අධිකරණයට ඉදිරිපත් කරන විටද බන්ධනාගාරයෙන් නිකුත් කරන ඇඳුම භාවිත කළ යුතු බව ඔහුගේ පැහැදිලි කිරීමය.

ඥානසාර හිමිට මාස නවයක සරල සිරදඬුවමක් ඇති බව සැබෑය. අද එම නඩුව පෙබරවාරි 25 දක්වා කල් තැබිණි. එම දඬුවමට එරෙහි අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති බවද ඔහුගේ නීතිඥයා අධිකරණයට දැන්වූයේය.

නමුත් ඔහු මේ මොහොතේ ඔහු මුහුණ දී සිටින්නේ ඒ නඩුවට පමණක් නොවේ. 2018 අධිකරණ අපහාස නඩුවෙන් නියම වූ වසර හයක බරපතළ වැඩ සහිත සිරදඬුවමේ ඉතිරි කොටස ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. ඇඳුම පිළිබඳ නීතිමය ප්‍රශ්නය විමසිය යුත්තේ එම පසුබිම තුළය.

චීවරය ගැලවීම සහ උපැවිදි කිරීම එකක් නොවේ

මෙතැනදී තවත් සීමාවක් පැහැදිලිව තබාගත යුතුය.

භික්ෂුවකගේ ශාසනික තත්ත්වය තීරණය කිරීම රාජ්‍යයේ කාර්යයක් නොවේ. එය විනය සහ අදාළ සංඝ සභාවේ විෂයකි. 2018 දී තලතා අතුකෝරාලද එම වෙනස පිළිගෙන තිබිණි.

නමුත් සිරදඬුවමක් විඳින පුද්ගලයකු බන්ධනාගාරය තුළ අඳින ඇඳුම නියම කිරීම වෙනත් කාරණයකි.

මේ දෙක එකට මිශ්‍ර කළ මොහොතේ “සිරකරු ඇඳුම” “උපැවිදි කිරීමක්” බවටත්, බන්ධනාගාර රීතිය “ශාසන විනාශයක්” බවටත් දේශපාලනිකව පරිවර්තනය කළ හැකිය. මේ සිදුවෙමින් ඇත්තේ එයය.

එය භයානක තැනකි.

ප්‍රශ්නය ඥානසාර හිමි නොවේ

මෙහි වඩා විශාල ප්‍රශ්නය ඇත්තේ ඥානසාර හිමිට අප කැමතිද අකමැතිද යන්නෙහි නොවේ.

නීතිය ඉදිරියේ චීවරයට, දේශපාලන බලයට හෝ සමාජ බලයට වෙනම දොරක් තිබිය යුතුද යන්නෙහිය.

බන්ධනාගාර තුළ සිරදඬුවම් විඳින භික්ෂූන් 63 දෙනකු සිටින බවත් ඥානසාර හිමිටද ඔවුන්ට අදාළ පටිපාටියම ක්‍රියාත්මක කරන බවත් ආණ්ඩුව කියයි.

එසේ නම් විවේචනය කළ යුත්තේ එම නීතිය ය. එය භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් උල්ලංඝනය කරන නීතියක් නම් සංශෝධනය කළ යුතුය. ඒ සඳහා සංඝ සභා, නීතිවේදීන්, ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව අතර සාකච්ඡාවක් ඇති විය හැකිය.

නමුත් එක් ප්‍රසිද්ධ භික්ෂුවකට පොදු නීතිය ක්‍රියාත්මක වූ විට පමණක් එය “බුදු සසුනට අත තැබීමක්” බවට පත් කිරීම වෙනත් දෙයකි.

එවිට අප ඉල්ලන්නේ ආගමික ගෞරවය නොව විශේෂ වරප්‍රසාදයක් විය හැකිය.

නීතියටත් මතකයක් තිබිය යුතුය

මෙහි ඇති දේශපාලන උත්ප්‍රාසය එතැනය.

2018දීත් ඥානසාර හිමිගේ චීවරය පිළිබඳව මේ රටේ විවාදයක් තිබිණි. එදා පැවති ආණ්ඩුව යටතේත් බන්ධනාගාර ආඥාපනත පෙන්වා දුන්නේය. එදාත් සිරකරු ඇඳුම ලබා දුන්නේය.

අද එයම සිදුවන විට දේශපාලන වේදිකාව වෙනස් වී ඇත. ඒ සමඟ සමහරුන්ගේ නීතිය පිළිබඳ අර්ථකථනයද වෙනස් වී තිබේ.

ඥානසාර හිමිගේ චීවරයට ගරු කළ යුතුය. ඒ ගැන විවාදයක් නැත.

එහෙත් චීවරයට ගරු කිරීමේ හොඳම ක්‍රමය චීවරය නීතියට ඉහළින් තැබීම නොවේ.

අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පරීක්ෂණය ඉතා සරලය.

ඥානසාර හිමිට ක්‍රියාත්මක වන්නේ අනෙක් සිරකරුවන්ට නැති නීතියක් නම් එයට එරෙහි විය යුතුය. අනෙක් සිරකරුවන්ට ක්‍රියාත්මක වන නීතියම ඥානසාර හිමිටත් ක්‍රියාත්මක වන්නේ නම්, එය ශාසන විනාශයක් බවට පත් කිරීමට පෙර අප අපෙන්ම තවත් ප්‍රශ්නයක් ඇසිය යුතුය.

අප ආරක්ෂා කරන්නට හදන්නේ චීවරයේ ගෞරවයද — නැතිනම් චීවරයක් දරන එක් පුද්ගලයකු නීතියෙන් විශේෂ කිරීමේ පැරණි දේශපාලන සංස්කෘතියද?

අද මැදගම ධම්මානන්ද හිමියන්ටත් මේ කාරණාව පැටලී ඇත. උන්වහන්සේ ඥානසාර හිමි නැවත පැවිදි කරන බව කියති. ඥානසාර හිමි පැවිදි විය යුතු බව සමාජය කීවේ බොහෝ කලක සිටය.

එබවින් මැදගම ධම්මානන්ද හිමියන් මුල් වී හෝ මෙවැනි භික්ෂූන් පැවිදි කිරීමට ප්‍රවේශයක් සකස් වන්නේ නම් අපේ කාලයේ දකින වැදගත්ම ශාසනික මෙහෙයවර එය වනු ඇත.