ඥානසාර හිමිගේ සිවුරු ගැලවීම නරක පූර්වාදර්ශයක්: උන්වහන්සේ නැවත පැවිදි කිරීමට මැදිහත් වෙනවා - අස්ගිරි ලේඛකාධිකාරී හිමි!
උද්ගතව ඇති මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කොට, ඥානසාර හිමියන් නැවතත් පැවිදි කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට මැදිහත් වන බව ද උන්වහන්සේ සඳහන් කළහ.
LSN Sri Lanka ·

අධිකරණය මගින් සිරදඬුවම් නියම කිරීමෙන් පසු බන්ධනාගාර ගත කළ පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් යළි අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ දී සිවුරු ගලවා ඉවත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් ගෙන තිබූ පියවර කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, මෙය බරපතළ ශාසනික වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවත් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

වරදක් සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් දඬුවම පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති බවත්, ප්‍රශ්නය ඇත්තේ මෙලෙස ඥානසාර හිමියන්ගේ සිවුර උන්වහන්සේගේ කැමැත්ත හෝ අකමැත්ත පිළිබඳ තැකීමක් නොකර ඉවත් කිරීම සම්බන්ධයෙන් බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මහනුවර අස්ගිරි මහ විහාරයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි හිමියෝ මේ බව කියා සිටියහ.

ඥානසාර හිමියන් මෙම තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මහනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය ඉදිරියේදී සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව ද ධම්මානන්ද නාහිමියෝ ප්‍රකාශ කළහ.

අධිකරණය මගින් යම් පුද්ගලයෙකු වරදකරු කර සිර දඬුවම් නියම කළ පසු එම පුද්ගලයා නැවත අධිකරණයට ඉදිරිපත් කරන්නේ නම්, බන්ධනාගාර ආඥා පනතට අනුව එම පුද්ගලයා පෙර භාවිතා කළ ඇඳුමින්ම අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

"මෙය ඉතාමත් බරපතළ කාරණයක්. සාම්ප්‍රදායික වශයෙන් අපේ නීති පද්ධතිය අධිකරණය පිළිගන්නවා. නමුත් එම තත්ත්වය පවා නොතකා තමයි මේ දේ කරලා තියෙන්නේ. මෙය ශාසනික වශයෙන් නරක පූර්වාදර්ශයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය ලෙස අපි විශේෂ අවධානය යොමු කරනවා. සාකච්ඡා කොට ඉදිරි ක්‍රියාමාර්ගවලට එළඹෙනවා." යැයි ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

මේ අවස්ථාවේදී දේශපාලන මතිමතාන්තරවලින් බැහැරව කටයුතු කරන ලෙස ඉල්ලා සිටි උන්වහන්සේ, ශාසනික වශයෙන් ගත් කල මෙය ඉතාමත් බරපතළ වරදක් බව ද අවධාරණය කළහ.

උද්ගතව ඇති මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කොට, ඥානසාර හිමියන් නැවතත් පැවිදි කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට මැදිහත් වන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

රෝම ලන්දේසි නීතියට අනුව වරදට දඬුවම් දිය යුතු වුවත්, බුදු දහමට අනුව කළ යුත්තේ වරදට සමාව දී යහමගට ගැනීම බව පෙන්වා දුන් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ, මහා සංඝරත්නය ලෙස මේ සම්බන්ධයෙන් ගත යුතු සියලු පියවර ගන්නා බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළහ.