භික්ෂූන්වහන්සේ වෙනුවෙන් බන්ධනාගාර නිත්‍ය නියෝග සහ රෙගුලාසි සංශෝධනයට ජනාධිපතිගෙන් කමිටුවක්!
බන්ධනාගාරගතවන භික්ෂූන්වහන්සේ විෂයෙහි අනුගමනය කළ යුතු නීති රීති සහ විධිවිධාන යාවත්කාලීන කිරීම සඳහා නීතිපතිවරයා, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළත් වන අන්දමින් නව කමිටුවක් පත් කරන බව ජනාධිපතිවරයා අද මහා නායක හිමිවරුන් වෙත දැන්වූයේය.
LSN Sri Lanka ·

භික්ෂූන් වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද ( 08) පස්වරුවේ මහා සංඝරත්නය සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ජනාධිපති කාර්යාලයට වැඩම කළේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි වස්ත්‍ර සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් මතු වී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය.

මහානායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති ලිපිය සහ මෙම සිදුවීම පාදක කර ගනිමින් සමාජයේ ඇති වී තිබෙන තත්ත්වයත්, මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ගත් පිළිබඳව සාකච්ඡා කිරීම එහි අරමුණ විය.

සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ නීතිපතිවරයා, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළත් වන අන්දමින් නව කමිටුවක් පත් කරන බවය. සති දෙකක් ඇතුළත අධ්‍යයනය කර සංශෝධන ඉදිරිපත් කිරීම එම කමිටුවට පවරන බවත්, භික්ෂූන් වහන්සේට බලපාන කොටස් මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කර අනුරූප ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේ අදහස් දැක්වීය:

"බන්ධනාගාර පද්ධතිය පාලනය වෙනවා පනතකින්. ඇමැතිතුමා විසින් පනවන රෙගුලාසි විසින් සහ ඇමැතිතුමාගේ අනුමැතියට යටත්ව කොමසාරිස්තුමා විසින් පනවන නිත්‍ය නියෝග මතින් තමයි මේක පාලනය වෙන්නේ.“

ඔය 216 වගන්තියේ විතරයි සුවිශේෂී කොට අපේ හාමුදුරුවන් වහන්සේලා ගැන කතා කරන්නේ. ඒ නිසා මේ රෙගුලාසි, මේ අණපනත් සකස් කිරීමේදී හැමවිටම පොදු සිරකරුවන් පිළිබඳව තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. එහෙම නැතුව අර විශේෂ හාමුදුරුවන් වහන්සේලා, එහෙම නැත්නම් අනිත් ආගමික පූජකවරුන් වහන්සේලා කේන්ද්‍ර කරගෙන, වෙනත් විශේෂ අය කේන්ද්‍ර කරගෙන සකස් වෙලා නැහැ.

මේ මොහොතේ ගත්තොත් මම හිතන්නේ 63 නමක් වගේ පිරිසක් සිරගත වෙලා ඉන්නවා. ඒ 63 නමම වැඩවසන්නේ ඒ බන්ධනාගාරයෙන් ලබාදෙන ඇඳුම මත. උන්වහන්සේ පමණක් නෙවෙයි, ඒ වගේම උන්වහන්සේත් 2018දී බන්ධනාගාරගත වුණාට පස්සේ, සිරගත වුණාට පස්සෙත් ඒ ඇඳුම තමයි උපයෝගි කරගෙන තියෙන්නේ.

ඒ නිසා මම හිතන්නේ ඔබවහන්සේලා, නායක හාමුදුරුවන් වහන්සේලා යොමුකරන ලිපියෙත් මට තේරෙන විදිහට මේ සිරගත වෙලා ඉන්න ආකාරයේ ඇඳුම පිළිබඳවට වඩා ප්‍රශ්නය පැනනඟින්නේ බන්ධනාගාරයෙන් අපි උන්වහන්සේලා එළියට ගෙන යාමේදී. මම හිතන්නේ ඒක අධිකරණ ක්‍රියාමාර්ගවලට පමණක් නෙවෙයි, බන්ධනාගාරයෙන් බැහැර වෙන හැම අවස්ථාවකදීම අපි සැලකිල්ලට භාජනය කරන්න ඕනා. මොකද සිරගත වෙලා ඉන්නකොට ඒක විවෘත නැති තැනක්. හැබැයි බන්ධනාගාරයෙන් බැහැර වෙනකොට ඒක මාධ්‍යය, පොදු ජනතාවට මේක නිරූපණය වෙන්න පටන්ගන්නවා.

අපිට බන්ධනාගාර නිලධාරීන්ට දෝෂාරෝපණය කරලා වැඩක් නැහැ. මොකද ඔවුන් අනුගමනය කරන්නේ දැනට තියෙන රීති සහ නීති පද්ධතීන්. අපේ හැම කෙනෙකුටම කම්පනයක් ඇති කරනවා අපි ඊයේ දිනයේ වැඳ නමස්කාර කරපු හාමුදුරුවන් වහන්සේ නමක් අද දිනයේ අපි වෙනස් ආකාරයකින් දැක්කපුවාම, මම හිතන්නේ පොදු බෞද්ධ ජනතාවට කම්පනයක්... අපේ හාමුදුරුවන් වහන්සේලා, මහානායක හාමුදුරුවන් වහන්සේලාම ලියලා තිබුණා එය උන්වහන්සේලාගේ විමතියට පත් වුනා කියලා. ඒ කාරණාව එහෙම හැඟිමක් ඇති වෙන එකත් තමයි. අපි කාටත්, හැම බෞද්ධයෙකුටම හදවතට යම් කම්පනයක් ඇති කරනවා.

හැබැයි මේක තමයි සිද්ධ වෙච්ච ක්‍රියාදාමය. දැන් එහෙමනම් අපිට තියෙන්නේ කොහොමද ඒ ක්‍රියාදාමය උචිත නැත්නම් අපි අලුත් ක්‍රමයක් හදන්නේ කියලා. මොකද නීතිය කියන්නේ උත්තරඓතිහාසික නෙවෙයි. නීතිය හැමවෙලාවෙම... නීතිය උත්තරඓතිහාසික වෙනවා නම් පාර්ලිමේන්තුවක් ඕන නැහැනේ. හැමදාම අලුත් නීති සම්පාදනය වෙනවා, සම්පාදනය කරනු ලැබූ නීති හැමදාම සංශෝධනයට භාජනය වෙනවා.“

එතකොට අපිට තියෙන්නේ එහෙමනම් මෙන්න මේ නීතිය සංශෝධනය කරන්න. එහෙම නැතුව අපේ හාමුදුරුවනේ මම කැමති නැහැ නීතිය එසේ තිබියදී මම මෙහෙම කරන්න කියලා නියෝගයක් දෙන්න. එතකොට මගේ කැමැත්ත නීතිය බවට පත්නොවිය යුතුයි. මම කල්පනා කළේ මේ තියෙන රෙගුලාසි සහ බන්ධනාගාරයේ නිත්‍ය නියෝග, කොමසාරිස්තුමා විසින් පනවලා තියෙන නිත්‍ය නියෝග වර්තමාන තත්ත්වයට අනුරූප වන පරිදි වෙනස් විය යුතු බවයි.“

“ ඇත්තටම මෙවැනි සංවාදයකදී තමයි සමහර ඒවා මතුවෙන්නේ, නැත්නම් ඒවා ඒ විදිහටම පවතිනවා, සංවාදයකදී තමයි මතු වෙන්නේ. දැන් අපි බලපුවාම මේ රීති පමණක් නොවෙයි, තවත් ගොඩක් ඒවා වෙනස් වෙන්න තියෙනවා. අපේ හාමුදුරුවන් වහන්සේලාට බලපාන කොටස් ඔබවහන්සේලාත් එක්ක සාකච්ඡා කරලා ඊට අනුරූප වන පරිදි අපි වෙනස් කරන්නම්.“

ඒ වගේම මම හිතන්නේ පොදුවේ ඇතැම් දේවල් අපිට වෙනස් කරන්න ඕනකම තියෙනවා. ඒ නිසා මම අපේක්ෂා කරනවා නීතිපතිතුමාත්, අපේ අධිකරණ අමාත්‍යාංශයත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත්, අපේ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයත් බන්ධනාගාර කොමසාරිස්වරයා සහිත බන්ධනාගාර නිලධාරීනුත් යොදවාගෙන, කමිටුවක් පත් කරලා ඉතා ඉක්මනින්ම අපි මේ නිර්දේශ අලුත් නිත්‍ය නියෝග සහ රෙගුලාසි පනවන්නම්.

අද කමිටුව පත් කරලා අපිට සති දෙකක් ඇතුළත මේක අධ්‍යයනය කරලා මොනවාද අපිට වෙනස් වෙන්න ඕනා, සංශෝධන කියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඔබවහන්සේලාටත් අපිට ඉදිරිපත් කරන්නම් හාමුදුරුවන් වහන්සේලා කේන්ද්‍ර කරගෙන මේකේ වෙන්න ඕන සංශෝධන. මොකද මේක හැමවිටම හදලා තියෙන්නේ පොදු තත්ත්වයකට මිසක් හාමුදුරුවන් වහන්සේලා විශේෂ කොට නෙමෙයි. එතකොට මේ රීතිවල හරි අඩුවක් තියෙනවා."

මෙම අවස්ථාවට සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි, සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමි, නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල ශ්‍රී රතනපාල හිමි, ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය බලපිටියේ සිරිසීවලී හිමි, නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය අහංගම මෛත්‍රීමූර්ති හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ ශාසනරතන හිමි සහ පූජ්‍ය කෝන්ගස්දෙණියේ ආනන්ද හිමි යන නායක හිමිවරුන් වැඩම කර සිටියහ.