World · Sri Lanka Bureau
රුසියානු තෙල්වලට සම්බාධක පනවන ට්‍රම්ප්, රුසියාවෙන්ම ඩීසල් මිලදී ගැනීමට තිරණය කිරීම - එය දෛවයේ සරදමක් ද?
ලෝකයට නීති පනවන බලවතාට තම අවශ්‍යතාව මතු වූ සැණින් ඒ නීතිවලින් නිදහස් විය හැකි නම්, ජාත්‍යන්තර නීතිය, යුක්තිය සහ සාමය පිළිබඳ ලෝකය තබාගත යුතු විශ්වාසය කුමක්ද? බලවතාගේ අවශ්‍යතාව අනුව වෙනස් වන ප්‍රතිපත්ති හමුවේ අවසානයේ හෑල්ලුවට ලක්වන්නේ එක් ජනාධිපතිවරයකුගේ ප්‍රතිරූපය පමණක් නොවේ. ලෝකය පාලනය විය යුත්තේ බලයෙන් නොව නීතියෙන්ය යන ශිෂ්ට සම්පන්න මූලධර්මයමය.
LSN Sri Lanka ·

රුසියාවට ආර්ථික සම්බාධක පනවා යුක්රේනයට එරෙහි යුද්ධය සඳහා මොස්කව් වෙත ලැබෙන ආදායම සීමා කිරීම ඇමෙරිකාවේ ප්‍රකාශිත ප්‍රතිපත්තියකි. එහෙත් සිය ඉන්ධන මිල පාලනය කිරීම සඳහා රුසියාවෙන්ම ඩීසල් මිලදී ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. විශේෂත්වය වන්නේ රුසියාවට එරෙහිව ඇමරිකාව පැනවූ සම්බාධක එසේම පැවතීමය. එහෙත් තමන් ලෝකයට එරෙහිව සම්බාධක පැනවූ රටෙන් ට්‍රම්ප් විසින් තෙල් මිල දී ගැනීමට සැලසුම් කිරීමය.

ඊයේ ( ඔක්තෝබර් 9 වැනිදා) රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ඩීසල් ජාත්‍යන්තර වෙළෙඳපොළට සැපයීමේ එකඟතාවක් ප්‍රකාශ කළේය. එහි අපේක්ෂිත මුළු ප්‍රමාණය ටොන් මිලියන 4.8කි. මුලින් ටොන් ලක්ෂ තුනක්, නොවැම්බරයේ තවත් ලක්ෂ පහක් සහ ඉන්පසු ටොන් මිලියනයක් සැපයීමට නියමිත බව ට්‍රම්ප් පැවසීය. රුසියානු පිරිපහදු මධ්‍යස්ථානවල තත්ත්වය අනුව තවත් ටොන් මිලියන තුනක් සැපයීම එම සැලැස්මේ ඉතිරි කොටසයි.

කෙසේ වෙතත්, රුසියාව සැපයුම් සඳහා සූදානම් බව ප්‍රකාශ කළද, ට්‍රම්ප් සඳහන් කළ නිශ්චිත ප්‍රමාණ හා කාලසටහන මොස්කව් පාලනය තහවුරු කර නැත. එබැවින් මෙය දැනට ප්‍රකාශිත සැපයුම් සැලැස්මක් මිස සම්පූර්ණ වූ ගනුදෙනුවක් නොවේ.

සම්බාධක ඉවත් කළාද?

නැත. රුසියාවට එරෙහි සමස්ත සම්බාධක ඉවත් කර නැත. එහෙත් ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඔක්තෝබර් 9 වැනිදා නිකුත් කළ අංක 135 දරන විශේෂ අවසරය මගින් රුසියානු ඩීසල් විකිණීම, ප්‍රවාහනය සහ ඇමෙරිකාවට ආනයනය කිරීම සඳහා 2027 අප්‍රේල් 7 දක්වා තාවකාලික සහනයක් ලබාදී තිබේ.

මෙය වැදගත් ප්‍රතිපත්ති වෙනසකි. 2022 යුක්රේන ආක්‍රමණයෙන් පසු රුසියානු ඉන්ධන ආනයනයට සීමා පැනවූ ඇමෙරිකාව දැන් තම ඉන්ධන අවශ්‍යතාව වෙනුවෙන් එම සීමාවලින් කොටසක් ලිහිල් කර තිබේ. එහෙත් යුරෝපා සංගමය, බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව ක්‍රියාත්මක කරන අනෙකුත් රුසියානු සම්බාධක තවදුරටත් පවතී.

ඇමෙරිකාවට රුසියානු ඩීසල් අවශ්‍ය වූයේ ඇයි?

මෙහි ප්‍රධාන හේතුව ඇමෙරිකාවේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිලය. ඔක්තෝබර් මුල වනවිට එරට ඩීසල් ගැලුමක සාමාන්‍ය මිල ඩොලර් 6.28ක් පමණ විය. වසරකට පෙර එය ඩොලර් 3.68ක් පමණ විය. ඉරානය ආශ්‍රිත යුද ගැටුම්, බලශක්ති සැපයුම්වල බාධා සහ පිරිපහදු ධාරිතාවේ ගැටලු මෙම මිල ඉහළ යාමට බලපා තිබේ.

නොවැම්බර් 3 වැනිදා පැවැත්වෙන ඇමෙරිකානු කොංග්‍රස් මධ්‍යවාර මැතිවරණයට පෙර මෙම තත්ත්වය ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට දේශපාලන අභියෝගයකි. ඩීසල් මිල ඉහළ යාම ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය සහ භාණ්ඩ මිල කෙරෙහි සෘජුව බලපායි. එබැවින් රුසියානු සැපයුම් යළි වෙළෙඳපොළට එක්කර මිල පහත දැමීම ට්‍රම්ප්ගේ ක්ෂණික අරමුණ වී තිබේ. නමුත් අතිරේක සැපයුමෙන් මිල සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවට සහතිකයක් නැත.

සෙලෙන්ස්කිගේ විරෝධයේ පදනම

යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මෙම තීරණය හැඳින්වූයේ අවසන් කළ යුතු යුද්ධයකට කරන ආයෝජනයක් ලෙසය. රුසියානු ඉන්ධන අපනයනයට ඉඩදීමෙන් මොස්කව් වෙත අතිරේක ආදායමක් ලැබෙන අතර එය යුද්ධය පවත්වාගෙන යාමට උපකාරී වන බව ඔහුගේ තර්කයයි.

මෙම තීරණය ප්‍රකාශයට පත් වූයේ යුක්රේන සහ බටහිර නියෝජිතයන් ඇමෙරිකාවේදී සාම සාකච්ඡා පවත්වමින් සිටියදීය. බලශක්ති මධ්‍යස්ථානවලට එල්ල කරන ප්‍රහාර අන්‍යෝන්‍ය වශයෙන් නතර කිරීමේ පුළුල් එකඟතාවක කොටසක් ලෙස සම්බාධක ලිහිල් කළේ නම් තමන් ඊට සහාය දැක්වීමට ඉඩ තිබූ බවද සෙලෙන්ස්කි පැවසීය. එහෙත් මෙවර එවැනි එකඟතාවක් තහවුරු වී නැත.

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියේ පරස්පරය

මෙහි ඇති බරපතළම දේශපාලන ගැටලුව වන්නේ රුසියානු ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකාව අනුගමනය කරන වෙනස් ප්‍රවේශයන්ය.

2025 දී ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම හේතුවක් කරගනිමින් ට්‍රම්ප් පාලනය ඉන්දීය භාණ්ඩවලට අතිරේක සියයට 25ක තීරුබද්දක් පැනවීය. එහි ප්‍රකාශිත තර්කය වූයේ රුසියානු තෙල් ආදායම යුක්රේන යුද්ධයට සහාය වන බවය. දැන් ඇමෙරිකාවම රුසියානු ඩීසල් සඳහා වෙළෙඳපොළ විවෘත කර තිබේ.

මෙය සාමාන්‍ය වෙළෙඳ තීරණයකට වඩා ජාත්‍යන්තර ප්‍රතිපත්තියේ විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයකි. අනෙක් රටක් රුසියානු තෙල් මිලදී ගැනීම යුද්ධයට සහාය දීමක් නම්, ඇමෙරිකාවේ අවශ්‍යතාව වෙනුවෙන් එම ඉන්ධන මිලදී ගැනීම වෙනස් ලෙස සැලකිය හැකිද?

අවසානයේ මතු වන ප්‍රශ්නය

රුසියානු ඉන්ධන සම්බාධක සම්පූර්ණයෙන් අවසන් වී නැත. එහෙත් ට්‍රම්ප්ගේ අලුත් තීරණය එම සම්බාධකවල දේශපාලන හා සදාචාරාත්මක පදනම දුර්වල කර තිබේ.

සම්බාධක පැනවීමේ අරමුණ රුසියාවේ යුද ආදායම සීමා කිරීම නම්, රුසියාවට යළි ආදායම් මාර්ග විවෘත කිරීමේ ප්‍රතිඵලය පැහැදිලි කළ යුතුය. ඇමෙරිකාවේ ඉන්ධන මිල පහත දැමීම සාධාරණ ආර්ථික අවශ්‍යතාවක් විය හැකිය. එහෙත් ඒ වෙනුවෙන් වෙනත් රටවලට පනවන සීමා තමන්ට අවශ්‍ය විට ලිහිල් කිරීම ජාත්‍යන්තර නීති හා ප්‍රතිපත්ති සමානව ක්‍රියාත්මක වන්නේද යන ප්‍රශ්නය මතු කරයි.

ලෝකයේ බලවත්ම රාජ්‍යයේ නායකයා ලෝකය ඉදිරියේ තබන මේ දේශපාලන පරස්පරය හාස්‍යජනක වන්නේ එහි ප්‍රතිඵල එතරම්ම බරපතළ නිසාය. නොබෙල් සාම ත්‍යාගය තමන්ට නොලැබීම ගැන ප්‍රසිද්ධියේ විරෝධය පළ කරන ඩොනල්ඩ් ට්‍රම්ප්, ජාත්‍යන්තර යුක්තිය ඉටුකිරීමට පිහිටුවා ඇති අපරාධ අධිකරණයට සම්බාධක පනවන්නේය. රුසියාවේ යුද ආදායම සීමා කිරීමට සම්බාධක පනවන ඇමෙරිකාව, තම රටේ ඉන්ධන මිල ඉහළ යනවිට එම රුසියාවෙන්ම ඩීසල් ලබාගැනීමට සම්බාධක ලිහිල් කරන්නේය. සාමය වෙනුවෙන් පිළිගැනීම අපේක්ෂා කරන අතරම ජාත්‍යන්තර අධිකරණයක ක්‍රියාකාරිත්වයට බාධා කිරීමත්, යුද්ධයක් නතර කිරීමට යැයි ආර්ථික පීඩනයක් එල්ල කරන අතරම එම යුද්ධයේ පාර්ශ්වයකට අලුත් ආදායම් මාර්ග විවෘත කිරීමත් එකම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියක් තුළ සාධාරණීකරණය කරන්නේ කෙසේද? මෙහි ඇති උත්ප්‍රාසය එයයි.

එහෙත් ලෝකය හමුවේ ඇති සැබෑ ප්‍රශ්නය ඊටත් වඩා ගැඹුරුය. ලෝකයට නීති පනවන බලවතාට තම අවශ්‍යතාව මතු වූ සැණින් ඒ නීතිවලින් නිදහස් විය හැකි නම්, ජාත්‍යන්තර නීතිය, යුක්තිය සහ සාමය පිළිබඳ ලෝකය තබාගත යුතු විශ්වාසය කුමක්ද? බලවතාගේ අවශ්‍යතාව අනුව වෙනස් වන ප්‍රතිපත්ති හමුවේ අවසානයේ හෑල්ලුවට ලක්වන්නේ එක් ජනාධිපතිවරයකුගේ ප්‍රතිරූපය පමණක් නොවේ. ලෝකය පාලනය විය යුත්තේ බලයෙන් නොව නීතියෙන්ය යන ශිෂ්ට සම්පන්න මූලධර්මයමය.