බන්ධනාගාරගත භික්ෂූන්ට නිකායේ අනුමැතිය පිට චීවරය ඇන්දවීම - ඉදිරි සති දෙක තුළදී රෙගුලාසි සම්මත කරන බව රජය දැනුම් දෙයි!
ශාසනික වශයෙන් ඉතා සංවේදී වූ මෙම ගැටලුව කෙරෙහි කඩිනමින් අවධානය යොමු කරමින්, නීතිමය හා ප්‍රායෝගික විසඳුම් ලබා දීමට ජනාධිපතිතුමන් සහ රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ගය මහා සංඝරත්නයේ ඇගයීමට හා ප්‍රශංසාවට ලක්විය.
LSN Sri Lanka ·

බන්ධනාගාරගත භික්ෂූන් බන්ධනාගාරයෙන් පිටතට ගෙන ඒමේ දී නිකායේ අනුමැතිය ඇතිව චීවරය ඇන්දවීම සඳහා වූ රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට අපේක්ෂා කෙරෙන බව රජය ප්‍රකාශ කරයි. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ ඉන් අනතුරුව භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත චීවරය සහිතව බැහැරට ගෙනයාමට කටයුතු කෙරෙනු ඇති බවය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිදුවීම පාදක කරගනිමින්, සිරගත වන භික්ෂූන් වහන්සේ බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන ඒමේදී දැනට අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් මහනායක මාහිමිපාණන් වහන්සේලා විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කිරීමෙන් පසු ඒ හා සබැඳි ශාසනික හා සමාජීය කරුණු පිළිබඳව ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ නියෝජිත හිමිවරුන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 08වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී වර්තමාන බන්ධනාගාර පද්ධතිය පාලනය වන 1877 බන්ධනාගාර ආඥා පනත සහ එහි රෙගුලාසි තුළ භික්ෂූන් වහන්සේලා උදෙසා වෙනම විශේෂ රෙගුලාසි සකස් වී නොමැති බවත්, පවතින නීති රාමුව තුළ නිලධාරීන් ක්‍රියා කර ඇති බවත් ජනාධිපතිතුමන් විසින් පැහැදිලි කරන ලදී. පවතින නීතිය අභිභවා තනි තනි පුද්ගලයන් උදෙසා නියෝග දීමට තමන් සූදානම් නොමැති බවත්, සිදු කළ යුතුව ඇත්තේ නීතිය වර්තමානයට අනුරූප වන පරිදි සංශෝධනය කිරීම බවත් ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කරන ලදී.

මෙහිදී මහා සංඝරත්නය වෙනුවෙන් අනුනායක හිමිවරුන් සහ ලේඛකාධිකාරී හිමිවරුන් විසින් පෙන්වා දෙනු ලැබුවේ, භික්ෂූන් වහන්සේ නමකට මෙවැනි තත්ත්වයක් උදාවීම සමස්ත මහා සංඝරත්නයටම සහ සමාජයට ඉතා සංවේදී කරුණක් බවය. ඒ අනුව, යම් භික්ෂූන් වහන්සේ නමක් අධිකරණයකින් වරදකරු වී වසර 03කට අධික කාලයකට සිරගත කෙරෙන අවස්ථාවලදී, උන්වහන්සේ අයත් වන නිකායට හෝ පාර්ශ්වයට ඒ පිළිබඳ දැනුම් දී, එම නිකායේ හෝ පාර්ශ්වයේ අදහස් මත උන්වහන්සේලා විවෘතව බැහැරට රැගෙන යාමට අදාළ වන පරිදි රෙගුලාසි සකස් කිරීම සුදුසු බව මහා සංඝරත්නය විසින් යෝජනා කරන ලදී. එමගින් මෙම සහනය අවභාවිත කිරීමට කිසිවෙකුට ඉඩක් නොලැබෙන බවද උන්වහන්සේලා පෙන්වා දුන්හ.

ජනාධිපතිවරයා මෙහිදී අදහස් දක්වමින් පෙර දිනයේ වැඳ නමස්කාර කළ හාමුදුරුවන් වහන්සේ නමක් අද වෙනස් ආකාරයකින් දැකීමට සිදුවීම බෞද්ධ ජනතාවට සහ මහා සංඝරත්නයට දැඩි කම්පනයක් සහ විමතියක් ඇති කරවන බව තමන් පිළිගන්නා බවය.

කෙසේ වුවද මෙතෙක් සිදු වූ ක්‍රියාදාමය මෙය බවත් නීති යනු සදාකාලික එකම තැන පවතින උත්තර් ඓතිහාසික දේ නොවන බවත් නීති නිරන්තර සංශෝධනය වන බවත් ඔහු පෙන්වා දුන්නේය. එසේ නොමැතිව, නීති එසේම තිබියදී වෙනස් නියෝග ලබා දීමට තමන් සූදානම් නොවන බවත් එසේ වූ විට නීතිය පසෙකට වී එය තමන්ගේ නීතිය වන බවත් තමන්ගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතු බවට තමන් අදහස් කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, යළි කිසිදු භික්ෂූන්වහන්සේ නමක් මෙවන් තත්වයකට පත් නොවිය යුතු බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කිරීම සිදු කළ යුතු බවයි. මේ සම්බන්ධව මහා නායක හිමිවරුන් විසින් කරන ලද යෝජනාව අනුව, විනිවිදභාවයක් ඇති වන බව පිළිගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එය ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය නීතිමය රෙගුලාසි සකස් කරන ලෙසත් සති දෙකක කාලය තුළ එම කටයුත්ත අවසන් කරන ලෙසත් අධිකරණ අමාත්‍යවරයා වෙත උපදෙස් ලබා දෙන ලදී.

ශාසනික වශයෙන් ඉතා සංවේදී වූ මෙම ගැටලුව කෙරෙහි කඩිනමින් අවධානය යොමු කරමින්, නීතිමය හා ප්‍රායෝගික විසඳුම් ලබා දීමට ජනාධිපතිතුමන් සහ රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ගය මහා සංඝරත්නයේ ඇගයීමට හා ප්‍රශංසාවට ලක්විය.

ජනාධිපතිතුමන් සහ මහා සංඝරත්නය අතර සාකච්ඡාවේදී එළඹුණු අදහස පරිදි, මෙම සංවේදී ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් අධ්‍යයනය කර බන්ධනාගාර ආඥා පනත යටතේ වන රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පසුගිය 08වැනි දිනම සාමාජිකයන් 05 දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කරන ලදී.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීරගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක ඇතුළත් වෙති.

මෙම විශේෂ කමිටුවේ පළමු රැස්වීම එහි සභාපති සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධිරගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ ලබා දීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් සිදු කරන ලදී.

එම කමිටුව සති දෙකක් ඇතුළත අදාළ අධ්‍යයනය සිදු කර නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත අතර, එම සංශෝධනවල භික්ෂූන් වහන්සේට අදාළ යෝජනා, අදහස් ලබා ගැනීම සඳහා එලඹෙන සතියේ මැද වන විට මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට අපේක්ෂා කෙරෙන අතර ඒ අනුව එතැන් සිට භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත චීවරය සහිතව බැහැරට ගෙනයාමට කටයුතු කෙරෙනු ඇත.