LSN News › Sri Lanka

වත්මන් වැඩසටහනෙන් පසුවත් ශ්‍රී ලංකාවට සහාය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම්...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ මෙම නවතම ප්‍රකාශය, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුද ගමන හමුවේ ආයෝජකයින්ට සහ සංවර්ධන පාර්ශ්වකරුවන්ට තවදුරටත් දැඩි විශ්වාසයක් ලබා දීමට හේතු වනු ඇත.

LSN Sri Lanka · 15 October 2026

වත්මන් වැඩසටහනෙන් පසුවත් ශ්‍රී ලංකාවට සහාය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම්...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් දැනට ක්‍රියාත්මක වන විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන අවසන් වූ පසුව ද ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට ඇති සූදානම නැවත වරක් තහවුරු කර තිබේ. රට තවදුරටත් ආර්ථික වශයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින පසුබිමක, ඉදිරියටත් විවිධ මාර්ග ඔස්සේ සහාය දැක්වීමේ විකල්ප ගණනාවක් විවෘතව පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සොනාලි ජෛන්-චන්ද්‍ර සඳහන් කළේ, ඉදිරියේදී ශ්‍රී ලංකාව සුදුසු යැයි සලකන ඕනෑම ආකාරයකින් රටට සහාය වීමට තම අරමුදල කැපවී සිටින බවයි.

අනාගතයේදී සිදුවන සම්බන්ධතාවයන්හි ස්වභාවය ශ්‍රී ලංකා බලධාරීන්ගේ කැමැත්ත සහ තේරීම මත පදනම් වන බව පෙන්වා දුන් ඇය, නව මූල්‍ය සැකසුමක සිට ප්‍රතිපත්තිමය උපදෙස් ලබා දීම, නිරීක්ෂණ සහාය දැක්වීම මෙන්ම ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම දක්වා වූ විකල්ප රැසක් ඊට ඇතුළත් බව පැහැදිලි කළාය.

ඉදිරි සහයෝගිතාවන් පිළිබඳ සාකච්ඡා සුදුසු වේලාවට පැවැත්වෙන බවත්, සහාය ලබා දෙන ආකාරය කුමක් වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විශ්වාසනීය සහකරුවෙකු ලෙස ඉදිරියටත් රැඳී සිටින බවත් සොනාලි ජෛන්-චන්ද්‍ර වැඩිදුරටත් අවධාරණය කළාය.

ලබන වසරේ මාර්තු මාසයේදී අවසන් වීමට නියමිත වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ අවසාන අදියරට ශ්‍රී ලංකාව පිවිස සිටින මොහොතක ඇයගේ මෙම ප්‍රකාශය නිකුත් වී තිබේ.

අනාගත සහයෝගිතාව පිළිබඳව අවධානය යොමු කරන අතරම, පවතින වැඩසටහන යටතේ තවදුරටත් වැදගත් කාර්යභාරයන් කිහිපයක් ඉටු කිරීමට ඇති බවද ඇය පෙන්වා දුන්නාය. ඒ අනුව, ඔක්තෝබර් මුල් භාගයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර එළඹුණු වැඩසටහනේ හත්වන සමාලෝචනයට අදාළ නියෝජිත මට්ටමේ එකඟතාව (Staff-Level Agreement) ඉදිරි සති කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අවධානයට යොමු කිරීමට නියමිතව ඇත.

මීට අමතරව, වත්මන් වැඩසටහන අවසන් වීමට පෙර තවත් සමාලෝචන දූත මෙහෙයුමක් පැවැත්වෙන අතර, එම නිසා සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ නොකඩවා ඉදිරියට ගෙනයාම කෙරෙහි ශ්‍රී ලංකාව දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බව ඇය පැවසුවාය.

මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ අත්කර ගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය ද ඇයගේ ඇගයීමට ලක් විය. දැඩි ආර්ථික අර්බුදයක් පැවැති සමයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වය මේ වන විට විශාල ලෙස යහපත් අතට හැරී ඇති බව ඇය සඳහන් කළාය.

විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය ඉතා යහපත් මට්ටමක පවතින බවත්, ප්‍රතිසංස්කරණ කාලසීමාව තුළ රජයේ ආදායම දෙගුණයකින් වර්ධනය වී ඇති අතර ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු ද මේ වන විට බොහෝ දුරට අවසන් වී ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.

එමෙන්ම, ආර්ථික අර්බුදය හමුවේ සිදු වූ දැඩි පසුබැසීමෙන් පසුව ශ්‍රී ලංකාව කාර්තු 11ක් තිස්සේ අඛන්ඩ ධනාත්මක ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට සමත් වී ඇති බව ද ජෛන්-චන්ද්‍ර සඳහන් කළාය.

ප්‍රධාන ආර්ථික දර්ශකවල වර්ධනයට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ප්‍රධානංගයක් වූ යහපාලනය සම්බන්ධ ක්‍රියාමාර්ග ඇතුළු වැදගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගණනාවක් රට තුළ ක්‍රියාත්මක කර ඇති බව ද ඇය නිරීක්ෂණය කළාය.

මෙම ජයග්‍රහණ මගින් පෙන්නුම් කරන්නේ ප්‍රතිසංස්කරණ වැඩසටහන මගින් සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇති බවයි. එමෙන්ම ලබාගත් ජයග්‍රහණ තවදුරටත් තහවුරු කරගනිමින්, පසුගිය වසර කිහිපය තුළ ලැබූ ප්‍රගතිය තිරසාර ලෙස ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම ද ඇය පෙන්වා දුන්නාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ මෙම නවතම ප්‍රකාශය, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුද ගමන හමුවේ ආයෝජකයින්ට සහ සංවර්ධන පාර්ශ්වකරුවන්ට තවදුරටත් දැඩි විශ්වාසයක් ලබා දීමට හේතු වනු ඇත.