කාවන්තිස්සට ප්රතිකාර කරන්න තායිලන්ත වෛද්ය කණ්ඩායමක් ගෙන්වීමට රජයෙන් අනුමැතිය... දැන් ඔහු රටේම පශු වෛද්යවරුන්ගේ සත්කාරය යටතේ...
‘කාවන්තිස්ස’ දළ ඇතාට ප්රතිකාර කිරීම සඳහා තායිලන්තයෙන් විශේෂඥ පශු වෛද්ය කණ්ඩායමක් ශ්රී ලංකාවට ගෙන්වා ගැනීමට පරිසර අමාත්යාංශය අනුමැතිය ලබා දී තිබේ.
LSN Sri Lanka ·

අතිශය අසාධ්ය තත්ත්වයෙන් පසුවන, ශ්රී ලංකාවේ ප්රමුඛතම වන අලියෙකු වන ‘කාවන්තිස්ස’ දළ ඇතාට ප්රතිකාර කිරීම සඳහා තායිලන්තයෙන් විශේෂඥ පශු වෛද්ය කණ්ඩායමක් ශ්රී ලංකාවට ගෙන්වා ගැනීමට පරිසර අමාත්යාංශය අනුමැතිය ලබා දී තිබේ.

මේ වනවිට සියලුම වනජීවී පශු වෛද්ය නිලධාරීන්, පේරාදෙණිය විශ්වවිද්යාලයේ පශු වෛද්ය පීඨයේ මහාචාර්යවරුන්, සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ ඇතුළු පශු වෛද්ය ක්ෂේත්රයේ විද්වතුන් රැසකගේ සෘජු අධීක්ෂණය යටතේ අඛණ්ඩව කාවන්තිස්ස හස්ථියාට ප්රතිකාර සපයන බව වනජීවී දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

එසේම අද (ඔක්තෝබර් 16) උදෑසන කාලයේදී ද ඇතාගේ රුධිර සාම්පල නැවත ලබාගෙන රසායනාගාර පරීක්ෂාවලට යොමු කරමින් සුදුසු ප්රතිකාර ලබා දීමට කටයුතු කර ඇති බව ද එහි අවධාරණය කර තිබේ.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම්.එස්.එල්.ආර්. පී. මාරසිංහ විසින් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.
වනජීවී ලෝලීන් විසින් කාවන්තිස්ස යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ, සියඹලන්ගමුව ප්රදේශයේ සැරිසරන ලද දළ ඇතාට බඳින තුවක්කු කඳකින් වෙඩි වැදී ඇති බවට පසුගිය සැප්තැම්බර් මස 23 වැනි දින වනජීවී නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් විය.

ඒ අනුව, වහාම ක්රියාත්මක වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිකවැරටිය පශු වෛද්ය කාර්යාලයේ පශු වෛද්යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සැප්තැම්බර් 24 වැනි දින ඇතා සුව කිරීමට අවශ්ය ප්රතිකාර කිරීම ආරම්භ කරන ලදී.

එහිදී ඇතාට තවදුරටත් ලබා දිය යුතු ප්රතිකාර සම්බන්ධයෙන් වනජීවී පශු වෛද්ය කණ්ඩායම විසින් සාකච්ඡා පවත්වන ලද අතර, ප්රතිකාර සැලසුම් කරමින් ඇතුට වෛද්ය අධීක්ෂණයට යටත්ව ප්රතිජීවක ඖෂධ ලබා දීම සිදු කරන ලදී. ප්රතිකාර ලබාදීමේදී ඇතු නිද්රාවට පත් කරන ලද අතර, එහිදී ඇතුගේ රුධිර සාම්පල රැගෙන රසායනාගාර පරීක්ෂාවට ලක් කරන ලදී.

ඉන් අනතුරුව, දිගින් දිගටම දින 04ක් දක්වා ඇතුට නොකඩවා නිසි පරිදි ප්රතිකාර ලබාදීමට පශු වෛද්ය මණ්ඩලය විසින් කටයුතු කළ අතර, එම ප්රතිකාර වලින් ඇතුගේ රෝගී තත්ත්වය සුව අතට හැරෙන්නට පටන් ගන්නා ලදී. ඇතා සුපුරුදු පරිදි ඔහුගේ ගමන් විලාසය ආරම්භ කරමින් සියඹලන්ගමුව ප්රදේශයේ සිට තඹුත්තේගම ප්රදේශය දක්වා පැමිණ ඇති බවට වනජීවී නිලධාරීන් විසින් නිරීක්ෂණය කරන ලදී.

ඇතා මඳ සමය ගත කරනු ලබන කාලය උදා වී තිබූ බැවින්, ඇතුට සමීප වීමත් ප්රතිකාර කිරීමත් යන දෙඅංශයෙන්ම පශු වෛද්ය කණ්ඩායමට හා වනජීවී නිලධාරීන්ට මහත් අභියෝගයක් විය. කෙසේ වෙතත්, ඇතා පිළිබඳ නිරන්තර සෝදිසි සහ අවධානය යොමු කරමින් ප්රතිකාර කරනු ලබන කණ්ඩායම් කටයුතු කළ අතර, පසුගිය ඔක්තෝබර් 06 සහ 07 වන දිනයන්හිදී නිරීක්ෂණය කරන ලද කරුණ වූයේ නැවතත් ඇතාට රෝගී තත්ත්වයක් මතු වෙමින් පවතින බවය.

එහිදී වෛද්ය කණ්ඩායම් විසින් ඇතුගේ වසුරු ලබා ගෙන සිදු කළ පරීක්ෂණ වලින් අනාවරණය කර ගත්තේ ඇතුට පාචන තත්ත්වයක් ඇති වී තිබෙන බව සහ ඒ සමගම ඇතු ආහාර ගැනීම ප්රතික්ෂේප කරන තත්ත්වයක් ද නිරීක්ෂණය වන්නට විය.

මෙනිසා, දිවයිනේ ප්රධාන විශේෂඥ පශු වෛද්යවරුන් ද සම්බන්ධ කර ගනිමින් වනජීවී පශු වෛද්ය කණ්ඩායම නැවත ඇතුට අවශ්ය කරන ප්රතිකාර නොඅඩුව ලබා දීමේ කටයුතු ආරම්භ කරන ලදී. මෙසේ ප්රතිකාර ලබමින් සිටින අතරතුර, ඇතාගේ සියලු චර්යාවන් අවිච්ඡින්නව නිරීක්ෂණය කරනු ලැබූ අතර, ඇතා දිවා කාලයේ දියෙහි බැස සිටින්නට වූ අතර, රාත්රී කාලයේදී ගොඩබිම තරමක ඇවිදීමක් සිදු කරනු ලබන බවත් දක්නට ලැබුණි.

ඇතා විසින් ආහාර ලබා ගැනීම අවම මට්ටමක පැවතුණ බැවින්, ඇතාගේ ශරීර සෞඛ්ය තත්ත්වය ඉතා දුර්වලව තිබෙන බව පශු වෛද්යවරුන්ගේ මතය වී තිබේ.
මේ වන විට සියලුම වනජීවී පශු වෛද්ය නිලධාරීන් ද, පේරාදෙණිය විශ්ව විද්යාලයේ පශු වෛද්ය පීඨයෙහි මහාචාර්යවරුන්ද, සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ ද ඇතුළු පශු වෛද්ය ක්ෂේත්රයේ විද්වතුන්ද සම්බන්ධ කර ගනිමින් ඇතාට අවශ්ය සියලුම ප්රතිකාර අඛණ්ඩව ඔවුන්ගේ අධීක්ෂණයට යටත්ව ලබා දෙමින් පවතී.

තවදුරටත්, ඔක්තෝබර් 16 වන අද දින උදෑසන කාලයේදී ඇතාගේ රුධිර සාම්පල නැවත ලබා ගෙන රසායනාගාර පරීක්ෂාවට යොමු කරන ලද අතර, ඒ අනුව වෛද්ය මණ්ඩලය විසින් සුදුසු ප්රතිකාර සිදු කරමින් පවතී.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇතා සුව කිරීමට අවශ්ය කරනු ලබන සියලුම ක්රියාමාර්ග සඳහා මේ වන විට අවතීර්ණ වී ඇති බැවින්, රෝගී වූ ඇතා තුළ ඇතිවිය හැකි මානසික ආතතිය වැළැක්වීම සඳහා ඇතු නැරඹීමට යාම, ඇතා ඡායාරූප ගත කිරීමට උත්සාහ කිරීම, ඩ්රෝන කැමරා යොදා ගනිමින් වීඩියෝ කිරීම වැනි ක්රියාවන්ගෙන් වළකින ලෙසත්, පශු වෛද්ය කණ්ඩායම් ඇතුළු විශේෂඥ විද්වත් කණ්ඩායම් වලට ස්වකීය කටයුතු ඉටු කිරීමට බාධාවන් සිදු කිරීමෙන් වළකින ලෙසත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහජනතාවගෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනු ලැබේ.