LSN News › Sri Lanka

මුළු රටම අඳුරට වැටුණේ ඇයි? ජාතික විදුලිබල පද්ධතිය බිඳවැටීමේ ඇත්ත කතාව සහ තවමත් පිළිතුරු නැති ප්‍රශ්න!

විදුලිය සැපයුම යාවත්කාලීන කළ ඇතැම් ප්‍රදේශවල යළිත් විදුලිය විසන්ධි වී ඇත. ඒ සමගම අර්බුදයත් යාවත්කාලීන වෙමින් තිබේ. අද සිදුවූයේ හුදු විදුලිය බිඳ වැටීමකට එහා ගිය ජාතික කම්පනයකි. දුරකථන සංඥා ඇතැම් ප්‍රදේශවල බිඳ වැටුණේය. ජල සැපයුම බිඳ වැටුණේය. රටේ ඒකාත්මික පැවැත්ම විසිරී ගියේය. අවසානයේ ජාතියක සුරක්ෂිත භාවය පිළිබඳ ප්‍රශ්නය මතුව ආවේය. එසේ වන්නේ රට ක්‍රියාත්මක තීරණාත්මක දේශපාලන තීන්දු ගණනාවක් සමාජය දකිමින් සිටියදී ය.

LSN Sri Lanka · 17 October 2026

මුළු රටම අඳුරට වැටුණේ ඇයි? ජාතික විදුලිබල පද්ධතිය බිඳවැටීමේ ඇත්ත කතාව සහ තවමත් පිළිතුරු නැති ප්‍රශ්න!

රටේම විදුලිය විසන්ධි විය. නැවත විදුලිය පැමිණියේ පස්වරුවේය. මේ ලියන මොහොත වනවිට විදුලිය පැමිණි ඇතැම් ප්‍රදේශවල යළිත් විදුලි විසන්ධිවීමකි. මේ සටහන තබන්නේ අඳුරේ යන්තමින් ආරෝපණය කරගත් පරිගණකයේ ඉතිරි වී ඇති බලයෙනි.

අද විදුලිය බිඳ වැටීම රටට බරපතල ලෙස දැනුනේය. ඇතැම් ප්‍රදේශවල අන්තර්ජාල හා දුරකථන සන්නිවේදන සේවාවලට ද බාධා ඇති විය. ජල සැපයුමටත් බලපෑම් එල්ල විය. එහෙත් මේ සියල්ලට මුල් වූ නිශ්චිත තාක්ෂණික දෝෂය කුමක්දැයි සවස වනවිටත් නිල වශයෙන් තහවුරු වී නොතිබිණි.

අද (17) පෙරවරු 11.45ට පමණ ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවැටුණේය. මෙය ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වීමක් නොව, රටේ විදුලි ජනනය සහ සම්ප්‍රේෂණය එකිනෙකට සම්බන්ධ කරන සමස්ත ජාතික පද්ධතියේ ක්‍රියාකාරිත්වය බිඳවැටීමකි.

ජාතික විදුලිබල පද්ධති ක්‍රියාකරු (National System Operator – NSO) තහවුරු කළේ විදුලි පද්ධතියේ ඇති වූ අස්ථාවරත්වයක් හේතුවෙන් සමස්ත පද්ධතියම බිඳවැටුණු බවය. එහෙත් එම අස්ථාවරත්වය මුලින්ම ඇති කළ සිද්ධිය කුමක්ද යන්න එම ප්‍රකාශයෙන් පැහැදිලි නොවීය.

මෙම සිදුවීම පිළිබඳ ප්‍රධාන සැකය යොමු වී ඇත්තේ ඉහළ කොත්මලේ විදුලි බලාගාරයේ පෙර දිනයේ ඇති වූ තාක්ෂණික ගැටලුවකට සහ ජාතික පද්ධතිය තුළ සූර්ය විදුලි ජනනය හා ඉල්ලුම අතර ඇති විය හැකි අසමතුලිතතාවකටය. එහෙත් මේ කිසිවක් මෙතෙක් අවසන් විමර්ශන නිගමනයක් නොවේ.

ඉහළ කොත්මලේ සිදුවූයේ කුමක්ද?

බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අද ප්‍රකාශ කළේ ඔක්තෝබර් 16 වැනිදා කොත්මලේ ප්‍රදේශයේ විදුලි බලාගාරයක ඇති වූ ගැටලුවක් හේතුවෙන් එහි ජනන ඒකකයක් ක්‍රියාවිරහිත වූ බවය.

එම සිදුවීම අද ජාතික විදුලිබල පද්ධතියේ අස්ථාවරත්වයට හේතු වූයේද, නැතහොත් වෙනත් තාක්ෂණික සාධකයක් ඊට බලපෑවේද යන්න විමර්ශනය කරන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ඒ අනුව, ඉහළ කොත්මලේ බලාගාරයේ දෝෂය ජාතික විදුලි බිඳවැටීමට හේතු වූ බව මේ මොහොතේ නිශ්චිතව ප්‍රකාශ කිරීම නිවැරදි නොවේ.

නොරොච්චෝලේ ඇතුළු බලාගාර සියල්ලම කැඩුණාද?

මෙහිදී වඩාත් වැදගත් වන්නේ ජාතික පද්ධති ක්‍රියාකරු සවස නිකුත් කළ පැහැදිලි කිරීමය.

විදුලි බිඳවැටීමෙන් පසු බලාගාර රැසක් අක්‍රිය වූ බවට මුලින් වාර්තා පළ විය. එහෙත් පස්වරු 3.46ට පමණ ප්‍රසිද්ධ වූ පද්ධති ක්‍රියාකරුගේ යාවත්කාලීන තොරතුරු අනුව, බලාගාර රැසක තාක්ෂණික බිඳවැටීම් සිදුවූ බවට පළ වූ වාර්තා නිවැරදි නොවේ.

එම ආයතනය පැහැදිලි කළේ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය සම්මත ආරක්ෂක ක්‍රියාපටිපාටිය අනුව නතර කළ බවත්, සිදුවීමට පෙර ක්‍රියාත්මකව පැවති ජලවිදුලි බලාගාර පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා භාවිත කරන බවත්ය.

මෙහි වැදගත් තාක්ෂණික වෙනසක් තිබේ. බලාගාරයක් කැඩී යාම සහ ජාතික විදුලි පද්ධතිය බිඳවැටීම නිසා එහි ජනන ඒකක ආරක්ෂක පද්ධති මඟින් නතර වීම එකම දෙයක් නොවේ.

විදුලි පද්ධතියේ සංඛ්‍යාතය හෝ වෝල්ටීයතාව ආරක්ෂිත සීමාවෙන් පිටතට ගිය විට, විශාල ජනන යන්ත්‍රවලට හානි වීම වැළැක්වීමට ඒවා ස්වයංක්‍රීයව විසන්ධි විය හැකිය.

එබැවින් නොරොච්චෝලේ බලාගාරය නතර වීම මුල් හේතුවක්ද, නැතහොත් ජාතික පද්ධතිය බිඳවැටීමේ ප්‍රතිඵලයක්ද යන්න වෙන් කර හඳුනාගත යුතුය. දැනට පද්ධති ක්‍රියාකරුගේ පැහැදිලි කිරීමෙන් තහවුරු වන්නේ එය ආරක්ෂක ක්‍රියාපටිපාටියකට අනුව නතර වූ බවය.

සූර්ය විදුලිය නිසා මුළු රටේම විදුලිය බිඳවැටුණාද?

අද සිදුවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වූ තවත් කරුණක් වන්නේ වහල මත සවි කළ සූර්ය විදුලි පද්ධති ක්‍රියාවිරහිත කරන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු කළ ඉල්ලීමය.

මෙම ඉල්ලීම නිසා විදුලි බිඳවැටීමට සූර්ය විදුලිය හේතු වූ බවට අදහසක් ඇති විය. එහෙත් එය තහවුරු කළ නිගමනයක් නොවේ.

සූර්ය විදුලි ජනනය සහ විදුලි ඉල්ලුම අතර අසමතුලිතතාවක් ඇති වී තිබිය හැකි බවට නිලධාරීන් සැක කරන බව ජාත්‍යන්තර පුවත් සේවා ද වාර්තා කළේය. ඒ සමඟ ශ්‍රී ලංකාවේ ස්ථාපිත සූර්ය විදුලි ජනන ධාරිතාව මෙගාවොට් 3,000 ඉක්මවන බවත්, සාමාන්‍ය දිවා කාලයේ විදුලි ඉල්ලුම මෙගාවොට් 2,000ත් 2,500ත් අතර පවතින බවත් වාර්තා විය.

එහෙත් මෙහි ඉතා වැදගත් වෙනසක් තිබේ. ස්ථාපිත සූර්ය විදුලි ධාරිතාව මෙගාවොට් 3,000ක් වූ පමණින් එම මොහොතේ මෙගාවොට් 3,000ක් නිපදවූ බව අදහස් නොවේ. එමෙන්ම එම විදුලිය සියල්ලම ජාතික ජාලයට ඇතුළු වූ බව ද ඉන් අදහස් නොවේ.

අද පෙරවරු 11.45ට ජාතික පද්ධතියට ඇතුළු වූ සැබෑ සූර්ය විදුලි ප්‍රමාණය, සමස්ත විදුලි ඉල්ලුම සහ ක්‍රියාත්මකව තිබූ අනෙකුත් ජනන ඒකක පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත නොමැතිව සූර්ය විදුලියට වගකීම පැවරිය නොහැකිය.

එක් බලාගාරයක දෝෂයකින් මුළු රටම අඳුරට වැටෙන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතිය ක්‍රියාත්මක වන්නේ විදුලි ජනනය සහ පරිභෝජනය සෑම මොහොතකම සමතුලිතව පවත්වාගෙන යාමේ මූලධර්මය මතය.

විදුලි බලාගාර නිපදවන විදුලිය ජාතික සම්ප්‍රේෂණ ජාලය හරහා රට පුරා බෙදා හැරේ. එහි සාමාන්‍ය සංඛ්‍යාතය හර්ට්ස් 50කි.

විශාල බලාගාරයක් හදිසියේ ක්‍රියාවිරහිත වුවහොත් ජනනය අඩු වී සංඛ්‍යාතය පහළ යා හැකිය. අනෙක් අතට, විදුලි ඉල්ලුමට සාපේක්ෂව ජනනය අධික වුවහොත් සංඛ්‍යාතය ඉහළ යා හැකිය.

එවැනි වෙනස්කම් පාලනය කිරීමට ස්වයංක්‍රීය ආරක්ෂක පද්ධති තිබේ. ඒවා මඟින් ඇතැම් ජනන ඒකක හෝ විදුලි සැපයුම් කොටස් විසන්ධි කෙරේ.

එහෙත් එක් දෝෂයක් තවත් දෝෂයකට මඟ පාදමින් පද්ධතියේ සමතුලිතතාව පවත්වාගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වුවහොත්, සමස්ත ජාතික ජාලයම බිඳවැටිය හැකිය. මෙය දාමික පද්ධති බිඳවැටීමකි.

ජාතික විදුලි පද්ධතියක් බිඳවැටිය හැකි ආකාරය — සංකේතාත්මක පැහැදිලි කිරීමක්

ජනනය හා ඉල්ලුම අතර සමතුලිතතාව බිඳවැටීම

සංඛ්‍යාතය හෝ වෝල්ටීයතාව අස්ථාවර වීම

ආරක්ෂක පද්ධති මඟින් ජනන ඒකක හෝ ජාල කොටස් විසන්ධි වීම

දාමික බිඳවැටීමක් ඇති වුවහොත් සමස්ත ජාලය අක්‍රිය වීම

මෙය විදුලි පද්ධතිවල සාමාන්‍ය තාක්ෂණික ක්‍රියාවලියකි. අද සිදුවීමේ නිශ්චිත දෝෂ අනුපිළිවෙළ තවම තහවුරු කර නොමැත.

විදුලිය සමඟ අන්තර්ජාල සම්බන්ධතාත් අහිමි වූයේ ඇයි?

මෙය විදුලිබල පද්ධතියෙන් ඔබ්බට විහිදෙන ජාතික යටිතල පහසුකම් පිළිබඳ ප්‍රශ්නයකි.

ජංගම දුරකථන සංඥා කුලුනු, සන්නිවේදන උපකරණ සහ අන්තර්ජාල සේවා සපයන මධ්‍යස්ථාන විදුලි බලයෙන් ක්‍රියාත්මක වේ. විදුලිය විසන්ධි වූ විට ඒවායේ අමතර බැටරි සහ විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක විය හැකිය.

එහෙත් එම අමතර සැපයුම් ප්‍රමාණවත් නොවීම, ඒවායේ ධාරිතාව අවසන් වීම හෝ සන්නිවේදන ජාලයේ වෙනත් ස්ථානවල විදුලි සැපයුම අහිමි වීම නිසා ජංගම දුරකථන සංඥා සහ අන්තර්ජාල සේවා බිඳවැටිය හැකිය.

ශ්‍රී ලංකාවේ සන්නිවේදන ජාලය ශක්තිමත් කිරීම සඳහා 2025 දෙසැම්බර් වනවිට අමතර බලශක්ති පද්ධති 400ක් ස්ථාපනය කර තිබූ බව ද විදුලි සංදේශ ක්ෂේත්‍රයේ වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් අද අන්තර්ජාල සේවා බිඳවැටීමේ නිශ්චිත ව්‍යාප්තිය, බලපෑමට ලක් වූ සන්නිවේදන කුලුනු සංඛ්‍යාව සහ අමතර විදුලි පද්ධතිවල ක්‍රියාකාරිත්වය පිළිබඳ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සවිස්තරාත්මක නිල වාර්තාවක් මෙම විමර්ශනයේදී තහවුරු කරගත නොහැකි විය.

ජල සැපයුමටත් බලපෑම්

විදුලි බිඳවැටීමේ තවත් ප්‍රතිඵලයක් වූයේ ජල සැපයුමට එල්ල වූ බාධාවය.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයාගේ ප්‍රකාශ අනුව, අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවල කටයුතු විදුලි බිඳවැටීම නිසා තාවකාලිකව නතර විය. පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක් කෙරිණි.

මෙයින් පැහැදිලි වන්නේ විදුලි පද්ධතියේ විශ්වසනීයත්වය විදුලි පාරිභෝගිකයන්ගේ ගැටලුවක් පමණක් නොවන බවය. පානීය ජලය, සෞඛ්‍ය සේවා, දුරකථන සන්නිවේදනය, බැංකු කටයුතු සහ ආර්ථික ක්‍රියාකාරකම් රැසක අඛණ්ඩ පැවැත්ම එයට බැඳී තිබේ.

විදුලිය යථා තත්ත්වයට පත් කිරීම

ජාතික පද්ධති ක්‍රියාකරුගේ ප්‍රකාශ අනුව දහවල් සිට ප්‍රදේශයෙන් ප්‍රදේශයට විදුලිය ලබා දීම ආරම්භ විය.

කොළඹ, ගම්පහ, ගාල්ල සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට සවස 6වන විට විදුලිය යළි ලබා දී තිබිණි. පසුව බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් සියයට 50කට පමණ සැපයුම යථා තත්ත්වයට පත් කර තිබූ බව වාර්තා විය.

ජාතික පද්ධති ක්‍රියාකරු පස්වරුවේ ප්‍රකාශ කළේ සවස 6.30 පමණ වනවිට සමස්ත පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බවය. එය අපේක්ෂිත වේලාවක් මිස, එම වේලාවට රටේ සියලු ප්‍රදේශවල විදුලිය යථා තත්ත්වයට පත් වූ බවට තහවුරු කිරීමක් නොවේ. මේ වනවිට විදුලිය යථාවත් කළ බව කී ප්‍රදේශවල යළිත් විදුලිය විසන්ධි වී තිබේ.

මෙය ශ්‍රී ලංකාවට අලුත් අත්දැකීමක් නොවේ

ශ්‍රී ලංකාව මීට පෙරද ජාතික මට්ටමේ විදුලි බිඳවැටීම්වලට මුහුණ දී තිබේ.

2020, 2021, 2023 සහ 2025 වසරවල සිදු වූ විදුලි බිඳවැටීම් පිළිබඳව සිහිපත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රාජීව් අමරසූරිය අද ප්‍රකාශ කළේ මෙවැනි සිදුවීම් නැවත නැවත ඇතිවීම ජාතික විදුලි යටිතල පහසුකම්වල දුර්වලතා පිළිබඳ අවධානය යොමු කළ යුතු තත්ත්වයක් බවය.

විශේෂයෙන් 2025 පෙබරවාරි මාසයේ සිදුවූ විදුලි බිඳවැටීමෙන් පසු සූර්ය විදුලි ජනනය සහ ජාතික පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳ ගැටලු සාකච්ඡාවට ලක් විය.

දැන් රටට හෙළි කළ යුතු කරුණු

ජාතික විදුලිබල පද්ධති ක්‍රියාකරුගේ නිල වෙබ් අඩවිය වන nso.lk අනුව, විදුලි ජනනය සහ සම්ප්‍රේෂණය සම්බන්ධීකරණය කිරීම, ඉල්ලුම සහ සැපයුම සමතුලිතව පවත්වා ගැනීම සහ පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම එහි ප්‍රධාන වගකීම් අතර වේ.

එබැවින් අද සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කළ යුතු මූලික ප්‍රශ්න කිහිපයක් තිබේ.

1. ඔක්තෝබර් 17 පෙරවරු 11.45ට පෙර මුලින්ම වාර්තා වූ තාක්ෂණික දෝෂය කුමක්ද? එය සිදුවූ නිශ්චිත ස්ථානය සහ වේලාව කුමක්ද?

2. ඔක්තෝබර් 16 ඉහළ කොත්මලේ ඇති වූ ගැටලුව කුමක්ද? එම සිදුවීමෙන් පසු ජාතික පද්ධතිය ආරක්ෂිතව පවත්වා ගැනීමට ගත් පියවර මොනවාද?

3. විදුලිය බිඳවැටුණු මොහොතේ සමස්ත විදුලි ඉල්ලුම, සූර්ය විදුලි ජනනය, ජලවිදුලි ජනනය සහ තාප විදුලි ජනනය කොපමණද?

4. ජාතික පද්ධතියේ සංඛ්‍යාතය හා වෝල්ටීයතාව වෙනස් වූ ආකාරය පෙන්වන තත්පරයෙන් තත්පරයට සටහන් මොනවාද?

5. එක් දෝෂයක් සමස්ත ජාතික පද්ධතියේ බිඳවැටීමක් දක්වා ව්‍යාප්ත වීම වැළැක්වීමට තිබූ ආරක්ෂක ක්‍රම ක්‍රියාත්මක වූයේ කෙසේද?

6. පෙර විදුලි බිඳවැටීම් පිළිබඳ විමර්ශනවල නිර්දේශ ක්‍රියාත්මක කර තිබේද? එසේ නොවේ නම් ඒ ඇයි?

7. විදුලිය සමඟ සන්නිවේදන හා ජල සැපයුම් සේවා බිඳවැටීම වැළැක්වීම සඳහා තිබෙන හදිසි සැලසුම් ප්‍රමාණවත්ද?

මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීම සඳහා පද්ධති ක්‍රියාකරුගේ සිදුවීම් සටහන්, ආරක්ෂක උපකරණ ක්‍රියාත්මක වූ වේලාවන්, ජනන දත්ත සහ විදුලි බිඳවැටීම පිළිබඳ සම්පූර්ණ තාක්ෂණික වාර්තාව ප්‍රසිද්ධ කළ යුතුය.

විදුලිය පැමිණීමෙන් පමණක් අර්බුදය අවසන් නොවේ

අද සිදුවීමෙන් රටට නැවතත් මතක් කර දුන්නේ විදුලිය යනු නිවෙස්වල විදුලි බුබුළු දැල්වීමට පමණක් අවශ්‍ය සේවාවක් නොවන බවය. එය රටක ආර්ථිකය, සන්නිවේදනය, ජල සැපයුම සහ මහජන ආරක්ෂාව එකට බැඳ තබන මූලික පද්ධතියකි.

පෙරවරු 11.45ට පමණ සිදු වූ එක් පද්ධති බිඳවැටීමකින් සමස්ත රටේ විදුලි සැපයුම අහිමි විය. එහි බලපෑම් වෙනත් අත්‍යවශ්‍ය සේවාවලට ද පැතිර ගියේය. එහෙත් එය ආරම්භ වූ නිශ්චිත තාක්ෂණික හේතුව තවමත් හඳුනාගෙන නැත.

මෙහිදී අවධානය යොමු විය යුත්තේ දෝෂය සිදු කළ පුද්ගලයෙකු සෙවීමට පමණක් නොවේ. ජාතික පද්ධතියක ඇති වන එක් අස්ථාවරත්වයක් සමස්ත රටේ විදුලි සැපයුම බිඳ දැමීමට තරම් ව්‍යාප්ත වූයේ ඇයිද යන්න සොයා බැලීමටය.

විදුලිය යළි ලබා දීම පද්ධති ක්‍රියාකරුගේ ක්ෂණික වගකීමය. එහෙත් එය බිඳවැටුණේ ඇයිද යන්න සාක්ෂි සහිතව රටට පැහැදිලි කිරීමත්, එවැනි බිඳවැටීමක් නැවත ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමත් රාජ්‍යයේ දිගුකාලීන වගකීමය.

විදුලිය යළි පැමිණි පමණින් එම වගකීම අවසන් වන්නේ නැත.