LSN News › Sri Lanka

මම අත් දෙකම උස්සා ඡන්දය දෙනවා... මේ පනත එන බව දැනගත්තට පස්සේ රිමාන්ඩ් සැකකරුවො අත් පුඩි ගැහුවා... චාමර ගේ හිර ගෙදර අත් දැකීම...

විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත් විවාදයට බන්ධනාගාරයේ සිට පැමිණි චාමර සම්පත් සිය අත් දැකීම කියයි..

LSN Sri Lanka · 22 October 2026

මම අත් දෙකම උස්සා ඡන්දය දෙනවා... මේ පනත එන බව දැනගත්තට පස්සේ රිමාන්ඩ් සැකකරුවො අත් පුඩි ගැහුවා... චාමර ගේ හිර ගෙදර අත් දැකීම...

විෂ මත්ද්‍රව්‍ය පනත සම්බන්ධව දැනගත් අවස්ථාවේ දී රස පරීක්ෂක වාර්තා රහිතව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් අත් පොලසන් දී ප්‍රීතිය ප්‍රකාශ කළ බව චාමර සම්පත් දසනාකය මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ සිටින ඔහු අද (22) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත් විවාදයට එක් වෙමිනි.

බන්ධනාගාරයේ ඔහුගේ අත්දැකීම් ද සමග අද මන්ත්‍රීවරයා කළ කතාව අව්‍යාජ ප්‍රකාශනයක් වූ බව කිව යුතුය.

මේ මන්ත්‍රීවරයා කළ කතාවය.

"මේ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ පනත ගෙනාවේ අපේ අධිකරණ ඇමතිතුමාට මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියටත්, දැනටත් බන්ධනාගාරගත වෙලා ඉන්න මන්ත්‍රීවරයෙක් හැටියටත්, හිස නමා ආචාර කරනවා. මේකට ඡන්දයක් ගත්තොත් නම් මම ඡන්දෙට අත් දෙකම උස්සනවා. ඒකට හේතුව තමයි පක්ෂයේ අපව වැරදි චෝදනාවලට, අනවශ්‍ය දේවල්වලට හිරේ දැම්මත් ඒවා අපිට අදාළ නැහැ... හරි දේට හරි තැන හරි විදියට හිටගන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට තමයි මම මේ කතාව කරන්නේ. නියෝජ්‍ය කථානායකතුමාත් ඒක පිළිඅරගෙන තියෙනවා. නියෝජ්‍ය කථානායකතුමා... ඔබතුමා දන්නවා අපි විවෘතව තමයි අවුරුදු දෙකක් මේ පාර්ලිමේන්තුවේ හරි දේට හරි විදියට කතා කළේ.

මම මේ පනත සම්බන්ධව කතා කරන්නේ...

අධිකරණ ඇමතිතුමාට මීට අවුරුද්දයි මාස අටකට කලින් මම රිමාන්ඩ් වෙලා ඉද්දි ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේදී කිව්වා මේ පනත ගේන්න ඕන කියලා. මේ පනතේ මේ වැරැද්ද වුණේ අපේ ආණ්ඩුව කාලේ. මේ පනතේ ලොකු වැරැද්දක් තිබ්බා නියෝජ්‍ය කතා නායක තුමනි. ගිය සැරේ අපි ආණ්ඩුවේ ඉන්නකොට තමයි මේ පනත ගෙනැල්ලා මේ වැරැද්ද වුණේ. මේකෙන් 20,000ක් හිටපු බන්ධනාගාරවල හිටපු රැඳවියෝ 40,000ක් බවට පත් වුණා.

මම අහගෙන අද අධිකරණ ඇමතිතුමාගේ පළවෙනි කතාවේදී එතුමා මේ පනත ටේබල් කරපු වෙලාවේ වෙලාවක් වෙන් කරලා කතා කරපු එකේදී එතුමා කිව්වා, දැනට 17,000ක් ඉන්නවා රසපරීක්ෂක වාර්තාව වාර්තාව නැතුව කියලා. 17,000ක් ලංකාවේ දැනට ඉල්ලුම් කරලා ඉන්නවා රස පරීක්ෂක වාර්තාව.... 17,000ක් ඒ වාර්තාව ගන්නකම් මාස හය, හත හිරේ ඉන්නවා. මේවගේ මොනවාද වැඩි හරියක් තියෙන්නේ? මේක එළියට එනකොට, ගරු කථානායකතුමනි, තියෙන්නේ පිටි නැත්නම් පැනඩෝල් කුඩු.

මාස හයක් බන්ධනාගාරවල රැඳවියෝ තියාගෙන, මාස හයක් කන්න දීලා, මාස හයක් බලාගෙන, හිරගෙවල්වල ඉන්න බැරි තැනට පිරිස් වැඩි කරලා.... මම දැන් ඉන්නේ CRP රක්ෂිත බන්ධනාගාරයේ කොළඹ. එල් එක කියලා තියෙනවා කාමරයක්... එල් කාමරයේ සෙනසුරාදාට 140ක් වහනවා. වහන්ට පුළුවන්නේ 20යි 30යි. සෙනසුරාදා දවසට 140ක් අනිවාර්යයෙන් වහනවා... සමහර වාට්ටු තියෙනවා 400, 500 ඉන්නවා.

හරි අමාරු ජීවිතයක් ගත කරන්නේ. ලෙඩ රෝග, අනෙකුත් සියලු දේවල් එතන තියෙනවා. ඉතින් මෙහෙම මේ පනත, මේ ග්‍රෑම් 100ට අඩු චෝදනාවලට හයිකෝට් එකෙන් ඇප ගන්න පුළුවන් කියන ප්‍රවෘත්තිය ගියේ පෙරේදා. මේ පනත එනවා කිව්වම රැඳවියෝ ඔක්කොම අප්පුඩි ගැහුවා, සතුටු වුණා. මොකද ඒ සතුටු වුණේ, මෙච්චර කල් ග්‍රෑම් 100ට... ග්‍රෑම් 10ට වැඩි නඩුවලට ඇප ගන්න අභියාචනාධිකරණයට යන්න ඕන උනා. දැන් ඒක ග්‍රෑම් 100ට ගෙනාපු එක හොඳයි.

මේක කුඩු කොහොමත් නවත්තන්න බැහැ. කුඩු බොන මිනිස්සු බොනවා. මුදලාලිලා උඩ ඉඳලා නතර වෙන්න ඕන.

දැන් කුඩු අල්ලනවනේ, හැමදාම පෙන්නනවනේ. නැව් ගණන් කුඩු අල්ලනවා කියලා ඇල්ලුවා. කෝ කොහෙද කුඩු හිඟයක් තියෙනවාද ලංකාවේ?

කොහේ හරි කුඩු නැති වෙලා තියෙනවාද?

නැහැ. නැව් ගණන් කුඩු ඇල්ලුවට,

කෝ සික්කාරයෝ ඉන්නවාද කොළඹ?. නියෝජ්‍ය කතා නායක තුමා... ඔබතුමා කොලොන්නාව ආසනයේනේ. කෝ කුඩුවලට සික් හැදිච්ච මිනිස්සු ඉන්නවාද? වැඩිම කුඩු... කුඩු තියෙන ආසනය තමයි කොලොන්නාව. ඔබතුමා නියෝජනය කරන මැතිවරණ කොට්ඨාසය. ඉතින් ඒ නිසා වැඩිම රැඳවියන් ඉන්නෙත් ඔබතුමාගේ ආසනයේ. කොලොන්නාවේ අය තමයි CRP බන්ධනාගාරයේ වැඩිම රැඳවියන් ඉන්නේ කුඩුවලට.

නිසා මේකෙන් මම විශ්වාස කරනවා මේ පනත අද සම්මත වෙලා, කථානායකතුමා අදම අත්සන් කරලා මේක ගැසට් පත්‍රයට යවන්ට. ලබන සතිය වෙනකොට හයිකෝට් එකෙන් ඇප දීලා එළියට යනවා, මගේ විශ්වාසය 40%ක් එළියට යනවා මේ පනත ගෙනාපු එකෙන්.

මේ පනත ගේන එක බලාපොරොත්තුවෙන් හිටියා. මොකද දැන් මේ කරන්නේ පොලිසියෙන් ආවම කුඩු හරි, පැනඩෝල් හරි, පිටි හරි දානවා. දැන් අත් අඩංගුවට ගන්න ග්‍රෑම් 100ක් දාන්න ඕන. දැන් පිටි ග්‍රෑම් 100ක් හොයාගන්න වෙනවා පොලීසියට. නැත්නම් පැනඩෝල් කුඩු ග්‍රෑම් 100ක් හොයාගන්න වෙනවා. මේක මේ මගේ අත්දැකීම් අනුව කියන්නේ. තාම ජාතික ජන බලවේගයේ කට්ටිය ඇතුළට ගිහින් නැහැනේ. ඒගොල්ලෝ යන්නේ ඊළඟ අවුරුදු පහෙනේ. එතකොට ඒ අත්දැකීම ගන්න පුළුවන්.

ගරු කථානායකතුමා, පොලීසිය කරන වැරැද්ද බලන්න. දැන් රසපරීක්ෂක වාර්තාව එනකොට එන්නේ පිටි නැත්නම් මොනවා හරි පැනඩෝල් කුඩු කියලා. එතකොට අර මිනිහා මාස හයක් දුක් විඳිනවා හිරේ. ඊළඟට උසාවි ගානේ ගිහිල්ලා දුක් විඳලා, දරුවෝ අනාථ වෙලා, , ගෑණු වෙන මිනිස්සුත් එක්ක ගිහිල්ලා, නොයෙකුත් ප්‍රශ්න වෙලා,... වාර්තාව එනකොට මොන මඟුලක්වත් නැහැ වාර්තාවේ.

මේ වැරදි හින්දා මිනිස්සු හරියට දුක් විඳිනවා. මේක නතර කරන්න මේ අපරාධය කරන පොලීසියෙ කෙනාට දඩ ගහන්න ඕන. බොරුවට කුඩු වෙනුවට පැනඩෝල් කුඩු, පිටි දාන පොලීසියේ එක්කෙනාට දාන්න ඕන නඩු බොරුවට මිනිස්සු හිරේ යවනවට විරුද්ධව. මාස හයක් හතක් නිවැරදි මිනිහෙක් හිරේ යවලා රජයට කරපු අලාභය ඒ පොලිස් කාරයගෙන් අය කරගන්න ඕන.