ගාල්ල ජාතික රෝහලේ විදුලි කාර්මිකයින් දෙදෙනෙකුට මසකට රුපියල් මිලියන 2.04ක් ගෙවලා – පැයකට රු. 1,251 බැගින් දිනකට රුපියල් තිස්දහස ඉක්මවූ වැටුප් !
ඉකුත් 2025 වර්ෂයේ ජනවාරි සිට ජූලි දක්වා සිදුකළ නඩත්තු කටයුතුවලින් සියයට 90කට (90%) වඩා වැඩි ප්‍රමාණයක් ඉතා සුළු විදුලි නඩත්තු කටයුතු බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. මෙම කාලය තුළ සිදුකළ මාසික නඩත්තු වාරවලින් සියයට 8 සිට සියයට 58 දක්වා ප්‍රමාණයක් වෙන් වී ඇත්තේ විදුලි බල්බ සවිකිරීම වැනි සරල කටයුතු සඳහාය
LSN Sri Lanka ·

ගාල්ල ජාතික රෝහලේ විදුලි නඩත්තු සේවයේ යෙදී සිටි විදුලි කාර්මිකයින් දෙදෙනෙකු සඳහා මසකට රුපියල් මිලියන 2.04ක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

රෝහලේ විදුලි නඩත්තු සේවයේ යෙදී සිටීම වෙනුවෙන් පැයකට රුපියල් 1,251ක වේතන අනුපාතයක් යටතේ, සාමාන්‍ය දිනයකට රුපියල් 30,024ක මුදලක් ද ඉරිදා හෝ නිවාඩු දිනවලදී රුපියල් 45,036ක මුදලක් ද මෙම විදුලි කාර්මිකයින් දෙදෙනා වෙත ගෙවා ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි. කෙසේ වෙතත්, ඔවුන්ගේ රාජකාරි කාර්යයන් සහ ගෙවීම් සම්බන්ධයෙන් කිසිදු ලිඛිත ගිවිසුමක් නොතිබූ අතර, පැයකට රුපියල් 1,251ක වේතන අනුපාතය තීරණය කළ පදනම ද විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

ඉකුත් 2025 වර්ෂයේ ජනවාරි සිට ජූලි දක්වා සිදුකළ නඩත්තු කටයුතුවලින් සියයට 90කට (90%) වඩා වැඩි ප්‍රමාණයක් ඉතා සුළු විදුලි නඩත්තු කටයුතු බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. මෙම කාලය තුළ සිදුකළ මාසික නඩත්තු වාරවලින් සියයට 8 සිට සියයට 58 දක්වා ප්‍රමාණයක් වෙන් වී ඇත්තේ විදුලි බල්බ සවිකිරීම වැනි සරල කටයුතු සඳහාය.

රෝහලේ නඩත්තු අංශයට ම එම කටයුතු ඉටු කිරීමට හැකියාව තිබියදී, බාහිර විදුලි කාර්මිකයින් දෙදෙනෙකු සඳහා මසකට රුපියල් මිලියන 2.04ක මුදලක් ගෙවීම රජයේ මුදල් නිෂ්කාර්යව වැයවීමට ඉඩ සැලසීමක් බව විගණනය මගින් අවධාරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විගණනයට දන්වා ඇත්තේ, රෝහලේ ස්ථිර විදුලි තාක්ෂණ නිලධාරියෙකු හෝ කාර්මික ශිල්පීන් නොමැති බැවින් හදිසි විදුලි නඩත්තු හා ප්‍රධාන විදුලි සැපයුම පවත්වාගෙන යාමේ කටයුතු ලංකා විදුලිබල මණ්ඩලය වෙත පවරා තිබූ බවයි. කෙසේ වෙතත් මේ වන විට එම විදුලි නඩත්තු සේවාව විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ පෞද්ගලික අංශයට ප්රදානය කර ඇති බව ද රෝහල් බලධාරීන් සඳහන් කර තිබේ.

විදුලි නඩත්තු සේවා විධිමත් ගිවිසුම් සහ පිරිවැය ඵලදායිතාව මත පදනම්ව ක්‍රියාත්මක කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත් කළ වාර්ෂික විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වී ඇත.