Sport · Sri Lanka Bureau
ලාහෝරයේ දී ගිලිහුණු තුන්කොන් කුසලානය: කමිඳුගේ ශතකය අපතේ යවමින් පාකිස්තානය ජය ගනී!
LSN Sri Lanka ·

රටක් විදිහට අපේ තිබූ අපේක්ෂාවන් ඉටු වූයේ නැත. අපට අවශ්ය වූයේ කාලයකින් ලැබෙන තියුණු ජයග්රහණයක් සමරන්නටය. එහෙත් ලාහෝර් ගාඩාෆි ක්රීඩාංගනයේ පැවති පකිස්ථාන, එංගලන්ත, ශ්රී ලංකා තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයට තරග වැදුන ශ්රී ලංකා කණ්ඩායම කඩුළු 03කින් පරාජය විය.

පරාජය දුකක් බව සැබෑය. නමුත් මුලින්ම කිවයුත්තේ එය ගෞරවනීය පරාජයක් බවය. අවසන් මහා තරගයකට උචිත මනරම් ක්රිකට් ආශ්වාදයක් ලබා දුන් තරගයකින් පසු අපව හඹා ආ පකිස්ථාන කණ්ඩායම තරගය ජය ගත්තේය.

මේ තරගාවලියේ දී කැපී පෙනෙන ලක්ෂණයක් ප්රකට විය. පිතිකරණයට යෝග්ය තණතීරුවල කාසියේ වාසිය දිනාගෙන ලකුණු හඹා යෑම තෝරාගත් කණ්ඩායම බොහෝ විට ජයග්රහණය කළේය. අවසන් මහා තරගයේ දී අපට කාසියේ වාසියේ වාසනාව ලැබුණේ නැත. එමෙන්ම පිතිකරණයේ අඛණ්ඩ සන්තතියක් තබා ගන්නටත් අපට හැකි වූයේ නැත.

ලකුණු 325ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 48.3ක දි ඉලක්කය පසු කර ගියේය. ඒ ජයග්රාහි ලකුණ නායක සහීන් ෂා ඇෆ්රිඩි විසින් එල්ල කළ හයේ පහරකින් සම්පූර්ණ කිරීමත් සමගය. පකිස්ථාන කණ්ඩායම කඩුළු 07ක් දැවී ලකුණු 331ක් රැස් කළේය.

ලකුණු 360 සීමාව පෙනි පෙනී සිදුවූ ශ්රී ලංකා ඉනිමේ බිඳවැටීම

ලාහෝර් ගඩාෆි ක්රීඩාංගනයේ ලකුණු 325ක් යනු ලකුණු හඹායන කණ්ඩායමකට ආවරණය කරගත හැකි ඉලක්කයක් බව මේ තරගාවලියේ ගෙවුනු තරග රටාව පැහැදිලි කළේය. ඛේදවාචකය වන්නේ ශ්රී ලංකා ඉනිම අවසානයේ ලකුණු 325ක් සටහන් වුවද, තරගයේ එක් අවස්ථාවක ලකුණු 360 සීමාවද පසුකර යනු ඇතැයි සිතෙන මට්ටමක අපි පසුවීමු.

ශ්රී ලංකා ඉනිමේ මුල් කඩුල්ල ලකුණු 87 දී බිඳී ගියේය. ආරම්භක පිතිකරු අවිශ්ක ප්රනාන්දු 18 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී සල්මන් අගාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු 38කට දැවී ගියේය. අනතුරුව පිටියට පැමිණි කුසල් මෙන්ඩිස්ට ලබාගත හැකි වූයේ ලකුණු 8ක් පමණි. ඔහු සල්මන් අගාගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩපන්දුවක් ලබාදී දැවී යනවිට මුළු ලකුණු සංඛ්යාව ලකුණු 109ක් විය.

එතැන් සිට තෙවැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ කමිඳු මෙන්ඩිස් සහ පවන් රත්නායක මුළු තරගයේම පාලනය තමන් වෙත නතු කරගනිමින් අති විශිෂ්ට සබඳතාවක් ගොඩනැඟූහ. 22 වැනි ඕවරයේ 3 වැනි පන්දුවේ සිට පන්දු ඕවර 20කට ආසන්න ප්රමාණයක් ක්රීඩා කළ මෙම පිතිකරුවන් යුවළ ලකුණු 146ක මනරම් සබඳතාවක් පැවැත්වූහ.

ඉනිම වර්ණවත් කළ කමිඳු මෙන්ඩිස් පන්දු 128කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 131ක් රැස්කරමින් සිය මංගල එක්දින ශතකය වාර්තා කළේය. ඔහුට අගනා සහයක් දුන් පවන් රත්නායක පන්දු 65කදී හතරේ පහර 12ක් සමඟින් ලකුණු 77ක් ලබාගත්තේය.

කෙසේ වෙතත්, 42 වැනි ඕවරයේ 3 වැනි පන්දුවේදී ලකුණු 255කට කඩුලු 2ක් ලෙස ඉතා ප්රබල තත්ත්වයක තිබූ ශ්රී ලංකා ඉනිම, කමිඳුගේ දැවී යාමත් සමඟ වෙනස් මඟකට යොමු විය. කමිඳු දැවී ගිය පසු ඉනිම ඉදිරියට ඇදගෙන යාමේ වගකීම ගත යුතුව තිබුණේ ඒ වනවිට පන්දු ඕවර 20ක් පිටියේ රැඳෙමින් තරගය තේරුම්ගත් පවන් රත්නායකය. ඔහු එය කළේ නැත. ඔහු ලබා ගත් අනගි ලකුණු 77ට වටිනාකමක් නැති වූයේ ඒ වගකීම අත්හැරීම තුළය.

දසුන් ශානක ගැහුවොත් ගැහුවා ගියොත් ගියා ඉතිහාසයක් ඇති පිතිකරුවෙකි. කිසිම තිරණාත්මක අවස්ථාවක ඔහු පිලිබඳ වෘත්තීය විශ්වාසයක් තැබිය නොහැකි බව අපි අත්දැකිමෙන් දනිමු. එහෙත් ජනිත් ලියනගේ එසේ නොවේ. ඔහු සිය ගැඹුරු ක්රිකට් ඥානය සහ කුසලතාව තහවුරු කළ ක්රීඩකයෙකි. අවසන් මහා තරගයක අවසන් අදියරේ කණ්ඩායමට ඉටු කළ යුතු වගකීම ඔහු අතිනුත් අතහැරිනි. දුනිත් වෙල්ලාගේ සහ සහන් ආරච්චිගේ පිතිකරණයේ යෙදුනේ අන්තර්ජාතික මට්ටමේ සීමිත පන්දුවාර තරගයක අවසන් අදියර නිමා කරන පිතිකරුවන්ට වඩා ගමේ වෙල් එළියේ ක්රිකට් ගහන පොඩි උන් ලෙසය.

එහි ප්රතිඵලය වූයේ ලකුණු 255 සිට ලකුණු 307 දක්වා වූ ලකුණු 52ක් තුළ කඩුලු 06ක් බිඳවැටිමය. කලාතුරකින් සිදුවන ව්යතිරේකයක් නොවන්නට ශ්රි ලංකා කණ්ඩායමේ සැබෑම ස්වරූපය මෙයය. කෙසේ වෙතත් අවසන් කඩුල්ල වෙනුවෙන් අසිත ප්රනාන්දු සහ මහීෂ් තීක්ෂණ එක්ව නොදැවුණු ලකුණු 18ක සබඳතාවක් ගොඩනඟමින් ඉනිම ලකුණු 325 දක්වා ගෙන ආහ.

පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් සහීන් ෂා ඇෆ්රිඩි ලකුණු 50කට කඩුලු 2ක්, නසීම් ෂා ලකුණු 80කට කඩුලු 2ක්, සල්මන් අගා ලකුණු 44කට කඩුලු 2ක් සහ හැරිස් රවුෆ් ලකුණු 60කට කඩුලු 2ක් බැගින් බිඳහෙළූහ.

ෆකාර් සමාන්ගේ ශතකය සහ පාකිස්තාන හඹායාම

ලකුණු 326ක ජයග්රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්රී ලංකා පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැත. දිල්ෂාන් මධුෂංකගේ ප්රහාරාත්මක පන්දු යැවීම හමුවේ මාස් සදකාත් ලකුණු 5කටත්, බාබර් අසාම් ලකුණු නොලබාත් දැවී යාමෙන් පාකිස්තාන ඉනිම ලකුණු 14ට කඩුලු 2ක් ලෙස අඩපණ විය.

එහෙත් එතැන් සිට ක්රියාත්මක වූ ෆකාර් සමාන් සහ තරුණ කඩුලු රකින පිතිකරු සාද් බෙයිග් එකතුව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 149ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැගූහ. සාද් බෙයිග් ලකුණු 74ක් රැස්කළ අතර, හතරේ පහර 11ක් සහ හයේ පහර 6ක් සමඟින් පන්දු 99කදී ලකුණු 127ක් ලබාගත් ෆකාර් සමාන් පාකිස්තාන ජයග්රහණයේ පදනම දැමීය. එක්දින අවසන් මහා තරගවලදී ශතක දෙකක් රැස්කළ දෙවැනි පාකිස්තාන පිතිකරු ලෙසද ෆකාර් සමාන් වාර්තා අතරට එක්විය.

කෙසේ වෙතත් ෆකාර් සමාන් මේ 127ට ශ්රි ලංකා ක්රිඩකයින්ට ස්තුතිවන්ත විය යුතුය. ඔහු මේ 127 තුළ ලබා දුන් උඩපන්දු 03ක් ශ්රි ලංකා ක්රීඩකයෝ අත්හැරියහ. ඒ අත්හැරණු උඩපන්දු තරගය අපට අහිමිකළා පමණක් නොව, ෆකාර් සමාන්ව තරගයේ වීරයා බවට ඔසවා තැබුවේය.

ෆකාර් සමාන් සහ සල්මාන් අගා (17) දැවී යාමෙන් පසු තරගයේ පීඩනය ඉහළ ගියද, එක්වූ හසන් නවාස් සහ අරෆාත් මින්හාස් ලකුණු 94ක සබඳතාවක් ගොඩනඟමින් පාකිස්තානය ජයග්රහණය වෙත ගෙන ගියහ. අරෆාත් මින්හාස් පන්දු 31කින් වේගවත් ලකුණු 61ක් රැස්කළ අතර හසන් නවාස් නොදැවී ලකුණු 37ක් ලබාගත්තේය.

48 වැනි ඕවරයේදී අසිත ප්රනාන්දු විසින් අරෆාත් මින්හාස් ඇතුළු කඩුලු දෙකක් බිඳහෙළමින් තරගයට යම් උද්යෝගයක් එක්කළද, 49 වැනි ඕවරයේදී මධුෂංකගේ පන්දුවකට නායක සහීන් ෂා ඇෆ්රිඩි එල්ල කළ දැවැන්ත හයේ පහරින් පාකිස්තානය තරගයේ ජය තහවුරු කරගත්තේය.

මෙය එක්දින අවසන් මහා තරගයකදී කණ්ඩායමක් සාර්ථකව හඹාගිය සම වැඩිම ලකුණු සංඛ්යාව ලෙස වාර්තා අතරට එක්වූ අතර, පාකිස්තානය 2008 වසරෙන් පසුව ජයගත් පළමු එක්දින තුන්කොන් තරගාවලි ශූරතාවය ද මෙය වේ.

තරගයේ වීරයා ලෙස ෆකාර් සමාන් සම්මාන ලැබූ අතර තරගාවලියේ වීරයා ලෙස අරෆාත් මින්හාස් සම්මාන දිනාගත්තේය. තවත් බලාපොරොත්තුවක් ඒ ලෙස අවසන් වූයේය.