LSN News › Sri Lanka

2026 නොබෙල් සාම ත්‍යාගය - ට්‍රම්ප්ගේ බලාපොරොත්තු සුන් කළ නවී ගැන කතාවක්....

ඇය සිතුවේ මෙය විහිළුවක් කියා බවත්, නීතිඥවරියක සහ විනිසුරුවරියක ලෙස තමන්ට තවමත් එය තහවුරු කරගැනීමට අවශ්‍ය බවත් ඇය පැවසුවාය. අනතුරුව, මහජන කතාබහ ගැන අදහස් දක්වමින් ඇය සැහැල්ලුවෙන් මෙසේ පැවසුවාය: "ඔබ තව ටිකක් අත්පොළසන් දුන්නොත්, මට මේ ත්‍යාගය ට්‍රම්ප් එක්ක බෙදාගන්න වෙයි."

LSN Sri Lanka · 9 October 2026

2026 නොබෙල් සාම ත්‍යාගය -  ට්‍රම්ප්ගේ බලාපොරොත්තු සුන් කළ නවී ගැන කතාවක්....

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් ප්‍රධානී නවි පිල්ලේ, 2026 වසර සඳහා වන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය.

නෝර්වේජියානු නොබෙල් කමිටුව ඔක්තෝබර් 9 වන සිකුරාදා මෙම තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, ලෝක සාමය සහ ජාත්‍යන්තර නීතිය ප්‍රවර්ධනය කිරීම උදෙසා ඇය ඉටුකළ සුවිශේෂී මෙහෙවර අගයමින් මෙම සම්මානය පිරිනමන බවය.

නවී මෙසේ සම්මානිත වන්නී ලෝකය හිනස්වා අඬවන තරමේ බලාපොරොත්තුවක් බිඳ දමමිනි. ඉන් පසු නොබෙල් සාම ත්‍යාගය තමන් වෙත ලබාගැනීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ගිය ප්‍රසිද්ධ ප්‍රචාරණය අඛණ්ඩව දෙවන වසරටත් ව්‍යර්ථ වී ගියේය.

නිල නිවේදනය

ඔස්ලෝ නුවර රැස්වූ නොබෙල් කමිටුව, නවනීතම් (“නවි”) පිල්ලේ මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගයේ තනි සම්මානලාභිනිය ලෙස නම් කළේය. "ලෝක සාමය සහ ජාත්‍යන්තර නීතිය ප්‍රවර්ධනය කිරීමට දැරූ උත්සාහය වෙනුවෙන්" යන්න ඇයට සම්මානය පිරිනැමීමට අදාළ කෙටි නිල හේතු පාඨය ලෙස දැක්විණි.

නොබෙල් කමිටුවේ සභාපති යෝර්ගන් වට්නේ ෆ්‍රයිඩ්නෙස් ප්‍රකාශ කළේ, "අසාමාන්‍ය ධෛර්යයෙන් සහ අඛණ්ඩතාවයෙන් යුතුව" වඩාත් පුළුල් ගෝලීය නීති පද්ධතියක් දෙසට ලෝකය මෙහෙයවූ පුද්ගලයෙකුට මෙම ත්‍යාගය හිමිවන බවයි. යුද අපරාධ, මානව වර්ගයාට එරෙහි අපරාධ සහ ජන සංහාරයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සහ වගවීම තහවුරු කිරීම සඳහා ඇය ලබාදුන් දායකත්වය අතිමහත් බව පෙන්වා දුන් ඔහු, ඇය අපගේ කාලයේ සිටින වඩාත්ම ගෞරවණීය ජාත්‍යන්තර නීතිවේදිනියක ලෙස හඳුන්වා දුන්නේය.

මෙම නොබෙල් ත්‍යාගය සඳහා ස්වීඩන ක්‍රෝනර් මිලියන 12 ක මුදලක් හිමිවන අතර, එය ඇමරිකානු ඩොලර් මිලියන 1.2 ක් පමණ වේ. ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ ගුණසමරුව යෙදෙන දෙසැම්බර් 10 වනදා ඔස්ලෝ නුවරදී මෙම සම්මානය පිරිනැමීමට නියමිතය.

නොබෙල් සාම ත්‍යාගය පිරිනමන 125 වන වසර මෙය ය. මේ වසරේ සම්මානය සඳහා පුද්ගලයින් 208 දෙනෙකු සහ සංවිධාන 79 ක් ඇතුළුව නාමයෝජනා 287 ක් ඉදිරිපත් වී තිබුණි. පසුගිය වසරේ මෙම සම්මානය දිනාගත්තේ වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ විසිනි.

කමිටුව පෙන්වා දුන් පසුබිම

නොබෙල් කමිටුව මෙම සම්මානය එක් පුද්ගලයෙකුගේ ජීවිත කතාවකට පමණක් සීමා වූ ඇගයීමක් ලෙස සලකා නැත. ඒ වෙනුවට ලෝකයට වැදගත් පණිවිඩයක් නිකුත් කිරීමට කමිටුව මෙය අවස්ථාවක් කරගත්තේය.

වසර 125 කට පෙර ප්‍රථම නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමේදී පවා, ජාත්‍යන්තර නීතිය හරහා ගැටුම් විසඳා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණු බව කමිටුව මතක් කර දුන්නේය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සහ යකඩ තිරයේ බිඳවැටීමෙන් (සීතල යුද්ධයෙන්) පසුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර අධිකරණ හරහා එම පද්ධතිය වර්ධනය විය. බලවතුන්ගේ හිතුමනාපය මත නොව, නෛතික රීතීන් මත පදනම්ව චිරස්ථායී සාමය ගොඩනැගිය යුතුය යන්න මෙහි මූලික සංකල්පය වූයේය.

එසේ වුවද, එම පද්ධතියේ පවතින සීමාවන් පිළිබඳවද නොබෙල් කමිටුව ඍජුවම අදහස් දැක්වීය. නීතිය මත පදනම් වූ මෙම ගෝලීය පද්ධතිය කිසිදිනෙක පූර්ණ පරිපූර්ණ එකක් නොවූ බවත්, බලවත් රාජ්‍යයන් බොහෝ විට වගවීමෙන් මිදී සිටි බවත් කමිටුව පිළිගත්තේය. එමෙන්ම සෑම වරදකරුවෙකුටම සහ වින්දිතයෙකුටම එකම ආකාරයේ සාධාරණත්වයක් ඉටු වී නැති බවද සඳහන් කළේය.

බලය යොදවනවාට වඩා රාජ්‍ය තාන්ත්‍රිකභාවය, ගිවිසුම් සහ අධිකරණ පද්ධති හරහා වර්තමානයේ වැඩි ගැටුම් ප්‍රමාණයක් විසඳා ගන්නා බව කමිටුව පෙන්වා දෙන්නේය. ලෝකය අතීතයට වඩා වැඩි යුද්ධ සහ ගැටුම් ප්‍රමාණයකට මුහුණ දී සිටින මෙවැනි කාලයක, ජාත්‍යන්තර නීතිය යනු සාමයට අමතරව එකතු කළ යමක් පමණක් නොව, එය අත්‍යවශ්‍යම සාධකයක් බව කමිටුව අවධාරණය කර තිබිණි.

ලෝකයේ වත්මන් තත්ත්වය විග්‍රහ කළ කමිටුව, ජාත්‍යන්තර නීතිය මේ වන විට දැඩි පීඩනයකට ලක්ව ඇති බව ප්‍රකාශ කළේය. නීතිමය රාමුවලට හානි කරමින් බල දේශපාලනය දෙසට ගමනක් ආරම්භ වී තිබෙන ආකාරය කමිටුවේ නිරීක්ෂණය විය. "නීතියට ඉහළින් බලය නැගී සිටින සෑම අවස්ථාවකම, එය ලෝකයේ ස්ථාවරත්වය, විශ්වාසය සහ සහජීවනය බිඳදමයි." ඔවුහු පෙන්වා දුන්හ. නීතිය සහ අරාජිකත්වය අතර පවතින සූක්ෂම සීමාව රකින විනිසුරුවරුන්ට පවා සම්බාධක පැනවෙමින් අධිකරණ ප්‍රහාරයන්ට ලක්වන බව කමිටුව සඳහන් කළේය.

සාමය පවතිනුයේ සාධාරණත්වය සහ යුක්තිය මත පමණි. ලෝක යථාර්ථය එයය. මේ සීමාවේ අහලකටවත් පැමිණීමට ට්‍රම්ප්ට නොහැකි බව ඔහු සිතනු ඇතැයි ලෝකය සිතන්නේ නැත.

නවි පිල්ලේ යනු කවුද?

නවි පිල්ලේ 1941 සැප්තැම්බර් 23 වනදා දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර, දකුණු ඉන්දීය දෙමළ සම්භවයක් සහිත පවුලක උපත ලැබුවාය. ඒ එවකට පැවති වර්ණභේදවාදී පාලන සමයේදීය.

නීතිඥවරියක වූ ඇය 1967 දී සිය පෞද්ගලික නීති ආයතනය ආරම්භ කළාය. 1980 ගණන්වලදී හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබූ ඇය 1988 දී නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගත්තාය.

ඇය වර්ණභේදවාදයට එරෙහිව සටන් කළ නෙල්සන් මැන්ඩෙලා ඇතුළු නායකයින් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියාය. (මැන්ඩෙලා පසුව 1993 දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීය). 1995 දී දකුණු අප්‍රිකානු මහාධිකරණයේ විනිසුරුවරියක ලෙස ඇය පත්කෙරුණු අතර, එම තනතුරට පත්වූ පළමු සුදු ජාතික නොවන කාන්තාව ඇයය.

එතැන් සිට ඇගේ වෘත්තීය ජීවිතය ජාත්‍යන්තර අධිකරණ ක්ෂේත්‍රය දෙසට යොමු විය:

ඇය රුවන්ඩා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරියක මෙන්ම පසුව එහි සභාපතිනිය ලෙසද කටයුතු කළාය. ස්ත්‍රී දූෂණය සහ ලිංගික හිංසනය මානව වර්ගයාට එරෙහි අපරාධයක් සහ ජනසංහාරක ක්‍රියාවක් ලෙස නීතිමය වශයෙන් තීන්දු කිරීමට එම අධිකරණය කටයුතු කිරීමේදී ඇගේ මඟපෙන්වීම තීරණාත්මක විය. එමෙන්ම, ප්‍රචාරණ කටයුතු මත පමණක් පදනම්ව ජනසංහාරයට අනුබල දීමේ චෝදනාවට අයෙකු වරදකරු කළ පළමු ඓතිහාසික නීතිමය තීන්දුව ලබාදීමටද ඇය මුලපිරුවාය.

පසුව ඇය ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) විනිසුරුවරියක ලෙස සේවය කළාය.

2008 සිට 2014 දක්වා ඇය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය ලෙස කටයුතු කළාය.

2021 සිට 2025 දක්වා ඇය අත්පත් කරගත් පලස්තීන භූමිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණ කොමිසමේ සභාපතිනිය ලෙස කටයුතු කළාය. ගාසා තීරයේදී ඊශ්‍රායලය ජනසංහාරයක් සිදුකර ඇති බවට එම කොමිසම පසුව නිගමනය කළ අතර, ඊශ්‍රායලය එම වාර්තාව ප්‍රතික්ෂේප කළේය.

මියන්මාරයට එරෙහිව රෝහින්ග්‍යා ජනසංහාර චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයේ (ICJ) විභාග වන නඩුවේ තාවකාලික (ad hoc) විනිසුරුවරියක ලෙසද ඇය කටයුතු කරන්නීය.

වර්ණභේදවාදයට එරෙහිවූවන් වෙනුවෙන් පෙනී සිටීමේ සිට අපගේ කාලයේ ප්‍රධාන ජාත්‍යන්තර නඩු විභාග කිරීම දක්වා ඇගේ වෘත්තීය ජීවිතය පුරාම එකම අරමුණක් පැහැදිලිව දිස්වන බව නොබෙල් කමිටුව පැවසීය. ඇගේ ස්වාධීනත්වය, විශිෂ්ට නීති දැනුම සහ පෞද්ගලික ධෛර්යය කමිටුවේ ඉහළ ඇගයීමට ලක්විය.

ට්‍රම්ප්ගේ බලාපොරොත්තුව සහ ඒ වටා වූ වාර්තා

ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය ලබාගැනීමේ දැඩි කැමැත්තකින් පසුවිය. සම්මානය ප්‍රකාශයට පත් කිරීමට දින දෙකකට පෙර, එනම් බදාදා දිනද ඔහු වයිට් හවුස් හිදී මාධ්‍ය හමුවේ ඒ පිළිබඳව කරුණු දැක්වීය.

ඔහු මාධ්‍යවේදීන්ට මෙසේ පැවසීය: "වෙනත් කිසිවෙකු කර නැති දේවල් මා කර තිබෙනවා. මා උදම් අනනවා නෙවෙයි, ඇත්ත තත්ත්වයයි කියන්නේ. වෙනත් කිසිම ජනාධිපතිවරයෙකු යුද්ධ නැවැත්වීමට කටයුතු කර නැහැ. මා යුද්ධ අටක් නැවැත්වූවා." නොබෙල් කමිටුව තමන්ට මෙම සම්මානය නොදුන්නොත් එය එම කමිටුවටම සිදුවන ලොකු අඩුවක් බවද ඔහු කීවේය. "මා වැනි අයට සම්මාන නොදීමට නොබෙල් කමිටුවට නමක් තිබෙනවා. නමුත් සම්මානය ලැබුණත් නැතත් මා විශාල මෙහෙවරක් කර තිබෙනවා" යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය වසරේ සම්මානලාභිනිය වූ මාරියා කොරිනා මචාඩෝ පසුගිය ජනවාරි මාසයේදී වයිට් හවුස් හිදී ඇගේ නොබෙල් පදක්කම තමන්ට දුන් බවද ට්‍රම්ප් මතක් කළේය. ඉතිහාසයේ වෙනත් කිසිවෙකුට වඩා තමන් ඊට සුදුසු බව ඇය තමන්ට පැවසූ බවද ට්‍රම්ප් සඳහන් කළේය.

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ "යුද්ධ අටක් නැවැත්වූවා" යන ප්‍රකාශය පිළිබඳව මාධ්‍ය වාර්තා අදහස් දැක්වූයේ ප්‍රවේශමෙනි. ඔහු සඳහන් කරන ඇතැම් ගැටුම් පූර්ණ යුද්ධ නොවන අතර, ඇතැම් ඒවා තවමත් නිරාකරණය වී නැති බවත්, නැවත ප්‍රචණ්ඩත්වයට බර වී ඇති බවත් මාධ්‍ය පෙන්වා දුන්නේය. ඉන්දියා පකිස්ථාන ගැටුම නවැත්විමට වොෂින්ටනයේ මැදිහත්වීම මුලින්ම ප්‍රතික්ෂේප කළේ ඉන්දියාව ය.

එමෙන්ම, ඉරානය න්‍යෂ්ටික ආයුධ ලබාගැනීම වැළැක්වීමේ අරමුණින් ඇමරිකාව තවමත් ඉරානය සමඟ ගැටුමක නිරතව සිටින බව කවුරුත් දන්නේය. කාම්බෝජය, ඊශ්‍රායලය සහ පාකිස්ථානය වැනි රටවල නායකයින්ගෙන් ට්‍රම්ප්ට නාමයෝජනා ලැබී ඇති බවට පැවසෙන ආරංචි ස්වාධීනව තහවුරු කළ නොහැක්කේ නොබෙල් නාමයෝජනා රහස්‍ය ලෙස තබාගන්නා බැවිනි.

නොබෙල් කමිටුව ඍජුවම ට්‍රම්ප්ගේ නම සඳහන් කළෙ නැත. නමුත් බල දේශපාලනය, අධිකරණවලට එල්ල වන ප්‍රහාර සහ විනිසුරුවරුන්ට සම්බාධක පැනවීම ගැන කමිටුව කළ ප්‍රකාශයන් ද ජාත්‍යාන්තර අපරාධ අධිකරණය වැනි ආයතනවලට එල්ල වන බලපෑම් ඇතුළු වර්තමාන ලෝක තත්ත්වය පිළිබඳව කෙරුණු වක්‍ර අදහස් දැක්වීම් ද තුළ ට්‍රම්ප් සිටින ආකාරය ලෝකය දුටුවේය.

ඇගේ පළමු ප්‍රතිචාරය

සම්මානය ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විටත් නවි පිල්ලේ සමඟ සම්බන්ධ වීමට නොබෙල් කමිටුවට හැකි වී තිබුණේ නැත. නෝර්වේජියානු අංකයකින් ඇමතුමක් ආවොත් එය ලබාගන්නැයි කමිටු සභාපති ෆ්‍රයිඩ්නෙස් විහිළුවට මෙන් ඇයට විහිළුවට මෙන් පවසා තිබිණි.

පසුව ඇයට මෙම පුවත සැලවූයේ නියුරම්බර්ග් නඩු විභාග පැවැත්වූ අධිකරණ සංකීර්ණයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් සිටියදීය. වීඩියෝ ගත කර තිබූ ඇගේ පළමු ප්‍රතිචාරය වූයේ මෙය සත්‍යයක්දැයි ඇසීමය.

ඇය සිතුවේ මෙය විහිළුවක් බවය. නීතිඥවරියක සහ විනිසුරුවරියක ලෙස තමන්ට තවමත් එය තහවුරු කරගැනීමට අවශ්‍ය බවත් ඇය පැවසුවාය.

අනතුරුව, මහජන කතාබහ ගැන අදහස් දක්වමින් ඇය සැහැල්ලුවෙන් මෙසේ පැවසුවාය: "ඔබ තව ටිකක් අත්පොළසන් දුන්නොත්, මට මේ ත්‍යාගය ට්‍රම්ප් එක්ක බෙදාගන්න වෙයි."

සම්මාන ප්‍රදානෝත්සවය දෙසැම්බර් 10 වනදා ඔස්ලෝ නුවරදී පැවැත්වෙන්නේය.

පසු සටහනක්

අතීත අඳුරු මතකයක්

නවි පිල්ලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය ලෙස 2013 වසරේදී ශ්‍රී ලංකාවේ නිරත වූ සංචාරය, මෙරට රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයේ අතිශය කළු සහ නින්දිත මතකයක් ඉතිරි කළ සිදුවීම් නිර්මාණය කළේය. එදාවේල දේශපාලනයේ නිරත වූ රටේ දේශපාලන හිඟන්නන් ස්වකීය වාසි උදෙසා රට පිළිබඳ වූ ජාත්‍යන්තර ප්‍රතිරූපය කෙලෙසා දැමූහ.

එවකට සිටි ඇතැම් දේශපාලනඥයන්, ජාත්‍යන්තර අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට සහ මානව හිමිකම් ආරක්ෂාවට විශිෂ්ට මෙහෙවරක් කළ මෙම කීර්තිමත් නීතිවේදිනියට එළිපිට නින්දා අපහාස කළහ. අතීත වර්ණභේදවාදයට එරෙහිව සටන් කරමින්, ජනසංහාර හා යුද අපරාධ හමුවේ යුක්තිය උදෙසා පෙනී සිටි මේ සුවිශේෂී ජාත්‍යන්තර පෞරුෂයට එවකට රජයේ මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වා විවාහ යෝජනා ඉදිරිපත් කළේය. ඔහු කීවේ ඇය කසාද බැඳගෙන ඇයගෙන් මහින්ද රාජපක්ෂ රජයට එන විවේචන නවත්වා ගන්නා බවය. මේ වහුටු ප්‍රකාශ ලෝකය ඉදිරියේ අප දුහුවිලි ජාතියක් බවට පත් කළේය.

එමෙන්ම එදා පැවැති පටු ජාතිකවාදී රැල්ලේ කරනම් ගසමින් සිටි විමල් වීරවංශ ඇතුළු පිරිස් ඇයට එරෙහිව දැවැන්ත මඩ ප්‍රචාරයක් ගෙන ගියහ. ඇය බටහිර බලවේගවල වුවමනාවට ක්‍රියාකරන "කොටි ඒජන්තවරියක්" ලෙස හඳුන්වමින්, ඇගේ ඉන්දියානු දෙමළ සම්භවය පවා ඉලක්ක කරගනිමින් පහත් ගනයේ විවේචන එල්ල කළහ. ඇය රටට පැමිණියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ලෙස මිස කල්ලතෝනි හිඟන්නියක ලෙස නොවේ. නමුත් වීරවංශලා වහාම ඇයට රටින් යන්නට කීවේය. ඒ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතා පවත්වමිනි. උද්ඝෝෂණ සිද්ධ වූයේ රාජ්‍ය අනුග්‍රහය සහිතවය.

එදා ඇය රටින් පිටව යන්නේ බලවත් කලකිරීමකිනි. අද නවී පිල්ලේ නොබෙල් සාම ත්‍යාගය ලබන විට මර්වින් සිල්වා එළියේ ඉන්නේ ඇප පිටය. විමල් වීවරංශ ඇතුළට යන්න සූදානම් වෙමිනි.