LSN News › Sri Lanka

2026 මුල් භාගයේ දී ගෝලීය අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ මුල්‍ය පද්ධතිය ස්ථාවරව පැවති බව මහ බැංකුව පවසයි!

ඉදිරිය දෙස බැලීමේදී, පවතින ආර්ථික ප්‍රකෘතිමත් වීම අඛණ්ඩව පවත්වා ගැනීම, රාජ්‍ය මුල්‍ය ඒකාබද්ධතාව ඉදිරියට ගෙන යාම සහ ප්‍රවේශම්කාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සිදුවන්නේ නම් මුල්‍ය ස්ථාවරත්වය පිළිබඳ ඉදිරි දැක්ම යහපත් මට්ටමක පවතින බව මහ බැංකුව පවසයි.

LSN Sri Lanka · 12 October 2026

2026 මුල් භාගයේ දී ගෝලීය අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ මුල්‍ය පද්ධතිය ස්ථාවරව පැවති බව මහ බැංකුව පවසයි!

භූදේශපාලනික ගැටුම්කාරී තත්ත්ව, උද්ධමන පීඩනය, ඉහළ බලශක්ති මිල ගණන් සහ දැඩි මුල්‍ය කොන්දේසි සහිත අභියෝගාත්මක ගෝලීය පරිසරයක් පැවතියද, 2026 වසරේ පළමු අර්ධය තුළ ශ්‍රී ලංකාවේ මුල්‍ය පද්ධතිය ස්ථාවරව පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම මුල්‍ය ස්ථාවරත්ව සමාලෝචනයේ සඳහන් වේ.

අඛණ්ඩ ආර්ථික ප්‍රකෘතිමත් වීම, රාජ්‍ය මුල්‍ය කාර්ය සාධනය වැඩිදියුණු වීම මෙන්ම බැංකු සහ මුල්‍ය සමාගම් විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රමාණවත් ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා අතිරික්තයන් මගින් මෙරට මුල්‍ය ස්ථාවරත්වය තහවුරු වී ඇති බව අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත්, වර්ධනය වන ගෘහස්ථ ණයගැතිභාවය, වේගවත් ණය ව්‍යාප්තිය සහ ඇපකර මත පදනම් වූ ණය දීම් ඉහළ යාම යනාදිය දැඩි අවධානයට ලක්කළ යුතු මතුවෙමින් පවතින අවදානම් බවට මහ බැංකුව අනතුරු අඟවයි.

අවදානම පහව නෑ

වෙළඳාම, සංචාරක ව්‍යාපාරය, විදේශ ප්‍රේෂණ, ප්‍රාග්ධන ගැලීම් සහ බාහිර මුල්‍ය සම්පාදන කොන්දේසි මත රඳා පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් බාහිර බලපෑම් හමුවේ අවදානම් සහගත තත්ත්වයක පවතින බව වාර්තාව සඳහන් කරයි. විශේෂයෙන්ම මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය ඇතුළු භූදේශපාලනික ගැටුම්කාරී උපද්‍රව, භාණ්ඩ මිල ඉහළ යාම, කාලගුණික සහ දේශගුණික අවදානම් මෙන්ම ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවය දේශීය ආර්ථිකයට අඛණ්ඩව අවදානම් එල්ල කරන බව එම වාර්ව සඳහන් කරයි.

සමාලෝචිත කාලසීමාව තුළ පෞද්ගලික අංශයේ ණය වර්ධනය වේගවත් වී ඇති අතර, විශේෂයෙන් ගෘහස්ථ ණය ලබාදීම්, වාහන මුල්‍යකරණය සහ රන් ඇපයට තබා ණය ලබාදීම ඉහළ ගොස් ඇත. මෙය ණය පරතරය පුළුල් කිරීමට හේතු වී ඇති අතර පද්ධතිමය අවදානම් මතුවීම කෙරෙහි ද සංකාවක් ඇති කර තිබේ. එසේම නිශ්චල දේපළ මිල ගණන් ද තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, ඇපකර අගයන්හි පවතින වෙනස්වීම් සහ උද්ධමන පීඩනය ද මෙම අවදානම් වැඩි කිරීමට හේතු වී ඇත.

මහබැංකුව ගත් ක්‍රියාමාර්ග

ඊට ප්‍රතිචාර වශයෙන් මහ බැංකුව විසින් 2026 මැයි මාසයේදී රාත්‍රී කාලයේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ දැමූ අතර, අධික ලෙස ණය ලබාගැනීම පාලනය කිරීම සහ ප්‍රවේශම්කාරී ණය දීමේ පටිපාටි ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වාහන මුල්‍යකරණය සහ රන් ඇපකර ණය සඳහා වන LTV සීමාවන් තද කිරීම ඇතුළු සාර්ව ප්‍රවේශම්කාරී පියවර රැසක් හඳුන්වා දෙන ලදී.

ඇතැම් කාලසීමාවල පැවති උච්චාවචනයන් මධ්‍යයේ වුවද මුල්‍ය වෙළඳපොළවල් සමස්තයක් ලෙස ස්ථාවර මට්ටමක පැවතුණි. වෙනස් වන වෙළඳපොළ අපේක්ෂා සහ මුල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම හමුවේ රාජ්‍ය සුරැකුම්පත් ඵලදායිතාව ඉහළ ගිය අතර විදේශීය ආයෝජකයන්ගේ සහභාගීත්වය මන්දගාමී මට්ටමක පැවතුණි. මැදපෙරදිග අර්බුදය දැඩි වූ කාලවලදී දේශීය විදේශ විනිමය වෙළඳපොළ පීඩනයට ලක්වීම නිසා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ක්ෂය වීමට හේතු වූ අතර, පසුව සංචාරක ව්‍යාපාරය, අපනයන සහ විදේශ ප්‍රේෂණ හරහා පැමිණි විදේශ විනිමය ගැලීම් හමුවේ තත්ත්වය යහපත් අතට හැරුණි.

බැංකු ක්ෂේත්‍රයේ වෙනස

ශක්තිමත් ලාභදායිත්වය සහ යහපත් ප්‍රාග්ධන හා ද්‍රවශීලතා මට්ටම්වල සහාය ඇතිව බැංකු ක්ෂේත්‍රය ප්‍රබල නම්‍යශීලී බවක් පෙන්නුම් කළේය. 2026 දෙවන කාර්තුව වන විට බැංකු ක්ෂේත්‍රයේ වාර්ෂික ණය වර්ධනය 23.6% දක්වා ළඟා වූ අතර, පරිභෝජනය, වෙළඳාම, ඉදිකිරීම්, මුල්‍ය සේවා සහ විදේශයන් හා සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා ණය ලබාදීම ඊට හේතු විය. වත්කම්වල ගුණාත්මකභාවය වැඩිදියුණු වූ අතර, සමස්ත අදියර 3 හි පවතින අක්‍රීය ණය අනුපාතය පෙර වසරේ පැවති 11.9% සිට 9.1% දක්වා පහත වැටුණි.

කෙසේ වෙතත්, අදියර 2 හි පවතින ණය ප්‍රමාණයේ ඉහළ යාමක් වාර්තාව මගින් පෙන්වා දී ඇති අතර, එය වේගවත් ණය වර්ධනය මධ්‍යයේ මතුවිය හැකි ණය අවදානම් පිළිබඳ සංඥා කරයි.

මුල්‍ය සමාගම් විසින් වාහන මුල්‍යකරණය සහ රන් ඇපකර ණය මත පදනම්ව 45% ක තවත් ඉහළ වාර්ෂික ණය වර්ධනයක් වාර්තා කර ඇත. දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ණයගැතියන්ගේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ ක්ෂේත්‍රයේ අවදානම් පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කිරීමේ අවශ්‍යතාව මෙම වාර්තාව මගින් අවධාරණය කර ඇත.

රක්ෂණ ක්ෂේත්‍රයේ ලාභදායිතාවයට පීඩනයක් එල්ල වුවද, එම ක්ෂේත්‍රය ප්‍රමාණවත් ප්‍රාග්ධනීකරණයකින් යුතුව පැවතුණි. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ සැලකිය යුතු වන්දි ඉල්ලීම් නිසා ප්‍රතිරක්ෂණ ලැබිය යුතු මුදල් ප්‍රමාණය ඉහළ ගිය අතර ද්‍රවශීලතා සහ රක්ෂණ අවදානම් ද වැඩි විය.

ඩිජිටල් මුල්‍ය සේවාවන්හි වර්ධනය මගින් කාර්යක්ෂමතාව සහ මුල්‍ය සමාග්‍රහණය ඉහළ ගොස් ඇති බව ද සමාලෝචනයේ සඳහන් වේ. කෙසේ වෙතත්, ඩිජිටල් සබඳතාවන්ගේ වේගවත් ව්‍යාප්තිය නිසා සයිබර් තර්ජන, මෙහෙයුම් බාධාවන් සහ තෙවන පාර්ශ්වීය අවදානම්වලට ඇති නිරාවරණය වැඩි වී ඇති බැවින් මුල්‍ය ස්ථාවරත්වය උදෙසා සයිබර් ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම ඉතා වැදගත් වේ.

ඉදිරිය ගැන

ඉදිරිය දෙස බැලීමේදී, පවතින ආර්ථික ප්‍රකෘතිමත් වීම අඛණ්ඩව පවත්වා ගැනීම, රාජ්‍ය මුල්‍ය ඒකාබද්ධතාව ඉදිරියට ගෙන යාම සහ ප්‍රවේශම්කාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සිදුවන්නේ නම් මුල්‍ය ස්ථාවරත්වය පිළිබඳ ඉදිරි දැක්ම යහපත් මට්ටමක පවතින බව මහ බැංකුව පවසයි.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය භූදේශපාලනික සහ මුල්‍ය වෙළඳපොළ අවිනිශ්චිතතාවයන් ඇතුළු බාහිර වර්ධනයන් මෙන්ම ණය අධික ලෙස ව්‍යාප්ත වීම, නිශ්චිත ක්ෂේත්‍රයන් හි ණය ඒකරාශී වීම සහ සයිබර් අවදානම් වැනි දේශීය අවදානම් මත රඳා පවතිනු ඇත. එබැවින් මුල්‍ය ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම සඳහා අඛණ්ඩව නිරීක්ෂණය කිරීම සහ සුදුසු වේලාවට ප්‍රතිපත්තිමය මැදිහත්වීම් සිදුකිරීම වැදගත් වන බව මහ බැංකුව පෙන්වා දෙයි.

මුල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා ප්‍රවේශම්කාරී මුල්‍ය, සාර්ව ප්‍රවේශම්කාරී සහ නියාමන ප්‍රතිපත්ති මෙන්ම ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණවල අඛණ්ඩ ප්‍රගතිය ද අවශ්‍ය වන බව මහ බැංකුව අවධාරණය කරයි.

එබැවින් මුල්‍ය ආයතනවල ප්‍රබල ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා අතිරික්තයන් පවත්වා ගැනීම, දේශගුණික සහ සයිබර් අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරීම, අර්බුදකාරී අවස්ථාවලට මුහුණදීමේ රාමූන් ඉහළ නැංවීම සහ ණය ව්‍යාප්තිය යටින් පවතින ආර්ථික ක්‍රියාකාරකම්වලට අනුකූල වන බවට තහවුරු කරගැනීම කෙරෙහි මුල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතාවය යොමු විය යුතු බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

පද්ධතිමය අවදානම් අවම කිරීම, මුල්‍ය පද්ධතියේ ආපදා දරාගැනීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ මධ්‍ය කාලීනව මුල්‍ය ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම සඳහා මෙම ප්‍රයත්නයන් අත්‍යවශ්‍ය වන බව ද මහ බැංකුව ප්‍රකාශ කර ඇත.