LSN News › Sri Lanka

2027 සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට රාජ්‍ය වියදම් කළමනාකරණය සහ සැලසුම්කරණය විධිමත් කිරීම අත්‍යවශ්‍යයි – ජනාධිපති ලේකම් අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් ගෙන්වා දැනුම් දෙයි!

2027 සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා රාජ්‍ය වියදම් කළමනාකරණය, වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් සහ ප්‍රසම්පාදන සැලසුම් විධිමත් කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවේ අවධාරණය කරයි.

LSN Sri Lanka · 23 November 2026

2027 සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට රාජ්‍ය වියදම් කළමනාකරණය සහ සැලසුම්කරණය විධිමත් කිරීම අත්‍යවශ්‍යයි – ජනාධිපති ලේකම් අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් ගෙන්වා දැනුම් දෙයි!

2027 වර්ෂයට සැලසුම් කර ඇති සංවර්ධන වැඩසටහන් සහ ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආයතනවල වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් සහ ප්‍රසම්පාදන සැලසුම් විධිමත්ව සකස් කිරීමත්, රාජ්‍ය මූල්‍ය සම්පත් කාර්යක්ෂමව සහ ඵලදායීව කළමනාකරණය කිරීමත් අත්‍යවශ්‍ය බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේ සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළව වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් සහ ප්‍රසම්පාදන සැලසුම් සකස් කිරීම පිළිබඳ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් පසුගිය 20දා කොළඹ පැවති විශේෂ වැඩමුළුවට එක් වෙමිනි.

මෙහිදී ශ්‍රී ලංකාවේ වත්මන් සාර්ව ආර්ථික තත්ත්වය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, අයවැය ප්‍රතිපාදන, රාජ්‍ය ආදායම් සහ වියදම්, රාජ්‍ය ණය කළමනාකරණය සහ 2027 වර්ෂයේ අයවැය සහ සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව පුළුල් අවධානයක් යොමු කෙරිණි.

විශේෂයෙන්ම රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යන අතරම, සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා සීමිත රාජ්‍ය මූල්‍ය සම්පත් නිවැරදි ප්‍රමුඛතා අනුව උපයෝජනය කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි. එමෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මගින් හඳුන්වා දී ඇති මූල්‍ය විනය සහ වගවීමේ රාමුවට අනුකූලව රාජ්‍ය ආයතන සිය වියදම් සහ සංවර්ධන ක්‍රියාකාරකම් සැලසුම් කළ යුතු බවද සාකච්ඡා කෙරිණි.

පැමිණ සිටි නිලධාරීන් පිළිගැනීම සහ අරමුණු පැහැදිලි කිරීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (සංවර්ධන පරිපාලන) එච්.එම්.කේ.ජේ.බී. ගුණරත්න විසින් සිදු කරන ලද අතර, සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළව ක්‍රියාත්මක සැලැස්ම සහ ප්‍රසම්පාදන සැලැස්ම සකස් කිරීමේ මූලික වැදගත්කම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය සහ ආර්ථික කටයුතු) ජී.එම්.ආර්.ඩී. අපොන්සු විසින් පැහැදිලි කරන ලදී.

2027 අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කිරීමට යෝජිත විශේෂ වැදගත්කමක් සහිත නව ව්‍යාපෘති පිළිබඳ සහ 2027 වර්ෂයේ යෝජිත ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ඉදිරිපත් කිරීමක් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) ප්‍රියංකර ජයරත්න විසින් සිදු කරනු ලැබීය.

2027 වර්ෂයේ යෝජිත සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළව ක්‍රියාත්මක සැලසුම් අනුව ප්‍රගතිය ළඟා කර ගැනීම සඳහා යථාර්ථවාදීව සකස් කිරීමේ අවශ්‍යතාව සහ එහිදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව ජනාධිපති අතිරේක ලේකම් (ආහාර සුරක්ෂිතතා සහ ප්‍රතිපත්ති) එන්.එස්. වනසිංහ විසින් නිලධාරීන් දැනුවත් කරන ලදී.

වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් සහ ප්‍රසම්පාදන සැලසුම් අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සහ කාලරාමුව නිවැරදිව හඳුනා ගැනීම, ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඇති විය හැකි ප්‍රමාදයන් අවම කිරීම සහ වෙන් කරන ලද ප්‍රතිපාදන නියමිත කාලය තුළ ඵලදායීව උපයෝජනය කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

සැලසුම් සකස් කිරීමේ සිට ඒවා ක්‍රියාත්මක කිරීම සහ ප්‍රගතිය ඇගයීම දක්වා සෑම අදියරකදීම රාජ්‍ය නිලධාරීන් සතු වගකීම සහ වගවීම තහවුරු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී පෙන්වා දෙන ලදී.

රාජ්‍ය ආයතනවල සැලසුම්කරණ ක්‍රියාවලිය වඩාත් ප්‍රතිඵල කේන්ද්‍රීය කර ගනිමින් රාජ්‍ය සම්පත් නාස්තිය අවම කර, ජනතාවට සෘජු ප්‍රතිලාභ සැලසෙන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන්ගේ වෘත්තීය දැනුම සහ ආයතනික හැකියාවන් ශක්තිමත් කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ විය.

ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී (ප්‍රසම්පාදන) ජී.එස්.කේ. සමරතුංග, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉංජිනේරු සේවා) ඉංජිනේරු අයි.එම්.එස්. බණ්ඩාර, ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉංජිනේරු ආර්.එම්.යූ.පී. අබේසේකර යන නිලධාරීහුද මෙහිදී අදහස් දැක්වූහ.