LSN News › Sri Lanka

මුහුදු රස්සාවේ දී කාලගුණ අනාවැකි නොසලකා හැරීමේ තිත්ත ඇත්ත... බේරුණ ජීවිත මැරෙන්න යන උන්ට කියා දෙන පාඩමක්!

නොසැලකිල්ල, උද්දච්ඡකම, අධි තක්සේරුව හෝ නූගත්කම විසින් නිර්මාණය කරගත් ව්‍යසනයකට අවසානයේ සමාජයක් වන්දි ගෙවන ආකාරයත්, පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ සමහර මුග්ධ තීරණවල ප්‍රතිඵල රජයක නොසලකා හැරීම් ලෙස සමාජ ප්‍රකාශනයන්වන ආකාරයත් මේ සිදුවීම් අනාවරණය කරයි.

LSN Sri Lanka · 1 November 2026

මුහුදු රස්සාවේ දී  කාලගුණ අනාවැකි නොසලකා හැරීමේ තිත්ත ඇත්ත... බේරුණ ජීවිත මැරෙන්න යන උන්ට කියා දෙන පාඩමක්!

අවසානයේ දී ලැබෙන්නේ සැනසුම් සුසුමක් හෙළිය හැකි පුවතකි. ඔවුහු ජීවත්ව සිටිති. ජීවිතය සරි කර දෙන බව සැබෑය. පුංචි සන්දියේ සිට මේ කරදිය සමග ඔට්ටු වෙමින් උස් මහත් වූ බවත් සැබෑය. නමුත් මහා මුහුද යනු ජීවිතය තරම්ම නිශ්ඡිත නැති තැනකි. මරණයේ ගැඹුරු තැන් පෙන්වා දී යළි ජීවිතය ලැබෙන්නේ ඉතාම විරලවය. අද උදේ ඒ පණිවිඩය ලැබිණි.

පසුගිය ඔක්තෝබර් 21 වැනිදා දකුණු පළාතේ කුඩාවැල්ල ධීවර වරායෙන් සිය බහුදින ධීවර යාත්‍රාව පණගන්වාගෙන මුහුදු ගොස් දින ගණනක් තිස්සේ තොරතුරක් රහිතව සිටි ධීවරයින් සිවු දෙනා ගැඹුරු මුහුදේ සුවසේ සිටින බවත්, ඔවුන් ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් අද ධීවර අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කළේය.

එම නිවේදනය එන්නට පෙර අප දකින්නේ කුඩාවැල්ලේ මළ කෙළියකි. ගාලුපාර කුඩාවැල්ලෙන් හරස් කර තිබිණි. අතුරුදහන්වූවන්ට හිතවත් පිරිස් තම සමීපතමයන් සොයා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත වෙමින් සිටියහ. වාහන ගමනාගමනය නැවතිනි. මේ ධිවරයන් අතුරුදහන් වීම සහ බැඳුන කතාව අප කතා කළ යුත්තේ මේ පසුබිම් යථාර්ථයත් සමගය.

ධීවර යාත්‍රාවේ විත්තිය

පසුගිය 21 වැනිදා රැකියාව සඳහා ධීවරයින් සිවු දෙනෙක් සමග පිටත්වන ප්‍රශ්නගත යාත්‍රාව ‘IMUL-A-0022 TLE ලියාපදිංචි අංකය දැරුවේය. කුඩාවැල්ලේ කේ. එච්. සවින්දු (යාත්‍රාවේ හිමිකරු), ඩබ්ලිව්. පී. ප්‍රියන්ත, පී. බී. නිමල්සිරි සහ එල්. වයි. නවුෂ්ක එහි ගමන් ගත් ධීවරයෝ සිවු දෙනා වූහ.

ධීවර යාත්‍රාවක් දියත් කරන විට සැලකිය යුතු මූලික ප්‍රවේශයන් තිබේ. එය නූතන ධීවර රස්සාවේ මූලික විනයකි. මක්නිසාද යත් ඉතාම සුළු අතපසුවිමකින් වන්දි ගෙවන්නට වන්නේ ජිවිතයෙන් වීමය. එය සමාජයක් ලෙස උසුලා ගත යුතු අනවශ්‍ය සමාජ පිරිවැයක් නිර්මාණය කරන්නේය. එමන්ම ඔවුන් යම් ආපදාවකට ලක් වි ජිවතුන් අතර සිටියත් ඔවුන් ඒ අනතුරින් මුදා ගැනීමට අති විශාල ජාතික ධනයක් වැය වන්නේය. එබැවින් කාලගුණ අවවාදයක් පිළිපැදීම එක් අතකට ධීවර වෘත්තිකයෙකුගේ විනයට එහා ගිය වගකිවයුතු වැසියෙකු හැසිරීම පෙන්නුම් කරන්නේය.

කුඩාවැල්ල ධීවර වරායෙන් ඔක්තෝබර් 21 වන දිනය. එදා මේ සිවු දෙනා සිය ධීවර බෝට්ටුව දියත් කර තිබුනේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ සියලුම අවවාද තඹයකට නොසලකාය.

එදින දෙපාර්තමේන්තුව, ත්‍රිකුණාමලයේ සිට හම්බන්තොට දක්වා (කන්කසන්තුරය, කල්පිටිය, කොළඹ හා ගාල්ල හරහා) මුහුදු කලාපවල රළු හෝ ඉතා රළු මුහුදු තත්ත්වයක් ඇති විය හැකි බවට ඇම්බර් අවවාදයක් නිකුත් කර තිබිණි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට පැයට කිලෝමීටර් 60-70 දක්වා තද සුළං ඇති විය හැකි බවත්, ධීවර හා නාවික කටයුතු සිදුකරන අය අවධානයෙන් සිටින ලෙසත් එහි සඳහන් විය.

ඒ අතරම, ශ්‍රී ලංකාව ආසන්නයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බවත්, එය හේතුවෙන් දිවයිනේ සහ අවට මුහුදු කලාපවල වර්ෂාපතනය වැඩි විය හැකි බවත් දෙපාර්තමේන්තුව පුරෝකථනය කළේය. ධීවර ප්‍රජාවට අනාගත කාලගුණ නිවේදන දෙස දැඩි අවධානයෙන් සිටින ලෙස ඉල්ලා තිබුණේය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජන මුදලින් නඩත්තු වන්නේත් එහි විද්වතුන් ලෝකයේ දත්ත සහ කාලගුණ විචලනයන් විද්‍යාත්මකව අධ්‍යයනය කරමින් සමීපව එම තත්ත්යන් සම්බන්ධව දැනුම් දෙන්නේත් මේ ආකාරයේ අකල් ව්‍යසනයන් වළක්වා ගැනීමටය.

අවාසනාව වූයේ ඔවුන් ව්‍යසනය සොයා යෑමය. කාලගුණ අනාවැකිය සනාථ කරමින් මුහුද චන්ඩ වූයේය. එය අර්නාබ් සුළි කුණාටු තත්ත්වය දක්වා වර්ධනය විය. ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් වෙරළ තීරයෙන් ගොඩබිමට කඩා වැදුණු ‘අර්නබ්’ ඉන්දියාව දෙවනත් කළේය. එය ශ්‍රී ලංකාවට ඍජුවම පතිත නොවූව ද මුළු කලාපීය මුහුදම උඩුයටිකුරු විය. පවතින විකල් තත්ත්වය තුළ යාත්‍රාවේ සියලුම සන්නිවේදන කටයුතු සම්පූර්ණයෙන්ම බිඳ වැටිනි.

යාත්‍රාව පිළිබඳ තොරතුරක් නොමැති බවට ධීවර දෙපාර්තමේන්තුවේ සෙවීම් හා මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට වාර්තා වන්නේ මේ සන්නිවේදන පද්ධති බිඳවැටිමත් සමගය. ඒ සමග ඔවුහු අදාළ යාත්‍රාව සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කළහ.

ධීවර අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ අදාළ මුහුදු කලාපයේ ගමන් කළ අනෙකුත් ධීවර යාත්‍රා ඒකාබද්ධ කර ගනිමින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිනි.

අදාල කාලගුණ අනතුරු ඇඟවිම් නොසලකා ගිය ගමන දැවැන්ත අවදානමකට මුහුණ දී තොරතුරක් නැති මට්ටමට පත් වූ පසු ධීවරයින්ගේ ඥාතීහු මාතර තංගල්ල මාර්ගය කුඩාවැල්ල අසලින් අවහිර කර විරෝධතාවයක් ආරම්භ කළහ. මේ මිනිසුන් කියන්නේ තම ඥාතීන් අතුරුදහන්ව දින 11ක් ගත වී ඇති නමුත් ඔවුන් සෙවිමේ කටයුතු නිසි පරිදි සිදු නොවූ බවය. එහෙත් ඒ වනවිටත් නාවික හමුදාව මුල් වී විශේෂ මෙහෙයුමක් දියත් කර තිබිණි.

මේ සාමුහික මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස අද දහවල් ( 2026 නොවැම්බර් 01 ) වන විට පොතුවිල් වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී අදාළ බහුදින යාත්‍රාව සහ එහි ගමන් කළ ධීවරයන් සිව්දෙනා නිරුපද්‍රිතව සොයා ගැනීමට හැකි වූයේය. ඔවුන් සොයා ගන්නා විට ඔවුන්ගේ ඥාතීන් පාර හරස්කොට උද්ඝෝෂණයේ ය.

මේ වනවිට එම ධිවරයින් සමග සම්බන්ධතා ගොඩනගාගෙන තිබේ. ඔවුන් සුවයෙනි. සෞඛ්‍ය තත්ත්වය ද යහපත්ය. ඔවුන්ගේ ඥාතීන් මේ පිරිස යළි ගෙන්වා දෙන තුරු ඉවසිල්ලෙන් සිටිනු ඇතැයි අපේ අපේක්ෂාවය. නොසැලකිල්ල, උද්දච්ඡකම, අධි තක්සේරුව හෝ නූගත්කම විසින් නිර්මාණය කරගත් ව්‍යසනයකට අවසානයේ සමාජයක් වන්දි ගෙවන ආකාරයත්, පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ සමහර මුග්ධ තීරණවල ප්‍රතිඵල රජයක නොසලකා හැරීම් ලෙස සමාජ ප්‍රකාශනයන්වන ආකාරයත් මේ සිදුවීම් අනාවරණය කරයි.

අවසානයේ ප්‍රශ්න කර ඇත්තේ සමාජයක පුරවැසි වගකීම බව කිව යුතුව ඇත.