LSN News › Sri Lanka

පොල්දූවේ දී සේදී ගිය 22ට එරෙහි 24 !

LSN Sri Lanka · 25 September 2026

පොල්දූවේ දී  සේදී ගිය  22ට  එරෙහි 24 !

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි විරෝධතාවක් ඊයේ (24) පාර්ලිමේන්තුව ආසන්නයේ පොල්දූව ප්‍රදේශයේ පැවැත්විණි. ධාරණිපතා වරුසාවය. ඒ වරුසාව දරාගනිමින් සටන් පාඨ පුවරු සහිතව කළු පටි හිසෙහි බැඳගත් පිරිස් සිටියහ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ නායකයෝ පෙරමුණේ වූහ. සටන් පාඨ කියැවෙමින් තිබිණි.

දැන් මේ විරෝධය රටේ දේශපාලන කියැවීම පිළිබඳ වැදගත් සංවාදයක් ඇති කර තිබේ. මක්නිසාද යත් එය මතුපිටින් පෙනුණු රූපරාමුවලට වඩා ගැඹුරු දේශපාලන යථාර්ථයක් නිරූපණය කළ බැවිනි. මක්නිසාද යත් රට අත්දුටුවේ එම භූමියෙන් ප්‍රකාශ වූ 22 වැනි සංශෝධනයට එරෙහි ජනමතයක ප්‍රකාශනයට වඩා ඉහළින් මතුවන විපක්ෂය තුළ පවතින අභ්‍යන්තර බල අරගලය සහ අවිශ්වාසය බැවිනි.

පොදු වේදිකාවේ සිට පක්ෂග්‍රාහී සටනකට

සැප්තැම්බර් 17 වැනිදා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ 22 වැනි සංශෝධනයට එරෙහිව පොදු ප්‍රකාශනයකට අත්සන් තැබූහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂයේ පිරිස් මෙන්ම විවිධ දේශපාලන ප්‍රවාහයන් නියෝජනය කරන සාගර කාරියවසම්, දුමින්ද දිසානායක, රවී කරුණානායක, මුජිබර් රහුමාන්, දයාසිරි ජයසේකර, ජී.එල්. පීරිස් සහ රාජිත සේනාරත්න වැනි නායකයෝ ඊට එක්ව සිටියහ.

එහි මූලික සැලසුම වූයේ සැප්තැම්බර් 24 වැනිදා පක්ෂ පාට භේදයෙන් තොර පුළුල් මහජන විරෝධතාවක් සංවිධානය කිරීමය. ඔවුන් එය හැඳින්වූයේ 22ට එරෙහි 24 ලෙසය. එහෙත් විරෝධතාව පැවැත්වෙන දිනය වන විට එම එකඟතාව සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබිණි.

මෛත්‍රී ගුණරත්න ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ නිදහස් ක්‍රියාකාරී මධ්‍යස්ථානය විරෝධතාවට පෙරදින ඉන් ඉවත් වූයේය. පොදු අරමුණ යටපත් කරමින් එක් දේශපාලන පක්ෂයක පටු න්‍යාය පත්‍රයක් ඉදිරියට පැමිණි බවට ඔවුහු චෝදනා කළහ. අනෙක් අතට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද විරෝධතාව වර්ජනය කළේය. සජබ මන්ත්‍රීවරයකු කළ ප්‍රකාශයකින් අන් පක්ෂ හෙළාදැක තිබූ බවත්, නායකත්වය එය නිවැරදි කිරීමට අපොහොසත් වීම නිසා ආත්මගෞරවය තබාගෙන එම වේදිකාවට යා නොහැකි බවත් එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේය. සාගර කාරියවසම් පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ඉදිරියේ දී පැමිණෙන කරදර මගහරවා ගැනීමට ආණ්ඩුව සමග ඩීල් එකක් සිටින්නේ දැයි දැන් සැකයක් මතුවන බවය. විපක්ෂය විපක්ෂ නායකවරයාව විවේචනය කළේ එවැනි තැනක තබාගෙනය. අවසානයේ දි අප දුටුවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විපක්ෂය අතර එකඟතාවක් තිබුණද, එකට සිට සටන් කිරීමේ සංස්කෘතියක් හෝ අන්‍යෝන්‍ය විශ්වාසයක් නොමැති බවය.

මහජන මතය සහ සැබෑ දේශපාලන සංවාදය

පොල්දූවට පැමිණ සිටි ජනතාව 22 වැනි සංශෝධනයට එරෙහි සටන් පාඨ නැගුවද, පැමිණි සිටි උන් බොහෝ දෙනෙක් තමන් පැමිණ විරෝධය දක්වන්නේ කුමක් සදහාදැයි දැනගෙන නොසිටි බව හෙළි විය. මාධ්‍ය ඔවුන්ගෙන් ඇතැමෙක් ස්ථානීය සම්මුඛ සාකච්ඡාවලට එක් කරගත්හ. තමන් පැමිණ සිටින්නේ කුමකට ද?, තමන් විරුද්ධ වන්නේ කුමකට ද?, 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය කුමක් ද?, ඊට විරුද්ධ වන්නේ ඇයි යන කිසිම තත්ත්වයක් පිළිබඳ අන්දෝසංසාරයක් නොදන්නා මිනිස්සු මාධ්‍ය ඉදිරියේ අසරණ වූහ. බොහෝ දෙනා වියපත් දුගී මිනිසුන් බව පෙනුණි. ඔවුන් මුලුමනින්ම වැසි දියෙන් තෙතබරිතව සිටියේය.

ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහි මහජන මතයකට වඩා පක්ෂයක සංවිධානාත්මක දේශපාලන රැළියක මෙහෙයවීමක් පමණක් රට ඉදිරියේ පෙනුණි. අවසානයේ දී 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂය විසින් ගොඩනැගූ මතය කරලියට පැමිණියේ නැත.

පළපුරුදු විනිසුරුවරුන් සේවයේ තබාගැනීමෙන් නඩු ප්‍රමාදය අවම කරගත හැකි බවට ආණ්ඩුව තර්ක කරන අතර, ධුරයේ සිටින විනිසුරුවරුන්ගේ සේවා කාලයන් මෙලෙස ව්‍යවස්ථා සංශෝධන මගින් වෙනස් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට සහ ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙළට එල්ල කරන බලපෑමක් බවට ප්‍රතිපක්ෂ මත ධාරීන් ගොඩනැගූ තර්කය හරහා මතුවිය යුතු සැබෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විවාදය පොල්දූවේ පැවැති පක්ෂග්‍රාහී දේශපාලන සටන හේතුවෙන් යටපත් වී ගියේය. සජිත් ප්‍රේමදාස පැවසුවේ තමන්ගේ අනාගත ආණ්ඩුවක් යටතේ අහෝසි කර දමන බවය.

රටට සංවේදී ඕනෑම යෝජනාවක් වඩාත් නිවැරදි සහ තියුනු ඉලක්ක වෙත යොමු කර සමාජයකට වැඩදායී ප්‍රවේශයක් හදන්නේ බුද්ධිමය විසංවාදයක් තුළය. මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ප්‍රවේශයක දී වඩාත් ඉහළ හඬකින් යුතුව කෙරෙන ප්‍රශ්න කිරීම අවසානයේ දී රටට වැදගත්ය. කුමණ කෝණයකින් බැලුවත් යථාර්ථය එයය. එහෙත් දුගී දේශපාලනය විසින් අවසානයේ දී රටක ඇතිවිය යුතු බුද්ධිමය සංවාදයක් දේශපාලන විගඩමක් බවට පත් කර පොල්දූව හන්දියේ දී සෝදා දැම්මේය.

“වන් පාටි පාලනයක්“, “ ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර ඒකාධිපති ගමනක්“ මේ ආන්ඩුව යන බවට චෝදනා කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. දෛවෝපගත විහිලුව වන්නේ රටේ ආණ්ඩුවට අකමැති එකෙකුට තමන් විපක්ෂයේ අහවල් පක්ෂයට අයත් බව රෙද්දක් ඇඳගෙන කියන්නට බැරි තැනට විපක්ෂ නායකවරයා විපක්ෂය ගෙන යෑමය. එය විහිලුවකට වඩා වැඩි ඛේදවාචකයක් වන්නේ දේශපාලන විසංවාදයක් බුද්ධිමය තලයක ගොඩනැගෙන්නේ නැති සමාජයක අනාගත ගමන් මග සම්බන්ධව බරපතල ව්‍යසනයක් පැන නැගිය හැකි බැවිනි.