Sport · Sri Lanka Bureau
පරිවර්තන කමිටුවක් ආවත් ක්‍රිකට් පිටිය තවමත් අඳුරේ
ජාත්‍යන්තර තරගාවලි එක පිට එක අසාර්ථක වෙද්දී, ලෝකයේ වෙනත් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල මෙන් අදාළ පුහුණුකරුවන්ගෙන්, කළමනාකරුවන්ගෙන් හෝ තේරීම් කමිටු නිලධාරීන්ගෙන් කිසිදු කරුණු විමසීමක් හෝ පසු විපරමක් සිදු නොකරන එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. 'පරිවර්තන කමිටුවක්' පත් කළද, ශ්‍රී ලංකා ක්‍රිකට් පිටිය තුළ නම් කිසිදු පරිවර්තනයක් මෙතෙක් සිදු වී නොමැති බව පැහැදිලිව පෙනේ.
LSN Sri Lanka ·
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ මට්ටම දැඩි ලෙස පහත වැටීම හේතුවෙන් ජනාධිපතිවරයාගේම සෘජු මැදිහත්වීම මත ෂම්මි සිල්වා ඇතුළු හිටපු පාලකයන්ට ඉල්ලා අස්වීමට ඉඩ සලසා ඒ වෙනුවට 'පරිවර්තන කමිටුවක්' පත් කිරීමට පියවර ගැනිණි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නොමඟ යැවීම සඳහා මෙය 'පරිවර්තන කමිටුවක්' ලෙස නම් කළද, සැබෑ ලෙසම එය අතුරු කමිටුවකි. එය සෘජුවම අතුරු කමිටුවක් ලෙස නම් කළේ නම්, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත් කළ අතුරු කමිටුවට අත්වූ ඉරණම මෙවරද අත්වීමට බොහෝ දුරට ඉඩ තිබිණි.

කෙසේ වෙතත්, ඉරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුත් මෙම පරිවර්තන කමිටුව පත් කොට මේ වන විට මාස 5 ක කාලයක් ගත වී ඇතත්, අයි.සී.සී.ය මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට පියවර ගෙන නොමැත. එහෙත් අයි.සී.සී. ප්‍රධාන රැස්වීම් සඳහා ශ්‍රී ලංකාවේ නියෝජනයක් ඇතුළත් නොකිරීමටත්, ශ්‍රී ලංකාවට හිමිවන මූල්‍ය ප්‍රතිපාදන දැඩි පාලනයකට හා කොන්දේසිවලට යටත්ව ලබා දීමටත් ඔවුන් පියවර ගෙන තිබේ. ඒ අතරම, හැකි ඉක්මනින් ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කොට නිලවරණයක් පවත්වන ලෙස දන්වා ඇතත් ඒ සඳහා නිශ්චිත කාලසීමාවක් නියම කර නොමැත. එහෙත් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා චැම්පියන්ස් කුසලාන තරගාවලිය ජේ ෂාගේ බලපෑම මත ඉන්දියාවට රැගෙන යාමට කටයුතු කෙරිණි.

ඉරාන් වික්‍රමරත්නගේ පරිවර්තන කමිටුව පත්වූ විගසම එතෙක් පැවති අනවශ්‍ය වියදම් කෝටි ගණනකින් කපා හැරීමටත්, ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට සහ ක්‍රිකට් පරිපාලනය විවේචනය කළ පුද්ගලයන්ට එරෙහිව පවරා තිබූ නඩු ඉවත් කර ගැනීමටත් පියවර ගත්තේය. එමෙන්ම ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ඉවත් කර, කපිල විජේගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුවක් පැය කිහිපයක් ඇතුළත පත් කෙරිණි.

මේ අතර, උසස් තාක්ෂණ මධ්‍යස්ථානයේ (High Performance Center) වෙනස්කම් රැසක් සිදු කරමින් හිටපු දිස්ත්‍රික් හා පළාත් පුහුණුකරුවන් 35 දෙනෙකු සේවයෙන් ඉවත් කර ඒ වෙනුවට නව පත්වීම් ලබා දෙන ලදී. කෙසේ වෙතත්, මෙම නව පත්වීම් ලබා දීම අසාධාරණ ලෙස සිදු කෙරුණු බවට අභියෝග කරමින් සේවයෙන් ඉවත් කළ පුහුණුකරුවෙකු මේ වන විට අධිකරණය හමුවේ නඩුවක්ද ගොනු කර ඇත.

පරිපාලනයේ මෙවැනි වෙනස්කම් සිදු කළද, නව තේරීම් කමිටුව විසින් තෝරා යවන ලද කාන්තා, කනිෂ්ඨ මෙන්ම ජ්‍යෙෂ්ඨ පිරිමි කණ්ඩායම්වල සියලුම සංචාර මේ දක්වා අසාර්ථක වීම කැපී පෙනෙන කරුණකි. ඔවුන් විසින් තෝරා යැවූ කණ්ඩායම් සහභාගී වූ 17 න් පහළ පාකිස්තානු සංචාරය, 19 න් පහළ ආසියානු කුසලාන සංචාරය, හොංකොං සය සාමාජික සංචාරය, 'ඒ' කණ්ඩායමේ ආසියානු ක්‍රීඩා උළෙලේ සංචාරය මෙන්ම ජාතික කණ්ඩායමේ පාකිස්තානු එක්දින හා විස්සයි විස්ස සංචාරය සහ එංගලන්ත සංචාරයද අතිශයින්ම අසාර්ථක විය.

මෙම පරාජයන් සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ අඩුපාඩු රැසක් බලපා තිබූ අතර, ඇතැම් තේරීම් දැඩි මතභේදයට තුඩු දුන්නේය. කපිල විජේගුණවර්ධනගේ තේරීම් කමිටුවට එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ ඔවුන් දේශීය තරග නොබලන බවත්, ක්‍රීඩකයන් පිළිබඳ ඔවුන්ගේ දැනුම ඉතාමත් අඩු මට්ටමක පවතින බවත්ය. කෙසේ වෙතත්, ක්‍රීඩක කළමනාකරුවන්ගෙන් (Player Managers) කණ්ඩායම් තේරීම් සඳහා මෙතෙක් එල්ල වූ බලපෑම් නම් යම් තරමකට අඩුවී ඇති බවක් වාර්තා වේ.

මෙම දැවැන්ත අසාර්ථක වීම් සඳහා ක්‍රීඩක තේරීම්වල අඩුපාඩු පමණක් නොව තවත් හේතු ගණනාවක් බලපා තිබේ:

අවසන් මොහොතේ කණ්ඩායම් තේරීම: සංචාර සඳහා කණ්ඩායම් අවසන් මොහොතේ නම් කිරීම නිසා ක්‍රීඩකයන්ට තරගාවලියකට සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් නොලැබීම.

යල් පැන ගිය පුහුණුකරුවන් සහ 'මුට්ටි ඇල්ලීම': පුහුණුකරුවන් පත් කිරීමේදී යල් පැන ගිය, අසාර්ථක යැයි හංවඩු ගැසුණු මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ ගැටුම් සහ ගැටලු ඇති කරගත් පුහුණුකරුවන් දිගින් දිගටම යොදා ගැනීම. මෙලෙස පත්වීම් ලබා දෙන්නේ උසස් තාක්ෂණ මධ්‍යස්ථානයේ උසස් නිලධාරීන්ට 'මුට්ටිය අල්ලන' පුහුණුකරුවන්ට බවටද බරපතළ චෝදනාවක් පවතී.

ආගමික නිකායක බලපෑම: 17 න් පහළ ප්‍රධාන පුහුණුකරු වයස්ගත, කල් ඉකුත් වූ සහ අසාර්ථක පුහුණුකරුවෙකු බව දැන දැනත් ඔහුවම දිගින් දිගටම එම තනතුරේ තබා ගැනීමට එක්තරා ආගමික නිකායක බලපෑමක් හේතු වී ඇති බවටද චෝදනා එල්ල වේ.

කාන්තා කණ්ඩායමේ අර්බුද: කාන්තා කණ්ඩායමේ එක් සහායක පුහුණුකරුවෙකුට සහ කළමනාකාරිනියට ක්‍රීඩිකාවන්ගෙන් චෝදනා රැසක් එල්ල වී තිබූ අතර, මෙවර නැගී එන ක්‍රීඩිකාවන්ගේ ආසියානු කුසලාන සංචාරයෙන් ඔවුන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

වගකීම් විරහිත නිලධාරීන්: ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ කළමනාකරු ක්‍රීඩකයන් පවා ගණන් නොගන්නා 'ජෝකරයෙකු' බවට පත්ව ඇතත්, වසර පහකටත් වැඩි කාලයක් තිස්සේ ඔහු තවමත් එම තනතුරේම රැඳී සිටී.

අවිධිමත් පැවරීම් සහ පෞද්ගලික සංචාර: පසුගියදා පැවති 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියට සූදානම් වෙමින් සිටියදී, එහි ප්‍රධාන පුහුණුකරුට බස්නාහිර පළාත් පුහුණුකරු ධුරයත්, එහි 15 න් පහළ ක්‍රීඩකයන් තෝරා ගැනීමේ වගකීමත් පවරා තිබිණි. එමෙන්ම, මෙරට 17 න් පහළ සුපිරි පළාත් තරගාවලිය පැවැත්වෙද්දී කනිෂ්ඨ තේරීම් කමිටු සභාපතිවරයා මාසයක පමණ කාලයක් 50 න් ඉහළ තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා කැනඩාවට ගොස් සිටියේය.

මෙලෙස ජාත්‍යන්තර තරගාවලි එක පිට එක අසාර්ථක වෙද්දී, ලෝකයේ වෙනත් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල මෙන් අදාළ පුහුණුකරුවන්ගෙන්, කළමනාකරුවන්ගෙන් හෝ තේරීම් කමිටු නිලධාරීන්ගෙන් කිසිදු කරුණු විමසීමක් හෝ පසු විපරමක් සිදු නොකරන එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. 'පරිවර්තන කමිටුවක්' පත් කළද, ශ්‍රී ලංකා ක්‍රිකට් පිටිය තුළ නම් කිසිදු පරිවර්තනයක් මෙතෙක් සිදු වී නොමැති බව ඉතා පැහැදිලිය.