LSN News › Sri Lanka

බාලවයස්කාර දැරියන් ගැබ්ගත් විට ප්‍රතිකාර ලබා ගැනීමට බිය වන්න එපා: වෛද්‍යවරුන්ට පොලිසියට වාර්තා කිරීමේ නෛතික බැඳීමක් නෑ... වෛද්‍ය, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ පවසයි!

බාලවයස්කාර දැරියක් ගැබ්ගත් විට නීතියට බියෙන් රෝහල් ගත නොකර හොර රහසේ දරු ප්‍රසූතිය සිදු කිරීමට යාමෙන් ජීවිත දෙකක් අනතුරේ වැටිය හැකිය. නමුත් එවැනි දරුවන්ට ප්‍රතිකාර කිරීමේදී පොලිසියට වාර්තා කිරීමේ ඍජු නෛතික බැඳීමක් වෛද්‍යවරුන්ට නොමැති බව නීතිපතිවරයා දැනුම් දී ඇතැයි වෛද්‍ය, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ පෙන්වා දෙයි. උඩුදුම්බර සිද්ධියත් සමඟ සමාජයම දැනුවත් විය යුතු වැදගත් නෛතික පැහැදිලි කිරීමක්...

LSN Sri Lanka · 15 November 2026

බාලවයස්කාර දැරියන් ගැබ්ගත් විට ප්‍රතිකාර ලබා ගැනීමට බිය වන්න එපා: වෛද්‍යවරුන්ට පොලිසියට වාර්තා කිරීමේ නෛතික බැඳීමක් නෑ... වෛද්‍ය, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ පවසයි!

වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු සමඟ ඇගේ කැමැත්ත ඇතිව හෝ නොමැතිව ලිංගිකව හැසිරීම ව්‍යවස්ථාපිත වරදක් ලෙස අර්ථ නිරූපණය කර තිබුණද, එවැනි දරුවෙකු ගැබිණියක් වූ අවස්ථාවක දරුවාගේ සහ ඇගේ කුසයේ සිටින දරුවාගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පොලීසියට කරුණු වාර්තා නොකර සිටීමේ නෛතික හැකියාවක් ඇයට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාට තිබෙන බව වෛද්‍ය, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ පවසයි.

මේ නිසා මෙවැනි දරුවෙකු හදිසි ගැබ් ගැනීමකට ලක්වුවහොත් රෝහල් ගතකර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කිසිවෙකුත් බිය විය යුතු නැතැයිද ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු කීය.

උඩුදුම්බර නකල්ස් රක්ෂිතයේ ගල් ගුහාවක් තුළ පහළොස් හැවිරිදි දැරියක් දරුවෙකු ප්‍රසූත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මෙසේද පැවසුවේය:

"වයස අවුරුදු 16 ට අඩු දැරියක් සමඟ ඇගේ කැමැත්ත ඇතිව හෝ නොමැතිව ලිංගිකව එකතු වීම ව්‍යවස්ථාවට අනුකූලව බරපතළ වරදක්. එසේ වුවහොත් එයට අධිකරණය මගින් ස්ත්‍රී දූෂණය නැමැති වරද යටතේ අවුරුදු 10 සිට අවුරුදු 20 දක්වා බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට පුළුවන්.

මෙම වයසේ සිටින දරුවන් ප්‍රේම සම්බන්ධතා පවත්වලා හදිසි ගැබ් ගැනීම් වලට ලක් වෙනවා. මෙවැනි දරුවන් අද වගේම එදත් සායන වලට පැමිණියා. ඒ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරු මෙන්ම පවුල් සෞඛ්‍ය සේවිකාවන් දන්නවා. ළමයෙක් ගැබිණියක් බවට පත් කිරීම ව්‍යවස්ථාපිත වරදක් නිසා එවැනි වරදක් සිදුව තිබෙන බවට දැනුවත් වූ අවස්ථාවක ඒ බව පොලීසියට දැනුම් දෙන්න අපි කවුරුත් බැඳී සිටිනවා. එසේ නොකරන්නේ නම් ඒක වරදක් ලෙස සැලකිය හැකියි.

මේ ආකාරයෙන් අවුරුදු 16 ට අඩු දරුවන් ගැබිණි තත්ත්වයට පත්ව රෝහල් කරා පැමිණීමේදී ඒ බව වෛද්‍යවරු පොලිසියට දැනුම් දීමට කටයුතු කිරීමත් සමඟ සිදුවුණේ, එවැනි තත්ත්වයට පත්වූ දරුවන් ප්‍රතිකාර නොගෙන හැකි තරම් වෛද්‍යවරුන් හමුවට යෑමෙන් වැළකී සිටීමයි. උඩුදුම්බර නකල්ස් සිද්ධියත් මීට සමානයි.

මෙම තත්ත්වය නිසා මවක් වීමට සිටින දරුවාත් ඇගේ කුස තුළ සිටින දරුවාත් යන දෙදෙනාගේම ජීවිතයට තර්ජනයක් එල්ල වන තත්ත්වයක් පැහැදිලිව ඇතිවීම නිසා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරු මේ බව නීතිපතිවරයාට ලිඛිතව දැනුම් දෙමින් විමසා සිටියේ එවැනි සිදුවීමක් දැනුම් නොදීම නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමට හේතු වන්නේද යන්නයි.

නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර දැනුම් දී ඇත්තේ වෛද්‍යවරුන්ගේ ප්‍රධාන රාජකාරිය වන්නේ මෙවැනි තත්ත්වයට පත්වූ දරුවෙකුට හා ඇගේ කුසයේ සිටින දරුවාගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වෛද්‍යාධාර ලබාදීම බැවින්, ඒ පිළිබඳව පොලීසියට දැනුම් දීමේ ඍජු වගකීමක් වෛද්‍යවරයාට හා රෝහල් කාර්ය මණ්ඩලයට නොමැති බවයි. මේ නිසා එවැනි සිදුවීමක් පොලීසියට දැනුම් නොදීම මුල්කර ගනිමින් වෛද්‍යවරයාට හෝ රෝහල් කාර්ය මණ්ඩලයට විරුද්ධව නීති මගින් කටයුතු නොකරන බව නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා.

මෙම තත්ත්වය නොදැන ඇතැම් වැඩිහිටියන් පවා බාල වයස්කාර දරුවන් ගැබ්ගත් අවස්ථාවල රෝහල් ගත නොකර දරුවා නැති කිරීමට හෝ ප්‍රසූතිය හොර රහසේ කිරීමට උත්සාහ කරනවා. මේ නිසා දරුවන් දෙදෙනෙකුගේ ජීවිත දැඩි අවදානමකට ලක් වෙනවා.

වයස අවුරුදු 16 ට අඩු දරුවෙක් ළමයෙකු බිහි කිරීමට තරම් ශක්තිමත් නැහැ. මේ ආකාර නීති හඳුන්වා දී තිබෙන්නේ ඒ නිසයි. මේ නීති හඳුන්වා දී තිබෙන්නේ ඇයි කියන කාරණය අපි මුලින් තේරුම් ගත යුතුයි. ඒ නිසා නීතිය ආරක්ෂා කිරීම තමයි මූලිකවම වැදගත් කාරණය. කොහොම වුණත් යම් යම් අවස්ථාවල මේ නීතිය බිඳ වැටෙන අවස්ථා තිබෙනවා. උඩුදුම්බර සිද්ධිය ඊට එක් උදාහරණයක්. දැනුවත්ව හෝ නොදැනුවත්ව එවැනි තත්ත්වයකට දරුවෙක් පත් වුණොත් රෝහලකට ගොස් ප්‍රතිකාර ගැනීමට කිසිවෙකුත් බිය විය යුතු නැහැ. මේ සම්බන්ධව වැඩිහිටියන්ද නිසි ආකාරයෙන් දැනුවත්ව සිටිය යුතුයි."