LSN News › Sri Lanka

රජය කෙරෙහි ජනතා විශ්වාසය මාස පහක් තුළ දැවැන්ත ලෙස බිඳ වැටිලා - ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී දත්ත සහිතව හෙළි කරයි!

රජය කෙරෙහි ජනතා විශ්වාසය මාස කිහිපයක් තුළ 64% සිට 42% දක්වා කඩා වැටී ඇති බවත්, භාණ්ඩාගාරයේ මුදල් තිබුණද ජනතාව අත මුදල් නොමැති බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී අනාවරණය කරයි.

LSN Sri Lanka · 16 November 2026

රජය කෙරෙහි ජනතා විශ්වාසය මාස පහක් තුළ දැවැන්ත ලෙස බිඳ වැටිලා - ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී දත්ත සහිතව හෙළි කරයි!

රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින්නේ යැයි විශ්වාස කළ ජනතා ප්‍රතිශතය 2026 පෙබරවාරි මාසයේ පැවති සියයට 64 සිට ජූලි මාසය වන විට සියයට 42 දක්වා පහත වැටී ඇති බවත්, රජයේ සමස්ත වැඩපිළිවෙළ පිළිබඳ තෘප්තිමත් වූ පිරිස එම කාලය තුළ සියයට 59 සිට සියයට 38 දක්වා කඩා වැටී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (16) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් 2026 වසරේ පවත්වන ලද 'Mood of the Nation' සමීක්ෂණ වාර්තා උපුටා දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මේ වන විට රජය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටී ඇති බවත්, පැවැත්වෙන සෑම සමුපකාර ඡන්දයකින්ම රජය පරාජයට පත්වන අතර පළාත් පාලන ආයතනවල අයවැය පවා පරාජය වෙමින් පවතින බවත් හෙතෙම පෙන්වා දුන්නේය. මෙවැනි පසුබිමක් තුළ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවට කිසිදු වුවමනාවක් නොමැති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

2026 වසරේ දී රජයේ ආදායම රුපියල් කෝටි 5,90,000කින් ඉහළ ගොස් භාණ්ඩාගාරය තුළ මුදල් රැස්වී තිබුණ ද, ජනතාවගේ අතේ මුදල් නොමැති වීම බරපතළ ගැටලුවක් බව ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කළේය.

බත් කන රාජ්‍ය සේවකයන් 'බත් බැලයන්' ලෙස නොසිතිය යුතු බවත්, ඔවුන් ආණ්ඩුව ලබා දුන් පොරොන්දු විශ්වාස කරමින් ගැඹුරින් විශ්ලේෂණය කර ඡන්දය ලබා දුන් පිරිසක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. 2019 වසරේ රට භාරගත් ගෝඨාභය රාජපක්ෂගේ කණ්ඩායම රට බංකොලොත් කළ බව සියලු දෙනා පිළිගන්නා බව පැවසූ හෙතෙම, අතුලසිරි සමරකෝන්, නෙවිස් මොරායස්, මහීම් මෙන්ඩිස් සහ චන්ද්‍රා ජයරත්න යන පිරිස ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල්, පී.බී. ජයසුන්දර, ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, එස්.ආර්. ආටිගල සහ සමන්ත කුමාරසිංහ යන පිරිස වගකිවයුත්තන් ලෙස නම් කළ බව ද සිහිපත් කළේය. එබැවින් සියලු දෙනාටම එම චෝදනාව එල්ල කිරීම සාධාරණ නොවන බව මන්ත්‍රීවරයා පැවසීය.

වසර 76ක් පුරා රට තුළ කිසිවක් සිදු නොවූ බවට ඇතැමුන් චෝදනා කළ ද, 1948 නිදහස ලබන විට සියයට 45ත් 50ත් අතර පැවති දරිද්‍රතාවය 2019 ගෘහස්ථ ආදායම් සහ වියදම් සමීක්ෂණය (HIES) වන විට සියයට 11.9 දක්වා අඩු කර ගැනීමට හැකි වූ බව ඔහු පෙන්වා දුන්නේය. 2022 අර්බුද සමයේ දී එය සියයට 25ක් පමණ දක්වා ඉහළ ගිය බවට උපකල්පනය කළ ද, පසුගිය රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ එක්ව රාජ්‍ය මූල්‍ය විනය ඇති කරමින් සියයට 70ක පැවති උද්ධමනය සියයට බිංදුව දක්වාත්, රුපියල් 370ක් වූ ඩොලරය රුපියල් 292 දක්වාත් පහත හෙළමින් ආර්ථිකය ස්ථාවර කළ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පසුගිය සතියේ ඉදිරිපත් කළ 2025 HIES වාර්තාවේ පළමු කාර්තුවේ දත්ත අනුව, අවම කිලෝ කැලරි 2,030ක ආහාර වේලක් හෝ ලබාගත නොහැකි දුප්පත් ජනතාව සියයට 16ක් හෙවත් පුද්ගලයන් 34,19,069ක් සිටින බවත්, ඉන් 29,40,400ක්ම ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා අනාවරණය කළේය. ලෝක බැංකු නිර්ණායක අනුව ඉහළ මධ්‍යම ආදායම් (Upper Middle Income - ඩොලර් 8.40) මට්ටමින් සැලකුවහොත් රටේ ජනගහනයෙන් සියයට 61ක් දුප්පත්කමේ සිටින බව ද හෙතෙම පැවසීය.

තමන් පසුගිය සතියේ කෝට්ටේ හේවාවිතාරණ විද්‍යාලයට ලැප්ටොප් පරිගණක ලබා දීමට ගිය අවස්ථාවේ දී, 6 සිට 13 ශ්‍රේණි දක්වා සිටින සිසුන් 295 දෙනාගෙන් 83 දෙනෙකුටම (සියයට 27කට) දිවා ආහාරය නොමැති බව විදුහල්පතිවරයා කළ සොයා බැලීමක දී තහවුරු වූ බව මන්ත්‍රීවරයා සංවේදීව ප්‍රකාශ කළේය.

සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක ආර්ථික තත්ත්වය පිළිබඳ දත්ත ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, 2019 HIES වාර්තාවට අනුව පවුලක මාසික ආදායම රුපියල් 53,333ක් සහ වියදම රුපියල් 47,544ක් ලෙස පැවති බැවින් මසකට රුපියල් 5,789ක ඉතිරියක් පැවති බවය. එහෙත් ආණ්ඩුව පසුගියදා ඉදිරිපත් කළ 2022 දත්තවලට අනුව මාසික ආදායම රුපියල් 75,882ක් වුවද වියදම රුපියල් 94,057ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව 2019 දී මසකට රුපියල් 5,789ක් ඉතිරි කළ පවුලකට අද වන විට මාසිකව රුපියල් 18,175ක හිඟයකට මුහුණ දීමට සිදුව ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරයා කීවේ මෙන්න මේ අති බහුතර ජනතාවට ජීවත් වීමේ වැඩපිළිවෙළක් මේ අය - වැය තුළ නොමැති බවය. මුදල් භාණ්ඩාගාරයේ තිබුනාට එම මුදල ජනතාව අතරට ගෙන ගොස් සංවර්ධනය ඇති කිරීමේ වැඩ බැරි කම මේ ආණ්ඩුව පසුගිය වසර දෙක තුළම පෙන්වූ බව මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.