LSN News › Sri Lanka

චීවරය නීතියට ඉහළින් තබන්නට ගිය කස්සපගේ කතාවෙන් හෙළිවන සංඝ සමාජයේ අර්බුදය!

චීවරය නීතියට ඉහළින් නැත. චීවරයට හිමි ගෞරවය එය දරන්නාගේ හැසිරීමෙන් තහවුරු විය යුතුය. එම සීමාව බිඳවැටෙන විට අර්බුදයට යන්නේ පුද්ගලයකුගේ භික්ෂූත්වය පමණක් නොවේ. ආගමික ආයතනය කෙරෙහි සමාජය තබා ඇති විශ්වාසයය.

LSN Sri Lanka · 16 November 2026

චීවරය නීතියට ඉහළින් තබන්නට ගිය කස්සපගේ කතාවෙන් හෙළිවන සංඝ සමාජයේ අර්බුදය!

බලංගොඩ කස්සප හිමියන්ගේ හැසිරීම දැන් භික්ෂුවකගේ විනය පිළිබඳ ප්‍රශ්නය ඉක්මවා ගොස් තිබේ. එය ශ්‍රී ලංකාවේ ආගමික අධිකාරිය, රාජ්‍ය නීතිය සහ දේශපාලන බලය අතර පවතින ගැටුමක් නිරාවරණය කර ඇත. වඩාත් බරපතළ කාරණය ඔහු රක්ෂිත බන්ධනාගාරගත වීම නොවේ. චීවරය දරන පුද්ගලයකුට රාජ්‍ය නීතියෙන් නිදහස්ව හැසිරීමට විශේෂ අයිතියක් ඇතැයි සමාජය ඉදිරියේ තහවුරු කිරීමට ගත් උත්සාහය ය.

නීතියට ඉහළින් සිටින්නේ කවුද‍

තමන් යටත් වන්නේ සංඝාධිකරණයකට පමණක් බවත් ලෞකික අධිකරණයකට යටත් නොවන බවත් කස්සප හිමියන් ප්‍රකාශ කළේය. බෞද්ධ භික්ෂුවකගේ විනය පාලනයට සංඝ සම්ප්‍රදායක් තිබේ. එහෙත් එය රාජ්‍යයේ අපරාධ නීතියට ආදේශකයක් නොවේ. චීවරය දරා සිටීමෙන් කිසිවකුට අධිකරණ නියෝග නොසලකා හැරීමේ වරප්‍රසාදයක් හිමි නොවේ. එය ඉතිහාසය සනාථ කරන කථාවකි. හන ගසා ශාසනයෙන් නෙරපීමේ සිට මරණීය දණ්ඩනය දක්වා දඬුවම්වලට රාජ්‍යයේ නීතිය කඩ කළ භික්ෂූන් ලක් කළ අවස්ථා අපේ ඉතිහාසයේ ඕනෑ තරම් තිබේ. චීවරයට දේශපාලන රැකවරණය ලැබෙන සමාජ පෙළඹුම තීන්දු කරන සීමාවන් තිබිණි. මේ ඉතිහාසය දැනගන්නට තරම් කස්සපලාට අධ්‍යාපනයක් තිබුණේ දැයි අප දන්නේ නැත.

ඔහු අධිකරණ නියෝග දෙකක් නොතකා විරෝධතාවයේ යෙදුනේය. නිශ්චිත නඩුවක් සඳහා අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුව තිබිය දී අධිකරණයට ඉදිරිපත් නොවී උපාවාස කර වරෙන්තු ලැබුවේය. වරෙන්තු පිටත් උපවාස කළේය. උපවාසය අතර පොලිසියට තිත්ත කතාවෙන් බනිමින් පොලු කරකවමින් සිවිල් මිනිස්සුන්ට සටනට අභියෝග කළේය. තවත් භික්ෂුවක් සමග ගැටුමක් ඇති කරගෙන එම භික්ෂුවගේ හිසට පොල්ලකින් පහරදී මැහුම් 12ක් දමන තුවාලයක් සිදුකළ කණ්ඩායමේ සිටියේය. අනතුරුව පොලිස් අත් අඩංගුවට පත් විය.

අනුරාධපුර බන්ධනාගාරයෙන් ත්‍රී කුණාමලය අධිකරණයට යොමු කළ කස්සප මේ වනවිට සිටින්නේ ත්‍රි කුණාමලය අධිකරණ නියෝගයක් මත බන්ධනාගාරගතවය. අද (17) වනතුරු ඔහු බන්ධනාගාරයේය. අධිකරණය අභියෝගයට ලක් කරමින් සෙල්ලම් කරන්නට ගිය පුද්ගලයෙක් අධිකරණ ක්‍රියාවලියට නතු වූ විට අනුගමනය කරනු ලබන පටිපාටිය ඔස්සේ මේ වනවිට කස්සප පියනගමින් ඇත. ඔහුව ස්පොන්සර් කළ බව පෙනෙන පාර්ශව දැන් නොපෙනේ. දේශපාලනයේ හැළි වලං බෑමට කස්සප ගේ චිවරය භාවිත කළ පිරිස් නැත. හුදකලාව ගැටලුවට මුහුණ දිමට සිදුවන යථාර්ථයට ඔහු මුහුණ දී සිටී.

රෝහලේදී හෙළිවූ හැසිරීම

අනුරාධපුර අධිකරණයෙන් නියෝග කර තිබුණේ අත් අඩංගුවට ගත් කස්සප හිමි ඇතුළු කණ්ඩායම මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට ලක් කරන ලෙසත් මානසික පරීක්ෂණයට යොමු කරවන ලෙසත්ය. කස්සප හිමියන් රෝහලේ දී රුධිර පරීක්ෂාවට ඉඩ දුන්නේ නැත. හේ කෑගසමින් පොලිස් නිලධාරීන්ට තර්ජනය කරන ආකාරය දැක්වෙන දෘශ්‍ය සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධ විය.

අනුරාධපුර රුවන්වැලිසෑය ආශ්‍රිත ගැටුම පිළිබඳ විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට මේ වනවිට නියෝග කර තිබේ. මේ පරීක්ෂණය මේ ගැටුම ඇති කරගත් භික්ෂූන් දෙපාර්ශවයේම හැසිරිම අනාවරණය කරනු ඇත. අවසානයේ දි එය ප්‍රශ්න කරනු ඇත්තේ පුරවැසියෙකුගේ නෛතික හා සදාචාරාත්මක සිමාවය. .

භික්ෂුවකගෙන් සමාජය අපේක්ෂා කරන්නේ සංයමයය. ගැටුමක් සමනය කිරීමේ හැකියාවය. එහෙත් භික්ෂුවම ගැටුමේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වී තර්ජනාත්මක හැසිරීම් ප්‍රදර්ශනය කරන්නේ නම් එය සමාජය තුළ ඇති කරන සදාචාරාත්මක කම්පනය සුලු පටු නැත.

චීවරය දේශපාලන බලයක් වීම

ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය චීවරයට විශේෂ ගෞරවයක් දක්වයි. එම ගෞරවය ගොඩනැගී ඇත්තේ සංයමය, අල්පේච්ඡතාව, කරුණාව සහ විනය පිළිබඳ සමාජ අපේක්ෂාවන් මතය. ඉතිහාසයෙන් ලද ඒ උත්තුංග සංස්කෘතික වටිනාකම හරහා උපදින ගෞරවය පුද්ගලික බලයක් ලෙස භාවිත කරන විට එහි ස්වභාවය වෙනස් වේ. සමාජ විද්‍යාත්මකව මෙය සංකේතාත්මක ප්‍රාග්ධනය දේශපාලන බලයක් බවට පරිවර්තනය කිරීමකි. චීවරයට හිමි ගෞරවය තම ක්‍රියාවන්ට ප්‍රශ්න කළ නොහැකි සුජාතභාවයක් ලබාදෙන බවට විශ්වාසයක් ගොඩනැගීම එහි ක්‍රමයයි.

එවිට චීවරය දරාගෙන සිටිනා පුද්ගලයාගේ හැසිරීම විවේචනය ආගමට එරෙහි වීමක් ලෙසත්, නීතිය ක්‍රියාත්මක කිරීම භික්ෂූන්ට කරන හිංසනයක් ලෙසත් අර්ථකථනය කිරීමට අවකාශ සැලසේ. එය කරන සමාජ ව්‍යසනයේ තරම අප රුවන්වැලි සෑය ඉදිරියේ දන්සල් භූමියෙහි දුටුවේය.

මහානායක හිමිවරුන්ට කළ හැක්කේ කුමක්ද?

මේ අර්බුදයේ ගැඹුරුම පැත්ත මාවරැල්ලේ භද්දිය හිමියන් ඉදිරිපත් කරන අදහසින් විවෘත වේ.

හරි ටීවී නාලිකාවේ ලහිරු මුදලිගේ සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී උන්වහන්සේ සංඝ නායකත්වයේ සැබෑ බලය පිළිබඳ ප්‍රශ්නය මතු කරති. මහානායක හිමිවරුන්ට මෙවැනි හැසිරීම් පාලනය කිරීමට ප්‍රායෝගික බලයක් නොමැති බවත්, උන්වහන්සේලා දරන්නේ සම්ප්‍රදායික නාමමාත්‍රික තනතුරු බවත් භද්දිය හිමියන්ගේ අදහසයි.

මෙය සංඝ නායකත්වයට එල්ල කරන පුද්ගලික චෝදනාවක් නොවේ. සංඝ සමාජයේ ආයතනික ව්‍යුහය පිළිබඳ විවේචනයකි. සම්ප්‍රදායික ගෞරවය තිබුණද එය විනය ක්‍රියාත්මක කළ හැකි බලයක් බවට පරිවර්තනය නොවන්නේ නම් නායකත්වය සංකේතාත්මක තනතුරකට සීමා වේ. එවිට විනය නොසලකන පුද්ගලයකුට ආගමික අනන්‍යතාව භාවිත කරමින් ස්වාධීන බලයක් ගොඩනගා ගැනීමට අවකාශ ලැබේ.

කස්සප හිමියන්ගේ ප්‍රකාශය සමඟ මෙම තත්ත්වය සසඳන විට බරපතළ පරස්පරයක් හෙළි වේ. රාජ්‍ය අධිකරණයේ බලය ප්‍රතික්ෂේප කරන භික්ෂුවක් තමන් යටත් වන බව කියන සංඝ අධිකාරියට ද ප්‍රායෝගිකව පාලනය කළ නොහැකි නම්, ඔහුගේ හැසිරීම පාලනය වන්නේ මිනිස්සුන්ගෙන් ගුටි කෑමෙනි.

චීවරයේ ගෞරවය රැකෙන්නේ කෙසේද?

භික්ෂුවකට දේශපාලන මතයක් දැරීමටත් සමාජ අසාධාරණයකට එරෙහිව පෙනී සිටිමේ සුජාත හිමිකමක් තිබේ. එම පෙනී සිටීමට මිල කළ නොහැකි සමාජ වටිනාකමක්ද ඇත. එහෙත් භික්ෂුව එහි සීමාව තේරුම් ගත යුතුය. සටන් නිර්මාණය වන්නේ එය සමාජය ඉල්ලා සිටින විට පමණය. එසේ නොමැති විට චිවර දේශපාලන හැලිවළං බාන පඩංගු බවට පත් වන්නේය.

කස්සප හිමියන්ගේ සිදුවීම සමාජයට ඉතිරි කරන්නේ ප්‍රශ්න දෙකකි. සංඝ සමාජයේ අභ්‍යන්තර විනය ක්‍රියාත්මක කළ හැකි ආයතනික පාලනයක් ගොඩනගන්නේ කෙසේද? චීවරයට හිමි ගෞරවය නීතියෙන් නිදහස් වීමේ වරප්‍රසාදයක් බවට පත් කිරීම වළක්වන්නේ කෙසේද? යන්නය.

චීවරය නීතියට ඉහළින් නැත. චීවරයට හිමි ගෞරවය එය දරන්නාගේ හැසිරීමෙන් තහවුරු විය යුතුය. එම සීමාව බිඳවැටෙන විට අර්බුදයට යන්නේ පුද්ගලයකුගේ භික්ෂූත්වය පමණක් නොවේ. ආගමික ආයතනය කෙරෙහි සමාජය තබා ඇති විශ්වාසයය.