සජිත්ට, හර්ෂට සැලියුට් ගසමින් කළ දේ නොකළ දේ සහ කරන්න හදන දේ ගැන ලාල් පාර්ලිමේන්තුවේ දී කළ මසුරන් කතාව...
"ප්‍රශ්නවලට උත්තර හොයනකොට තවත් ප්‍රශ්න එනවා, නතර වුණොත් සමාජය එක තැන පල් වෙනවා" – රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා, දීමනා දෙගුණ කිරීම, සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු සහ බලවේග සංවිධානය කිරීම ගැන ඇමති කේ.ඩී. ලාල් කාන්ත පාර්ලිමේන්තුවේදී කළ කතාව කියවන්න.
LSN Sri Lanka ·

"කාල් මාක්ස් කියලා තියෙනවා 'ඉතිහාසයේ මිනිස්සු ඉස්සරහට ප්‍රශ්න ඇවිල්ලා නැහැ උත්තර නැති; හැබැයි උත්තර හොයනකොට තවත් අතුරු ප්‍රශ්න, වෙනත් ප්‍රශ්න මතු කරනවා'. වෙනස් ප්‍රශ්න මතු නොකරනවා නම් සමාජයේ ඉස්සරහට යාමක් නැහැ. සමාජය නතර වෙනවා, එක තැන පල් වෙනවා. එහෙනම් සමාජ සංවර්ධනය කියන එක එන්නෙම ප්‍රශ්න වලට උත්තර හොයනවා, තව ප්‍රශ්න එනවා කියන තැනින්. නැත්තම් මේක නතර වෙනවනේ. ඉතින් නතර වෙන්නේ නැහැ. අපි සියලුම ප්‍රශ්නවලට උත්තර හොයලා දැන් තියෙන ප්‍රශ්න සමථයකට පත් කළත් තවත් ප්‍රශ්න එනවා. ඒක තමයි දාර්ශනික පදනම."

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත 2027 අයවැය විවාදයට එක්වෙමින් අද (19) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා, දීමනා ඉහළ දැමීම, වෘත්තීය සමිති ව්‍යාපාරය සහ බලවේග සංවිධානය කිරීම පිළිබඳව දීර්ඝ හා විග්රහාත්මක අදහස් දැක්වීමක් සිදු කළේය.

එහිදී අමාත්‍යවරයා මේ වනවිට රාජ්‍ය සේවයේ ඇති වී තිබෙන ප්රශ්නය සම්බන්ධව විපක්ෂ නායකවරයා මතුකළ කරුණු සියල්ල නිවැරදි බව කීවේය. ඉංජිනේරුවරුන්, පශු වෛද්‍යවරුන්, මේ වනවිට ඇති කර තිබෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල තමන්ට දැනෙන බවත් ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සාධාරණ බවත් ඇමතිවරයා පිළිගත්තේය. එහෙත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා විසඳිය හැක්කේ කොමිසමක් මගින් පමණක් බවත් එම කොමිසම මේ වනවිට පත් කර ඇති බවත් ඇමතිවරයා අනාවරණය කළේය. ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

වෘත්තීය සමිතිවල ප්‍රධාන සටන් පාඨ දෙක සහ අයවැය තුනේ ප්‍රතිඵල

වෘත්තීය සමිති ව්‍යාපාරය වසර ගණනාවක් පුරා අඛණ්ඩව ඉදිරියට ගෙන ආ ප්‍රධාන සටන් පාඨ දෙකක් රාජ්‍ය සේවය තුළ පැවති බව අමාත්‍යවරයා සිහිපත් කළේය. ගුරු, වෛද්‍ය, හෙද, පශු වෛද්‍ය ඇතුළු එක් එක් ක්ෂේත්රවලට වෙන වෙනම ගැටලු පැවතියද, ජාතික වශයෙන් පොදුවේ පැවති පළමු සටන් පාඨය වූයේ "එල්ලා ඇති සියලු දීමනා මූලික වැටුපට එකතු කරනු" යන්න බව ඇමතිවරයා අවධාරණය කරනු ලැබුවේය.
"මූලික වැටුප වැඩි කරන්නේ නැහැ. ජීවන වියදම වැඩි වුණාම, වෘත්තීය සමිති ව්‍යාපාරය කෑ ගැහුවාම, සටන් කරාම, පෙළපාලි ගියාම, වැඩ වර්ජනය කරාම කීයක් හරි වැටුපට එල්ලනවා. මෙහෙම එල්ල එල්ලා ආවා. ඒකෙන් රාජ්‍ය සේවකයාට සාධාරණය වෙන්නේ නැහැ. ඒ නිසා තමයි රාජ්‍ය සේවකයා දිගටම කිව්වේ අපේ මූලික වැටුප වැඩි කරන්න කියලා. අපිත් ඒ අරගලයේ හිටියා. පත්‍රිකා බෙදුවා, පෝස්ටර් ගැහුවා, උද්ඝෝෂණ කරා, කඳුළු ගෑස් කෑවා, බැටන් චාර්ජ් කෑවා. රාජ්‍ය සේවය ලොකු කැපකිරීමක් කරලා තමයි මේ ආණ්ඩුව ගෙනාවේ, තැපැල් ඡන්දවලින් ඒක පේනවා. ඒ මූලික ඉල්ලීම 'එල්ලා ඇති දීමනා සියල්ල මූලික වැටුපට එකතු කරනු' කියන එක මේ අයවැය තුනෙන් සම්පූර්ණ කරලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය සේවය තුළ මූලික වැටුප පිළිබඳ සාකච්ඡාව මේ වෙනකොට නැහැ."

ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීම සහ වැටුප් කොමිසමේ කාර්යභාරය

කෙසේ වෙතත්, වෘත්තීය සමිතිවල දෙවැනි සටන් පාඨය වූ "වැඩිවන ජීවන වියදමට අනුව වැටුප් වැඩි කරනු" යන්න තවමත් ඉටු කිරීමට නොහැකි වී ඇති බව අමාත්‍යවරයා අවංකව පිළිගත්තේය.

"ඒක අපි පිළිගන්නවා, ඒක කරන්න ඕන, ඒක අත්‍යවශ්‍යයි. හැබැයි ඒකත් අපිට බේරගන්න වෙන්නේ දැන් පත් කරලා තියෙන වැටුප් කොමිෂන් එක හරහායි. මේක කිසිසේත්ම කල් යන, වාර්තා ඇදි ඇදී යන, කාලය කන්න දාලා තියෙන එකක් නෙමෙයි; ඉක්මනින් විසඳන්න දාලා තියෙන්නේ. සාමාජිකයෝ 15 දෙනෙකුගෙන් යුත් මේ කොමිසමේ සභාපති වෙන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරී අශෝක පීරිස්. ඊට අමතරව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක්, විශ්‍රාම වැටුප් විශේෂඥයෙක්, අධ්‍යාපන අධ්යක්ෂවරයෙක්, ගණකාධිකාරීවරයෙක්, විශේෂඥ වෛද්‍යවරයෙක් සහ හෙද සේවයේ ආචාර්යවරයෙක් ඇතුළු විපක්ෂයට වුණත් පිළිගත හැකි පිරිසක් එහි ඉන්නවා. මේ වෙනකොට වෘත්තීය සමිති 69 ක් විතර කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. දෙසැම්බර් 31ට පෙර සියලු සමිති තමන්ගේ ගැටලු සහ යෝජනා මෙයට ඉදිරිපත් කරන්න."

දීමනා දෙගුණ කිරීමෙන් මතු වූ අලුත් විෂමතාව

මෙවර අයවැයෙන් දීමනා 100%කින් (දෙගුණයකින්) වැඩි කිරීමට යෑම නිසා නව ගැටලුවක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එකම ග්‍රාමසේවා වසමක සේවය කරන නිලධාරීන් සිව්දෙනෙකු උදාහරණයට ගනිමින් එම විෂමතාව පැහැදිලි කළේය.

"මට නම් එක වෙලාවකට හිතෙනවා දීමනා වැඩි කරේ නැත්නම් හොඳයි කියලා. මොකද අපේ සැලසුම තිබුණේ මේ අයවැයෙන් මූලික වැටුප් වැඩි කරලා, ඊළඟ අයවැයෙන් දීමනා විෂමතා ඉවත් කරලා දීමනාවලට යන්නයි. දැන් ගමක වසමක් ඇතුළේ ග්‍රාම නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර (කුපනිස), සමෘද්ධි නිලධාරී සහ සංවර්ධන නිලධාරී (DO) කියන නිලධාරීන් හතර දෙනාම වැඩ කරනවා.

මෙතනදී ග්‍රාම නිලධාරීන්ගේ සහ කුපනිස නිලධාරීන්ගේ ප්‍රාදේශීය කාර්යාල දීමනාව රුපියල් 2,000 සිට 4,000 දක්වාත්, නාගරික කාර්යාල දීමනාව රුපියල් 3,000 සිට 6,000 දක්වාත් 100%කින් වැඩි කරා. සමෘද්ධි නිලධාරීන්ගේ ප්‍රාදේශීය දීමනාව 2,000 සිට 4,000 දක්වාත්, නාගරික දීමනාව 2,500 සිට 5,000 දක්වාත් වැඩි කරා. නමුත් සංවර්ධන නිලධාරීන්ට (DO) කලින් තිබුණේ ප්‍රාදේශීය කාර්යාලයට රුපියල් 750යි, නාගරික කාර්යාලයට රුපියල් 1,000යි. ඒකත් 100%කින් වැඩි කරලා දැන් 1,500 සහ 2,000 කරලා තියෙනවා."

සංවර්ධන නිලධාරීන්ගේ අභිමානය සහ විෂමතාවල ස්වභාවය

සංවර්ධන නිලධාරීන් යනු උපාධිධාරීන් පිරිසක් බැවින්, එකම ගමේ වැඩ කරන අනෙක් නිලධාරීන්ට සාපේක්ෂව තමන්ට අඩු දීමනාවක් ලැබීම ඔවුන්ගේ සමාජ ගෞරවය හා අභිමානය පිළිබඳ ගැටලුවක් බවට පත්ව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

"ග්‍රාම නිලධාරීන් පැය 24ම වැඩ කරනවා, ගමේ ලොකු වැඩ කොටසක් කරනවා, ඒ පැත්ත බලලා ඇති. නමුත් උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ටත් 'අරයට හම්බුණා, අපිට හම්බුණේ නැහැ, අපි කොහොමද සමාජයට මුහුණ දෙන්නේ?' කියලා අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ ඇත්ත පිළිගන්නවා. අසමාන තැනකට සමානව 100%ක් වැඩි කරලා දුන්නම නැවත බිහි වෙන්නේ අසමානත්වයම තමයි. හැබැයි ආණ්ඩුවකට හිතෙන හිතෙන තැනින් විෂමතා ඉවත් කරන්න ගියොත් මුළු රාජ්‍ය සේවයම ඇවිස්සෙනවා. ඒ නිසා දැනට ලබා දී ඇති මේ දෙගුණයක වැඩිවීම භාරගෙන, විෂමතා ඉවත් කිරීම වැටුප් කොමිසම හරහා විසඳා ගැනීමට දෙසැම්බර් 31ට පෙර මැදිහත් වෙන්න කියලා අපි ඉල්ලනවා."

බලවේග සංවිධානය කිරීම සහ වෘත්තීය සමිතිවල සංකීර්ණත්වය

විපක්ෂයට දේශපාලන පාඩමක්ද කියා දුන් අමාත්‍යවරයා, නිකම්ම 'ඡන්ද, ඡන්ද' කියමින් රැස්වීම් පැවැත්වීමෙන් බලය ලබා ගත නොහැකි බවත්, කම්කරු, ශිෂ්‍ය, කාන්තා සහ තරුණ බලවේග සංවිධානය කිරීම තුළ සැබෑ දේශපාලන බලය පවතින බවත් අවධාරණය කළේය.

"අපි බලයට ආවේ බලවේග සංවිධානය කරලා. පුළුවන් නම් විපක්ෂයටත් ඒක කරන්න පුළුවන්. මේ බලවේග අතර දේශපාලනයේ සංකීර්ණම භූමිය තමයි වෘත්තීය සමිති ව්‍යාපාරය. එතන නැති ජාතියක් නැහැ. ප්රගතිශීලී අය වගේම ස්වාධීන නමින් පෙනී ඉඳිමින් රෑට රෑට වෙන වෙන දේශපාලන ව්‍යාපාර එක්ක යටින් වැඩ කරන අයත් ඉන්නවා. ඒ වගේම වෘත්තීය සමිතිවලට පැවැත්ම සඳහා සටන් කරන්නත් ඕන. ඒ නිසා ඔවුන් සාකච්ඡා කළාට, උද්ඝෝෂණ කළාට අපේ කිසිම අමනාපයක් නැහැ; ඒක ඔවුන්ගේ අයිතියක්."

ආහාර පෝෂණය, බිත්තර මිල සහ ආර්ථික ස්ථාවරත්වය

විවාදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වෙතද අවධානය යොමු කළ අමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා කළ කතාවක් අගය කරමින් කාබෝහයිඩ්රේට් සහ ප්‍රෝටීන් පරිභෝජනය ගැනද අදහස් පළ කළේය. ඇමතිවරයා කීවේ හර්ෂ ද සිල්වා ඉතාම වැදගත් සහ ගාම්භීර කතාවක් කළ බවය.

"කාබෝහයිඩ්රේට් පාවිච්චිය අඩු කරන්න කියන එක බෝ නොවන රෝග පාලනයට වැදගත්. එතකොට 'කෝ ප්‍රෝටීන්?' කියලා හර්ෂ අහනවා. අපේ මන්ත්‍රීවරයෙක් කියනවා හාල්මැස්සො මිල අඩු කළානේ කියලා. ඇත්ත... හර්ෂ කිව්ව විදිහට හාල්මැස්සෝ මිල අඩු කිරීම ඒකට එක උත්තරයක් වුනොත් ඒක මදි. ඒත් බිත්තර මිල ලොකු වැඩිවීමක් නැහැ. එය තව ටිකක් අඩු කරගන්න පුළුවන් නම් හොඳයි. බඩඉරිඟු වෙනුවට හාල්වලින් සත්ත්ව ආහාර හදද්දී බිත්තර කහමදයේ පාට අඩු වෙනවා කියලා කිව්වට, ඒකෙන් පෝෂණ ගුණය අඩු වෙන්නේ නැහැ, වර්ණය විතරයි වෙනස් වෙන්නේ; ඒකටත් නිෂ්පාදකයෝ උත්තර හොයාගෙන තියෙනවා. කඩා වැටිච්ච රටක් අපි දැන් යම් පමණකට ස්ථාවර කරගෙන තියෙනවා. ඒ ස්ථාවරය මත ඉඳලා තමයි මේ සියලු ගැටලු විසඳමින් රට ඉදිරියට සංවර්ධනය කරගෙන යන්නේ."

රාජ්‍ය සේවයේ පවතින වැටුප් හා දීමනා විෂමතා පිළිබඳ යථාර්ථය රජය අවංකව පිළිගන්නා බවත්, විශේෂයෙන්ම සංවර්ධන නිලධාරීන් (DO) ඇතුළු සියලු ක්ෂේත්රවල ගැටලු නියෝජනය කරමින් ඒවා විසඳීමට දැනටමත් මැදිහත් වෙමින් සිටින බවත් අමාත්‍යවරයා යළිත් අවධාරණය කළේය. මෙවර අයවැයෙන් සියලු දීමනා 100%කින් හෙවත් දෙගුණයකින් ඉහළ දමා ඇති බැවින් පළමුව එම වැඩිවීම භාරගන්නා ලෙස ඉල්ලා සිටි හෙතෙම, "අසමාන තැනකට සමානව දුන්නම නැවත බිහි වෙන්නේත් අසමානත්වයම බව" අප පිළිගන්නා බවද සඳහන් කළේය.

ඒ අනුව, මෙම සියලු විෂමතා විද්‍යාත්මකව හා ස්ථිරසාරව විසඳා ගැනීම සඳහා පත් කර ඇති වැටුප් කොමිෂන් සභාව හමුවට දෙසැම්බර් 31 වැනිදාට පෙර ගොස් තම යෝජනා ඉදිරිපත් කිරීමට සියලු වෘත්තීය සමිති උනන්දු විය යුතු බව අමාත්‍යවරයා යළිත් පැවසීය. එම කොමිසමේ නිර්දේශ මත පදනම්ව රාජ්‍ය සේවයේ පවතින සියලු ගැටලු නිරාකරණය කර ගැනීමට එක්ව කටයුතු කරමු යැයි යෝජනා කරමින් අමාත්‍යවරයා සිය පාර්ලිමේන්තු දේශනය අවසන් කළේය.