LSN News › Sri Lanka

ජනපති සහ තායිලන්ත නියෝජ්‍ය අගමැති අතර සාකච්ඡා!

දෙරට අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක, කෘෂිකාර්මික සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළහ.

LSN Sri Lanka · 23 November 2026

ජනපති සහ තායිලන්ත නියෝජ්‍ය අගමැති අතර සාකච්ඡා!

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමක් හුවමාරු කර ගනිමින්, ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සිහාසක් පුවැන්ග්කෙට්කියෝ (Sihasak Phuangketkeow) සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ හමුවක් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මහනුවර අස්ගිරි මහා විහාරයේ පැවැත්වෙන රාජකීය කඨින චීවර පූජා පුණ්‍යෝත්සවයට සහභාගී වීම සඳහා තායිලන්තයේ මහා වජිරලොංකෝන් රජතුමාගේ රාජකීය නියෝජිතයා ලෙස සිහාසක් පුවැන්ග්කෙට්කියෝ මෙරටට පැමිණ සිටී. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉතා සුහදශීලීව පිළිගනු ලැබීය.

අනතුරුව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන සංස්කෘතික සහ ආගමික සබඳතා සිහිපත් කරමින් නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූහ. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා මෙවැනි රාජ්‍යතාන්ත්‍රික සංචාර මගින් තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කළේය.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට කැමැත්තෙන් පසුවන බව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළ අතර, ලබන වසරේ අගෝස්තු මාසයේ පැවැත්වෙන ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය. එමෙන්ම, ඉදිරියේදී තායිලන්තයේ නිල සංචාරයක නිරත වන ලෙස තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ද ආරාධනා කළේය.

දෙරට අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක, කෘෂිකාර්මික සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළහ.

ඒ අනුව, දෙරට අතර සංචාරක කටයුතු පහසු කිරීම සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමක් හුවමාරු කර ගැනීම තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සිහාසක් පුවැන්ග්කෙට්කියෝ සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර සිදු විය. මෙම ගිවිසුම දෙරටේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට මෙන්ම ව්‍යාපාරික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමට ද මහත් පිටුවහලක් වනු ඇති බව තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විශේෂයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට තායිලන්තය සූදානම් බවත්, ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් කටයුතු කළ හැකි බවත් තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

තායිලන්තයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධනය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය. තම රටේ පුරවැසියන්ට සලකන ආකාරයෙන්ම විදේශීය ශ්‍රමිකයන්ට ද සලකන බව අවධාරණය කළ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති කර නොගත යුතු බව ද සඳහන් කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග ආසියා සහ මධ්‍යම ආසියා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් චමරි රුද්‍රගෝ යන නිලධාරීහු එක්ව සිටියහ.

තායිලන්ත රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපෝන් (Paitoon Mahapannaporn), විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ලේකම් පෝර්න්පොන්ග් කනිට්ටානොන් (Pornpong Kanittanon), දකුණු ආසියානු, මැදපෙරදිග සහ අප්‍රිකානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් උරාසා මොන්ග්කොල්නවින් (Urasa Mongkolnavin), තොරතුරු අධ්‍යක්ෂ ජනරාල් ජයිතායි උපකර්නිටික්සෙට් (Jaithai Upakarnitikset), දකුණු ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ කසෙම්සාන් තොන්ග්සිරි (Kasemsan Thongsiri) සහ ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සඩුඩී පුන්ග්පොන්ග්ඩී (Sadudee Pungpongdee) යන නියෝජිතයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.