අසිරිමත් ශාසනික සිදුවීම් රැසකට මුල් වූ ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ ඓතිහාසික වැදගත්කම!
මෛත්‍රෙය බෝධිසත්ත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැට නම ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කර හැරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීම පිණිස උරුවෙල් දනව්ව බලා වැඩම කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වීම, අගසව් සැරියුත් මාහිමියන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වීම සහ ලක්දිව ප්‍රථම ස්තූපය වන ථූපාරාම චෛත්‍යය ඉදිකිරීමට මුල් වූ දකුණු අකුධාතූන් වහන්සේ වැඩම කරවීමට අදාළ අනුශාසනාව සිදු වීම යනාදී ශාසනික වශයෙන් අතිශය වැදගත් සිදුවීම් රැසක් ඉල් පුන් පොහෝ දිනය හා බැඳී පවතී.
LSN Sri Lanka ·

වස්සාන ඍතුවේ අවසාන පොහොය මෙන්ම චීවර මාසයේ අන්තිම පොහොය ද වන ඉල් පුර පසළොස්වක පොහොය දිනය, සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය හා අතිශය ශ්‍රේෂ්ඨ සිදුවීම් රැසකට මුල් වූ පූජනීය දිනයකි.

මෛත්‍රෙය බෝධිසත්ත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැට නම ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කර හැරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීම පිණිස උරුවෙල් දනව්ව බලා වැඩම කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වීම, අගසව් සැරියුත් මාහිමියන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වීම සහ ලක්දිව ප්‍රථම ස්තූපය වන ථූපාරාම චෛත්‍යය ඉදිකිරීමට මුල් වූ දකුණු අකුධාතූන් වහන්සේ වැඩම කරවීමට අදාළ අනුශාසනාව සිදු වීම යනාදී ශාසනික වශයෙන් අතිශය වැදගත් සිදුවීම් රැසක් ඉල් පුන් පොහෝ දිනය හා බැඳී පවතී. බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන එම විචිත්‍ර සිදුවීම් පෙළ මෙසේය.

මෙත් බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබීම

දේවාවරෝහණ මහා පූජෝත්සවය දැකීමෙන් සහ භාග්‍යවතුන් වහන්සේත් සැරියුත් මාහිමියනුත් අතර ඇති වූ ප්‍රශ්න විසර්ජන ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් පැහැදුණු මෛත්‍රෙය බෝධිසත්ත්වයෝ, වප් පුන් පොහෝ දා දහසක් පමණ වූ පිරිවර ජනයා සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ. මෙයින් සොළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර මතු බුදු වනු පිණිස නියත විවරණ ලබා පෙරුම් දම් පුරමින් පැමිණි උන්වහන්සේ, ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි දෙව්ලොවින් චුත ව සැවැත් නුවරින් තුන් යොදුනක් පමණ දුරින් පිහිටි සංකස්ස නුවර ගැහැවි මහසල් කුලයක සිරිවඩ්ඪ නම් මහ කෙළඹියාට පුත් ව උපත ලැබූහ. දිසාපාමොක් ඇදුරුතුමාගෙන් සියලු ශිල්ප ශාස්ත්‍ර උගත් බෝසත් කුමරුවා, මාපියන්ගේ ඇවෑමෙන් සියලු ධනයට හිමිකරු විය. මහ පිරිවර ඇතිව සැප සම්පත් විඳිමින් සිටියදී, දේවාවරෝහණ සමාගමයෙහි දී දුටු අසිරිමත් බුදු පෙළහරින් ඉමහත් සොම්නසට පත් ව, සියලු ගිහි සම්පත් අතහැර පිරිවර සමඟ බුදු සසුනෙහි පැවිදි බවට පත් වූහ. පැවිද්ද හා උපසම්පදාව ලැබූ ආර්ය මෛත්‍රෙය බෝධිසත්ත්ව භික්ෂූන් වහන්සේ බුදු දහම මැනවින් හදාරා එය සෙසු භික්ෂු සමූහයාට ද ඉගැන්වූහ.

පසු කලෙක චීවර මාසය අවසානයෙහි වස්සග්ගයෙහි දී මාහැඟි වස්ත්‍ර යුගලයක් උන්වහන්සේට ලැබිණි. චීවර දානයේ අනුසස් මැනවින් දත් බෝසතාණන් වහන්සේ, එම වස්ත්‍ර යුගලයෙන් එකක් තථාගතයන් වහන්සේ වැඩ සිටින ගන්ධ කුටියෙහි වියන් කොට බැඳ, අනෙක් වස්ත්‍රය ඉරා වියන් කෙළවර එල්ලා සරසා භාග්‍යවතුන් වහන්සේට පූජා කොට මහා සංඝයා මැද එකත්පස්ව වැඩ සිටියහ.

මෛත්‍රෙය බෝධිසත්ත්වයන් වහන්සේගේ මේ උදාර පුණ්‍ය ක්‍රියාව සර්වඥතා ඥානයෙන් දුටු ගෞතම බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේ අමතා මේ භද්‍ර කල්පයෙහි ම මෛත්‍රෙය නමින් බුදු වන්නේ යැයි නියත විවරණ දී වදාළහ. මහා සංඝයා අමතා බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක:

“මහණෙනි, මේ මාහැඟි වස්ත්‍ර යුගලයකින් බුදුරදුන් පිදූ මේ භික්ෂුව දෙස බලවු. මේ තෙමේ මතු මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රෙය නම් සම්‍යක් සම්බුද්ධ වන්නේ ය. එකල බරණැස් නුවර කේතුමතී නම් රාජධානියක් වෙයි. එහි සංඛ නම් සක්විති රජෙක් වෙයි. ඔහුගේ පුරෝහිත බ්‍රහ්ම නම් බමුණා මෛත්‍රෙය බුදුන්ගේ පියා වෙයි. ඒ පෙරෙවි බමුණාගේ භාර්යාව වූ බ්‍රහ්මවතී නම් බැමිණිය මව වෙයි. නා රුකක් ඒ මෛත්‍රෙය බුදුන්ගේ බෝධිරාජයාණන් වෙයි.”

තමන්ගේ පාරමී අධ්‍යාශය අනාගතයෙහි මස්තකප්රාප්ත වන බව දැන බුද්ධාංකුරයාණන් වහන්සේ මේ විවරණ ශ්රීය දොහොත් මුදුන් තබා පිළිගත් සේක. මහා සංඝයා සාධු නාද පැවැත්වූ අතර, දෙවියන් දිව මලින් පූජා පවත්වමින් ද මිනිසුන් සැණකෙළි පවත්වමින් ද ප්‍රීතිය පළ කළ මෙම මහා පුණ්‍ය ක්‍රියාව සිදු වූයේ ඉල් පුන් පොහෝ දිනයක යැයි බෞද්ධ සාහිත්‍යයේ පැනේ.

ප්‍රථම ධර්මදූත සේවය ආරම්භ කිරීම

බරණැස ඉසිපතනාරාමයෙහි ප්‍රථම වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ, වස් පවාරණය කොට ප්‍රථම ධර්මදූත පිරිස වූ රහතන් වහන්සේලා සැටනම අමතා ලෝක සත්ත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කර හැරියේ ද ඉල් පුන් පොහෝ දිනයක ය. උන්වහන්සේ එහිදී මෙසේ අනුශාසනා කළ සේක:

“චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං, මා එකෙන ද්වෙ අගමිත්ථ, දෙසෙථ භික්ඛවෙ ධම්මං ආදිකල්යාණං මජ්ඣෙ කල්‍යාණං පරියොසාන කල්‍යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙථ”

(“මහණෙනි! බොහෝ දෙනාට හිත පිණිස ද, බොහෝ දෙනාට සැප පිණිස ද, ලොවට අනුකම්පා පිණිස ද, දෙව් මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස ද චාරිකාවෙහි හැසිරෙවු. දෙනමක් එක් මගින් නොයවු. මහණෙනි, මුල, මැද, අවසානය යහපත් වූ අර්ථ සහිත, ව්‍යඤ්ජන සම්පත්තියෙන් පරිපූර්ණ වූ ධර්මය දේශනා කරවු. පිරිසිදු වූ බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරවු.”)

තුන් බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම

ප්‍රථම ධර්මදූත පිරිස සද්ධර්මය පතුරුවා හැරීම පිණිස පිටත් කර යැවූ තථාගතයන් වහන්සේ, උරුවෙල් දනව්වෙහි නේරඤ්ජනා නදිය සමීපයේ ආරාම කරගෙන විසූ තුන් බෑ ජටිලයන් දමනය කිරීම පිණිස වැඩම කරවූයේ ද ඉල් පුන් පොහෝ දිනයක ය.

උරුවේල කාශ්‍යප (පිරිවර 500), නදී කාශ්‍යප (පිරිවර 300) සහ ගයා කාශ්‍යප (පිරිවර 200) යන සහෝදර තාපසයන් තිදෙනාගෙන් වැඩිමහලු උරුවේල කාශ්‍යප තවුසාගේ අසපුවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ, තුන් දහස් පන්සිය සොළොසක් පෙළහර දක්වා ඔහු ඇතුළු පන්සියයක් අතවැසි පිරිස පහදවා සසුනෙහි පැවිදි කළ සේක. පැවිදි වූ ඔවුහු තම ජටා මඬුලු හා තවුස් පිරිකර නේරඤ්ජනා නදියෙහි පා කර හැරියහ.

ගඟෙහි පාවී යන තවුස් පිරිකර දුටු නදී කාශ්‍යප තවුසා, තම වැඩිමහලු සහෝදරයා ඇතුළු පිරිසට අනතුරක් සිදු වී දැයි දැනගනු පිණිස පිරිස සමඟ පැමිණි විට පැවිදි වී සිටි පිරිස දැක පැහැදී තමන් ද තුන්සියයක් පිරිස සමඟ පැවිදි විය. අනතුරුව ගයා කාශ්‍යප තවුසා ද එලෙසම පාවී යන පිරිකර දැක පරීක්ෂා කිරීමට පැමිණ බුදුරදුන්ගෙන් බණ අසා දෙසියයක් අතවැසි පිරිස සමඟ පැවිදි විය. නොබෝ දිනකින් තථාගතයන් වහන්සේ මේ දහසක් ජටිල භික්ෂූන් සමඟ ගයා ශීර්ෂයට වැඩම කොට, එහිදී ආදිත්ත පරියාය සූත්‍රය  දේශනා කොට සියලු දෙනා අර්හත්වයට පත් කළ සේක.

පසුවස් පවාරණය සහ චීවර මාසයේ අවසානය

වස් විසූ භික්ෂූන් වහන්සේ විසින් කළ යුතු පවාරණ විනය කර්මය පෙරවස් පවාරණය සහ පසුවස් පවාරණය යනුවෙන් දෙවැදෑරුම් වේ. ඇසළ පුන් පොහෝ දා පොහොය කොට අවපෑළවිය දා පෙරවස් සමාදන් වූ භික්ෂූහු වප් පුන් පොහෝ දා මහා පවාරණයෙන් පවාරණය කරති. නිකිණි පුන් පොහෝ දා පොහොය කොට අවපෑළවිය දා පසුවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා පවාරණය කරන්නේ ඉල් පුන් පොහෝ දිනයේ ය.
“අනුජානාමි භික්ඛවෙ වස්සං වුත්ථානං භික්ඛුනං තීහි ඨානෙහි පවාරෙතුං දිට්ඨෙනවා සුතෙනවා පරිසංකායවා සා වො භවිස්සති අඤ්ඤමඤ්ඤානු ලොමතා ආපත්ති වුට්ඨානතා විනය පුරෙක්ඛාරතා”

(“මහණෙනි, වස් වැස නිම කළ භික්ෂූන්ට දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් හෝ යන කරුණු තුනින් පවරන්නට අනුදනිමි.”)

වස් විසූ භික්ෂූන් විසින් මෙම පවාරණය අනිවාර්යයෙන් කළ යුතු අතර එය පැහැර හැරීම බුද්ධ ප්රඥප්තියක් කඩ කිරීමකි. මෙම පවාරණ කර්මය දින වශයෙන් තුනක් (චාතුද්දසී, පණ්ණරසී, සාමග්ගි), කාරක වශයෙන් තුනක් (සංඝ, ගණ, පුග්ගල) සහ කර්තව්යකාරක වශයෙන් තුනක් (තෙවාචික, ද්වෙවාචික, ඒකවාචික) වශයෙන් නව වැදෑරුම් වේ. සංඝ පවාරණය සඳහා අවම වශයෙන් භික්ෂූන් පස් නමක් වත් සිටිය යුතු අතර, මෙම කර්මය වප් අවපෑළවියේ සිට ඉල් පුර පසළොස්වක දක්වා වූ දින විසිනවය තුළ සිදු කෙරේ.

එමෙන්ම වප් පුන් පොහෝ දිනෙන් ඇරඹෙන චීවර මාසය අවසන් වන්නේ ද ඉල් පුන් පොහොය දිනෙනි. එබැවින් කඨින චීවර පූජා මහෝත්සව පැවැත්විය හැකි අවසාන දිනය මෙය වේ. ශාසනික වශයෙන් මෙතරම් සරු මාසයක් වුවද, ලක්වැසියන්ට අධික වර්ෂාව, ගංවතුර සහ නායයෑම් වැනි ස්වාභාවික විපත් බහුලව සිදුවන කාලයක් ලෙස ද ඉල් මාසය සැලකේ.

අග්‍රශ්‍රාවක සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය

භාග්‍යවතුන් වහන්සේ පන්සාලිස්වන වස බේලුව ගමෙහි වස් වැස මහා පවාරණයෙන් පසු සැවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළ සේක. එකල්හි ධර්ම සේනාධිපති සාරිපුත්ත අග්‍රශ්‍රාවකයන් වහන්සේ, බුදුරජාණන් වහන්සේට පෙර අග්‍රශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවන් පාන බව ධර්මතාවයෙන් දැන තමන් වහන්සේගේ ආයු සංස්කාරය පරීක්ෂා කළහ. තමන්ට තවත් ඉතිරිව ඇත්තේ දින හතක ආයුෂ පමණක් බව දැනගත් උන්වහන්සේ, එතෙක් රත්නත්‍රය කෙරෙහි නොපැහැදී මිථ්‍යාදෘෂ්ටිකව සිටි සිය මෑණියන් වූ රූපසාරී බැමිණිය මාර්ගඵලාවබෝධයට පත් කරවීම පිණිස තමන් උපන් නිවසට වැඩම කිරීමට තීරණය කළහ.

පන්සියයක් භික්ෂූන් සමඟ බුදුරජාණන් වහන්සේ වෙත එළඹි සැරියුත් මාහිමියෝ මෙසේ සැළ කළහ:

“ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මම දැන් ජරා ජීර්ණ වෙමි. මෙහි නැවත පැමිණීමක් නැත. මේ අන්තිම ගමන යි. මේ මාගේ අන්තිම වැඳීම යි. මාගේ ආයුෂය ස්වල්ප ය. බර උසුලන්නකු බර බිම තබන්නාක් මෙන් මෙයින් සත් දිනක් ගිය තැන මම මේ ශරීරය බහන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ මට අනුදැන වදාරණ සේක්වා. මේ මාගේ පරිනිර්වාණ කාලය යි. මා විසින් ආයු සංස්කාරය හරණ ලදී.”

මගධ ජනපදයේ නාලක ගමෙහි තමන් උපන් ගෙදර ඕවරකයෙහි පිරිනිවන් පාන බව දන්වා, ඍද්ධි ප්රාතිහාර්ය දක්වා ධර්ම දේශනා කළ සැරියුත් මාහිමියෝ, ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ පාමුල දී ප්‍රාර්ථනා කළ බුද්ධ දර්ශනය සම්පූර්ණ වූ බව පවසමින් බුදුරදුන්ට අවසන් වරට වැඳ සමුගත්හ.

සත් දිනක් පුරා අතරමග හමුවූ මිනිසුන්ට අනුග්‍රහ කරමින් වැඩම කළ උන්වහන්සේ, සත්වැනි දිනය වූ ඉල් පුර පසළොස්වක පොහෝ දා සවස් වේලෙහි නාලක ගමට සම්ප්‍රාප්ත වූහ. තම බෑණනුවන් වූ උපරේවත බ්‍රාහ්මණයා මගින් මෑණියන්ට පණිවුඩයක් යවා, තමන් උපන් ඕවරකය සකස් කරවාගෙන එහි වැඩ හිඳ බුදුගුණ වර්ණනා කරමින් සිය මෑණියන්ට ධර්මය දේශනා කළහ. දේශනාව අවසානයේ සාරී බැමිණිය උතුම් සෝවාන් ඵලයෙහි පිහිටියා ය.

"මම මෑණියන් විසින් පෝෂණය කිරීමේ ණයගැති භාවයෙන් මිදුණෙමි" යි සිතමින් සතුටට පත් සැරියුත් මාහිමියෝ, මහපොළොව කම්පා කරවමින් පරිනිර්වාණයට පත් වූ සේක. පසුව බුදුරජාණන් වහන්සේ සැරියුත් මාහිමියන්ගේ ධාතූන් වහන්සේලා තැන්පත් කර ධාතු චෛත්‍යයක් ද කරවූ සේක.

බුදුරජාණන් වහන්සේ වස් විසූ ස්ථාන

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් මුල් අවුරුදු විස්ස තුළ එක් ස්ථානයක නිබඳව නොවැස පහසුකම් අනුව විවිධ ස්ථානයන්හි වස් විසූ සේක. ඒ අනුව;
පළමු වස: බරණැස ඉසිපතනය

2, 3, 4 වස්: රජගහ නුවර වේළුවනාරාමය

5 වන වස: විශාලා මහනුවර කූටාගාර ශාලාව

6 වන වස: මකුල පර්වතය

7 වන වස: තව්තිසා දෙව්ලොව

8 වන වස: භග්ග ජනපදයේ සුංසුමාරගිරි පර්වතය ඇසුරු කළ භේසකලා වනය

9 වන වස: කොසඹෑ නුවර ඝෝෂිතාරාමය

10 වන වස: පාරිලෙය්‍ය වනය

11 වන වස: ඒකනාලා බමුණු ගම

12 වන වස: වේරඤ්ජාව

13, 18, 19 වස්: චාලිය පර්වතය

14 වන වස: සැවැත් නුවර දෙව්රම් වෙහෙර

15 වන වස: කිඹුල්වත් පුර නිග්‍රෝධාරාමය

16 වන වස: අලව් නුවර

17, 20 වස්: රජගහ නුවර වේළුවනාරාමය

ඉතිරි විසිපස් වසරෙන් වසර දහනවයක් සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි ද, සය වසරක් සැවැත් නුවර පූර්වාරාමයෙහි ද වස් විසූ සේක. අනේපිඬු සිටුතුමාගේ සහ විශාඛා මහා උපාසිකාවගේ ශ්රද්ධාවට අනුග්‍රහ පිණිස උන්වහන්සේ සැවැත් නුවර වස් විසිපහක් ම ගත කර තිබේ.

ථූපාරාම චෛත්‍යය ඉදිකිරීම සහ දකුණු අකුධාතූන් වහන්සේ වැඩමවීම

අනුබුදු මිහිඳු මාහිමියන් ඇතුළු ධර්මදූත පිරිස සහ ලංකාවේ ප්‍රථම සිංහල භික්ෂුව වූ අරිට්ඨ මහරහතන් වහන්සේ ඇතුළු සිංහල රහතුන් පනස් හය නම (මුළු රහතන් වහන්සේලා හැටදෙනම) දෙවනපෑතිස් රජුගේ ආරාධනයෙන් මිහින්තලාවේ අටසැට ලෙන්හි වස් එළඹියහ.

වප් පෝය දා වස් පවාරණය කිරීමෙන් අනතුරුව, ලක්වැසියන්ට වැඳුම් පිඳුම් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිදන් කොට චෛත්‍යයක් නිර්මාණය කළ යුතු බව මිහිඳු මාහිමියන් විසින් දෙවනපෑතිස් රජුට අනුශාසනා කරන ලද්දේ ඉල් මස පොහෝ දිනයක ය.

ඒ අනුව සුමන සාමණේරයන් වහන්සේ දඹදිවට වැඩම කොට ධර්මාශෝක අධිරාජයාණන්ගෙන් ලද පාත්‍රයක් පමණ ධාතූන් වහන්සේලා සහ ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් ලද බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතූන් වහන්සේ ලංකාවට වැඩම කරවූහ.

පාත්‍ර ධාතූන් වහන්සේ මිහින්තලාවේ තැන්පත් කොට, දකුණු අකුධාතූන් වහන්සේ අනුරාධපුරයට වැඩමවා දෙවනපෑතිස් රජු ලවා ථූපාරාම චෛත්‍යය ඉදිකරවා එහි නිදන් කරවන ලදී. ලංකාවේ බුදු සසුන පිහිටුවීමෙන් පසු ඉදිකරන ලද ප්‍රථම ස්තූපය ථූපාරාම චෛත්‍යය වේ.