LSN News › Sri Lanka

අද ප්‍රකාශ වුන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ මෙන්න!

2026 නොවැම්බර් 23 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ආර්ථික ප්‍රතිසංස්කරණ, සෞඛ්‍ය, අධ්‍යාපන සහ යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට අදාළ වැදගත් තීරණ අටකට අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව OPEC අරමුදලෙන් ණය ආධාර ලබා ගැනීම, පුත්තලම රෝහල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවර්ධනය කිරීම මෙන්ම ඖෂධ ප්‍රසම්පාදන කටයුතු කිහිපයක් ද ඊට ඇතුළත් වේ.

LSN Sri Lanka · 24 November 2026

අද ප්‍රකාශ වුන  අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ මෙන්න!

01. වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව සහ විවෘතභාවය සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ (Sri Lanka Reforms for Growth, Resilience and Openness) සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම ක්‍රියාත්මක කිරීම පිණිස ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ OPEC අරමුදලේ සහාය ලබා ගැනීම

ශ්‍රී ලංකා රජය විසින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කිරීම, රාජ්‍ය මූල්‍ය තිරසරභාවය සහතික කිරීම සහ තිරසර හා සියල්ලන් ඇතුළත් ආර්ථික වර්ධනයක් සඳහා පදනම සැකසීම අරමුණු කරගත් පුළුල් ආර්ථික ස්ථායීකරණ, ප්‍රකෘතිමත් කිරීමේ සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටී. එකී ප්‍රතිසංස්කරණ වැඩසටහන සහ ප්‍රතිපත්තිමය කැපවීම පිළිබඳ ධනාත්මක ඇගයීමකින් අනතුරුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ OPEC අරමුදල විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක ප්‍රතිපත්ති පාදක ණයක් ලබා දීම පිණිස එකඟතාව පළ කරනු ලැබ ඇත. එකී ණය පහසුකම, සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම (Development Policy Operation) යටතේ ලෝක බැංකුව විසින් සපයනු ලබන මූල්‍ය ආධාරයට සමගාමීව ලබා දීමට නියමිත වී තිබේ. සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 24කින් සහ විශේෂ ප්‍රාග්ධන සම්පත් යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 6කින් සමන්විත එකී ණය මුදල, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ OPEC අරමුදල වෙතින් ලබා ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

02. මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ රාජකීය ආදායම් හා රේගු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව අතර ධාරිතා සංවර්ධනය සඳහා සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම

ලෝක වෙළෙඳ සංවිධානයේ වෙළෙඳාම පහසු කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අදාළව ධාරිතා සංවර්ධනය හා තාක්ෂණික සහාය සඳහා රාමුවක් ස්ථාපනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රේගුව සමඟ ධාරිතා සංවර්ධන සහයෝගිතාව පිළිබඳව අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ රාජකීය ආදායම් හා රේගු දෙපාර්තමේන්තුව විසින් යෝජනා කරනු ලැබ තිබේ. යෝජිත අවබෝධතා ගිවිසුම මඟින් තාක්ෂණික සහයෝගිතාව, ධාරිතා සංවර්ධනය, වැඩමුළු, තාක්ෂණික උපදෙස්, දැනුම හුවමාරුව සහ ඉගෙනුම් සංචාර සඳහා අවස්ථා ඔස්සේ රේගු හා වෙළෙඳාම පහසු කිරීමේ ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත සහාය දීම අපේක්ෂා කෙරේ. ඒ අනුව, මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ රාජකීය ආදායම් හා රේගු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව අතර ධාරිතා සංවර්ධනය සඳහා සහයෝගිතාව පිළිබඳ යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

03. ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිකිරීම් ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකිරීම් කටයුතුවල පළමු අදියර සඳහා සැලසුම් කිරීම, ඉදිකිරීම හා පද්ධති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා 2025-06-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 06ක් ලැබී තිබේ. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව සතුට බිල්ඩර්ස් (පෞද්ගලික) සමාගම වෙත රුපියල් මිලියන 1,699.81ක (බදු රහිත) මුදලකට ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකිරීම් ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

04. පුත්තලම මූලික රෝහල සඳහා සය මහල් ගොඩනැගිල්ලක් ඉදි කිරීම

වයඹ පළාත් සභාව යටතේ පැවති පුත්තලම මූලික රෝහල, සංවර්ධනය කිරීමේ සහ උසස් කිරීමේ අරමුණින් වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ එකඟතාව මත මධ්‍යම රජය වෙත පවරා ගැනීම සඳහා 2026-03-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම රෝහල මඟින් රෝගීන් වෙත ගුණාත්මක සහ අඛණ්ඩ වෛද්‍ය සේවා සැපයීම සහතික කරනු පිණිස එහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය, සායන, කෙටිකාලීන නේවාසික ප්‍රතිකාර ඒකකය, ලේ බැංකුව මෙන්ම රෝග විනිශ්චය සහ රසායනාගාර පහසුකම් සඳහා ඉඩකඩ සලසන, මුළු බිම් ප්‍රමාණය වර්ගමීටර 8,640ක් වූ සය මහල් ගොඩනැගිල්ලක් වසර 04ක් තුළ පුත්තලම මූලික රෝහල සඳහා ඉදි කිරීමට සැලසුම් කර තිබේ. අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති යෝජිත ගොඩනැගිල්ලේ පළමු මහල් ත්‍රිත්වය ඉදිකිරීම පිණිස රුපියල් මිලියන 600ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය සිය එකඟතාව පළ කර ඇත. ඒ අනුව, පුත්තලම මූලික රෝහල සඳහා යෝජිත සය මහල් ගොඩනැගිල්ල ඉදි කිරීම පිණිස වූ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, එහි පළමු මහල් ත්‍රිත්වය ඉදි කිරීම වෙනුවෙන් වන රුපියල් මිලියන 600ක ප්‍රදානය ලබා ගැනීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමට එළඹීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

05. එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4,000 අයියූ/මිලිලීටර 0.4 පෙර පුරවා ඇති එන්නත්/වයල් 920,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය

හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4,000 අයියූ/මිලිලීටර 0.4 පෙර පුරවා ඇති එන්නත්/වයල් 920,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 07ක් ලැබී ඇත. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන චීනයේ Shenzhen Techdow Pharmaceutical Co. Ltd, (Manufacturer: Shenzhen Techdow Pharmaceutical Co. Ltd, China) වෙත පිරිවැය හා ගැල් කුලී මිල ඇතුළත්ව ඇමෙරිකානු ඩොලර් 828,000ක මුදලකට අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

06. බයිපසික් අයිසෝපේන් ඉන්සියුලින් එන්නත් (මිනිස්) බීපී 1,000 අයියූ, මිලිලීටර 10 (30% ද්‍රාව්‍ය 70% අයිසෝපේන්) වයල් 2,700,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය

දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන බයිපසික් අයිසෝපේන් ඉන්සියුලින් එන්නත් (මිනිස්) බීපී 1,000 අයියූ, මිලිලීටර 10 (30% ද්‍රාව්‍ය 70% අයිසෝපේන්) වයල් 2,700,000ක් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 02ක් ලැබී ඇත. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක එකම ලංසුකරු වන ඉන්දියාවේ M.J. Biopharm Private Limited, (Manufacturer: M.J. Biopharm Pvt Ltd., India) වෙත පිරිවැය හා ගැල් කුලී මිල ඇතුළත්ව ඇමෙරිකානු ඩොලර් මිලියන 4.293ක මුදලකට අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

07. පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කිරීම

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා කොටස් 03කින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කිරීමට 2013 වර්ෂයේදී යෝජනා කර තිබුණ ද, මේ වන විට එහි දකුණු පස සිව් මහල් ගොඩනැගිල්ල පමණක් ඉදි කරනු ලැබ ඇත. එකී ගොඩනැගිල්ලේ ඉඩකඩ සහ පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කාර්යාලයේ අංශ විවිධ ස්ථානවල පවත්වාගෙන යාමට සිදුව ඇති අතර, එය පරිපාලන කටයුතු සම්බන්ධීකරණයට හා දිස්ත්‍රික් ලේකම්වරයාගේ සෘජු අධීක්ෂණයට බාධාවක් වී තිබේ. එබැවින්, කාර්යාලයේ අංශ විධිමත්ව ස්ථාපිත කිරීම, පරිපාලන සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, මහජන සේවා පහසු කිරීම සහ දිස්ත්‍රික් මට්ටමේ රැස්වීම් හා සම්මන්ත්‍රණ සඳහා ප්‍රමාණවත් පහසුකම් සැපයීම අරමුණු කර ගනිමින් නවීන පහසුකම් සහිත ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, මහල් 04කින් යුත් නව කාර්යාල ගොඩනැගිල්ලක්, ආසන 1,000කින් සමන්විත ශ්‍රවණාගාරයක් සහ වාහන නැවැත්වීමේ අංගනයක් ඇතුළත්ව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැගිලි සංකීර්ණයක් දැනට පවතින කාර්යාලය පිහිටි භූමිය තුළම ඉදි කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

08. 2007 අංක 26 දරන ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය පනත සංශෝධනය කිරීම

2007 අංක 26 දරන ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය පනතේ විධිවිධාන අනුව අධ්‍යාපන; රාජ්‍ය පරිපාලන; මුදල්; සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු සහ ජාතික ඒකාබද්ධතා විෂයයන් භාර අමාත්‍යාංශයන්හි තත්කාලයේ ධුරය දරන ලේකම්වරුන් ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ කළමනාකරණ මණ්ඩලය සඳහා නිල බලයෙන් පත්වන සාමාජිකයින් වේ. එසේ වුවද, එම නිලධාරීන්ගේ කාර්යබහුලත්වය හේතුවෙන් අදාළ මාසික කළමනාකරණ මණ්ඩල රැස්වීම් සඳහා ඔවුන්ගේ සහභාගිත්වය සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු මතු වන බව නිරීක්ෂණය කර තිබේ. එබැවින්, එම ගැටලු අවම වන පරිදි එකී කළමනාකරණ මණ්ඩලයට නිල බලයෙන් පත් වන සාමාජිකයින් පත් කර ගැනීම සඳහා විධිවිධාන සැලසීමට හැකි වන පරිදි 2007 අංක 26 දරන ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය පනතේ අදාළ වගන්ති සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.