LSN News › Sri Lanka

ක්‍රිකට් ජනතාව අතරට ගෙන ගිය පුරෝගාමීන්ට ලක්ෂ පහක වටිනාකමක්ද?

වසර දෙකක් තුළ නීති කටයුතු සඳහා රුපියල් කෝටි 68ක් වැය කළ බවට එල්ල වන චෝදනාත්, විදේශ සංචාර හා දීමනා වෙනුවෙන් විශාල මුදල් වැය කිරීමත්, ඇතැම් නිලධාරීන්ට සහ උපදේශකයන්ට ගෙවන අධික මාසික දීමනා පිළිබඳව මතුව ඇති විවේචනත් සලකා බලන විට මෙරට ක්‍රිකට් වෙනුවෙන් දශක ගණනාවක් කැපවූ ප්‍රවීණයකුට ලක්ෂ පහකින් සෑහීමකට පත්වීමට සිදුවීම කනගාටුවට කරුණකි.

LSN Sri Lanka · 25 November 2026

ක්‍රිකට් ජනතාව අතරට ගෙන ගිය පුරෝගාමීන්ට ලක්ෂ පහක වටිනාකමක්ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය ගැන කතා කරන විට පාලිත පෙරේරා සහ ප්‍රේමසර ඈපාසිංහ යන නම් දෙක කිසිදා අමතක කළ නොහැකිය. ඔවුන් දෙදෙනා හුදෙක් ක්‍රිකට් විස්තර විචාරකයන් දෙදෙනකු පමණක් නොවේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නගරයේ සීමාවෙන් ඔබ්බට ගෙන ගොස් ගමේ සාමාන්‍ය ජනතාවගේ හදවත්වලට සමීප කළ සන්නිවේදන පුරෝගාමීන් දෙදෙනෙකි.

ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් දිනාගත් යුගයේ සිට ලෝක ක්‍රිකට් ශූරයන් බවට පත්වූ අභිමානවත් ගමන දක්වා වූ ඉතිහාසයේ ඔවුන්ගේ සිංහල ගුවන්විදුලි විස්තර විචාරයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ක්‍රිකට් ක්‍රීඩාව නොදුටු මිනිසුන්ට එය මනසේ මවා පෙන්වීමටත්, ක්‍රීඩාවේ උණුසුම රටේ සෑම ප්‍රදේශයකටම ගෙන යාමටත් ඔවුහු සමත් වූහ.

අද ක්‍රිකට් විස්තර විචාරයේ සාමාන්‍ය භාවිතයක් බවට පත්ව ඇති ජනප්‍රිය සිංහල යෙදුම් රැසක්ද නිර්මාණය වූයේ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය තුළිනි.

කාලය ගෙවී ගොස් ඇත. මේ දෙදෙනාම අද ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටිති. එවැනි පසුබිමක ඔවුන්ගේ අතීත මෙහෙවරට නිසි ගෞරවයක් ලබාදීම ක්‍රිකට් ආයතනයේ වගකීමකි.

පසුගියදා පැවැති ප්‍රේමසර ඈපාසිංහ ඇගයීමේ උත්සවයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහු වෙත රුපියල් ලක්ෂ පහක මුදලක් පිරිනමා තිබුණි. එම ඇගයීම අගය කළ යුතු වුවත්, එහි ප්‍රමාණවත්භාවය පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් මතු වේ.

ලක්ෂ පහක මුදලක් සඳහන් කළ දැවැන්ත ආදර්ශ චෙක්පතක් කැමරා ඉදිරියේ ප්‍රදර්ශනය කරමින් එය ප්‍රදානය කිරීමෙන් පමණක් මෙවැනි විශිෂ්ටයකුට කළ යුතු යුතුකම ඉටුවන්නේද?

ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න ඇතුළු බලධාරීන්ගෙන් විමසිය යුතු ප්‍රශ්නය එයයි.

වසර දෙකක් තුළ නීති කටයුතු සඳහා රුපියල් කෝටි 68ක් වැය කළ බවට එල්ල වන චෝදනාත්, විදේශ සංචාර හා දීමනා වෙනුවෙන් විශාල මුදල් වැය කිරීමත්, ඇතැම් නිලධාරීන්ට සහ උපදේශකයන්ට ගෙවන අධික මාසික දීමනා පිළිබඳව මතුව ඇති විවේචනත් සලකා බලන විට මෙරට ක්‍රිකට් වෙනුවෙන් දශක ගණනාවක් කැපවූ ප්‍රවීණයකුට ලක්ෂ පහකින් සෑහීමකට පත්වීමට සිදුවීම කනගාටුවට කරුණකි.

ක්‍රිකට් ආයතනයේ මුදල් වැය කිරීමේදී මෙතරම් විශාල වියදම් දැරිය හැකි නම්, ක්‍රීඩාවේ ජනප්‍රියත්වය ගොඩනැගීමට ජීවිතයේ හොඳම කාලය කැප කළ පුද්ගලයන් වෙනුවෙන් මීට වඩා සාධාරණ ඇගයීමක් කිරීමට නොහැකි ඇයි?

මීට පෙර ටෙස්ට් තරග සියයක් සඳහා ලකුණු සටහන් කිරීමේ කාර්යයේ නිරත වූ පුද්ගලයකුටද රුපියල් ලක්ෂ පහක මුදලක් පිරිනැමූ බව අපට මතකය. එසේ නම් ක්‍රිකට් ඉතිහාසයේ ජනප්‍රියත්වය ගොඩනැගීමට දායක වූ පුරෝගාමීන්ගේ සේවය තක්සේරු කරන්නේ කුමන මිම්මකින්ද?

ක්‍රිකට් ආයතනය පසුගිය කාලයේ විවිධ පාර්ශ්වයන්ට සහ ක්‍රීඩා සම්බන්ධ කටයුතු සඳහා කෝටි ගණනින් මුදල් වෙන් කළ අවස්ථා අපට අමතක කළ නොහැකිය. එහෙත් සැබෑ ගෞරවය හිමිවිය යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් එවැනි උනන්දුවක් දක්නට නොලැබීම කනගාටුවට කරුණකි.

තවත් වැදගත් ප්‍රශ්නයක් තිබේ.

ප්‍රේමසර ඈපාසිංහට මෙම ඇගයීම ලබාදෙන අවස්ථාව රූපවාහිනියෙන් බලා සිටි පාලිත පෙරේරාගේ සිතට කුමක් දැනෙන්නට ඇත්ද? ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් එකම යුගයක, එකම අරමුණකින්, එක හා සමාන කැපවීමක් කළ අනෙක් දැවැන්තයා අමතක කිරීම සාධාරණද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සැබෑ අවශ්‍යතාවක් තිබුණේ නම් කළ යුතුව තිබුණේ වෙනත් උත්සවයකට ගොස් එක් පුද්ගලයකුට චෙක්පතක් ලබාදීම නොවේ. පාලිත පෙරේරා සහ ප්‍රේමසර ඈපාසිංහ දෙදෙනාම වෙනුවෙන් විශේෂ ඇගයීමේ උත්සවයක් සංවිධානය කිරීමය.

ඔවුන් දෙදෙනාටම අවම වශයෙන් රුපියල් ලක්ෂ 25 බැගින් හෝ පිරිනමා ඔවුන්ගේ සේවයට නිසි ගෞරවයක් ලබාදීමට ක්‍රිකට් ආයතනයට හැකියාව තිබුණි.

එය හුදෙක් මුදල් පරිත්‍යාගයක් නොවේ. දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවයට ලබාදෙන උපහාරයකි. ජීවිතයේ සැඳෑ සමයේ පසුවන ඔවුන්ට අවශ්‍ය ඖෂධ හා අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීමටද එවැනි මුදලක් යම් සහනයක් වනු ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් මුදල් උපයන ආයතනයකට ක්‍රිකට් ක්‍රීඩාව ජනතාව අතරට ගෙන ගිය මිනිසුන් වෙනුවෙන් වියදම් කිරීමට මැළිකමක් තිබිය යුතු නැත.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලාභ උපයන අයට වඩා, ක්‍රිකට් ක්‍රීඩාව ජනතාවගේ හදවත්වලට ගෙන ගිය මිනිසුන්ට ගෞරවය හිමිවිය යුතුය.