LSN News › Sri Lanka

තවමත් නඩු ලක්ෂ දහයකට වඩා අධිකරණවල

LSN Sri Lanka · 26 November 2026

අධිකරණවල ගොඩගැසී තිබූ නඩු 84,000කට වැඩි ප්‍රමාණයකින් අඩු වෙයි - නඩු විසඳීමේ ප්‍රතිශතය 98% දක්වා ඉහළට

තවමත් රටේ අධිකරණවල නඩු 10, 67, 460ක් ගොඩගැසී ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කෙසේ වෙතත් එය 2024 වසරේ දෙසැම්බර් 31වනවිට ගොඩගැසී තිබූ තිබූ නඩු 11, 52, 248ට සාපේක්ෂව නඩු ප්‍රමාණයෙන් 84000ක අඩුවීමක් බවය.

කාලය ගතවීමත් සමඟ අධිකරණ වෙත ගොනුවන නඩු සංඛ්‍යාව සාමාන්‍යයෙන් ඉහළ ගියද, 2026 ජූනි 30 වන විට තවමත් අධිකරණයේ ඇති නඩු 1,067,460ක ප්‍රමාණය සැලකිය යුතු සංඛ්‍යාවක් වුවද ගරු අග්‍රවිනිශ්චයකාරවරයා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිෂන් සභාව සමඟ එක්ව ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළවල ප්‍රතිඵලයක් ලෙස අධිකරණවල ගොඩගැසෙමින් පැවති නඩු සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවන දිශාවට හැරවීමට හැකි වූ බවය.

ඒ අනුව නඩු ලක්ෂ එකොළහේ සීමාවේ පැවති සමස්ත නඩු සංඛ්‍යාව මේ වන විට නඩු 84,788කින් පමණ අඩු වී නඩු ලක්ෂ දහයේ සීමාවට පැමිණ ඇති බවත්, ඉදිරියේදී මෙම ප්‍රමාණය තවදුරටත් පහළ දැමීම රජයේ ඉලක්කය බවත් ඔහු සඳහන් කළේය.

අධිකරණ පද්ධතියේ කාර්ය සාධනය මනින ජාත්‍යන්තරව පිළිගත් දර්ශකය වන 'නඩු විසඳීමේ ප්‍රතිශතය' (Case Clearance Rate) පිළිබඳව කරුණු දැක්වූ අමාත්‍යවරයා, 2024 වර්ෂයේ 95%ක්ව පැවති සමස්ත නඩු විසඳීමේ ප්‍රතිශතය මේ වන විට 98%ක් දක්වා ඉහළ ගොස් ඇති බව පැවසීය. පවරන ලද නඩු සංඛ්‍යාවට සාපේක්ෂව අවසන් කරන ලද නඩු ප්‍රමාණය ගණනය කිරීමෙන් සකස් කරන මෙම දර්ශකය ප්‍රධාන අධිකරණවල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති ආකාරය ඔහු මෙසේ ඉදිරිපත් කළේය.

• ශ්‍රේෂ්ඨාධිකරණය: 166%

• අභියාචනාධිකරණය: 114%

• සිවිල් අභියාචනා මහාධිකරණ: 107%

• අපරාධ නඩු විභාග කරන මහාධිකරණ: 103%

මෙම ප්‍රතිශතය 100% ඉක්මවා යෑමෙන් පෙන්නුම් කරන්නේ අලුතින් ගොනුවන නඩුවලට අමතරව පැරණි ගොඩගැසී තිබූ නඩු (Case Backlog) ද සාර්ථකව අවසන් වෙමින් පවතින බව යැයි අමාත්‍යවරයා පැහැදිලි කළේය.

මෙම ප්‍රගතිය ඉබේ සිදු වූවක් නොවන බවත්, රජය ගත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මෙන්ම ගරු අග්‍රවිනිශ්චයකාරවරයා ප්‍රමුඛ විනිශ්චයකාරවරුන්ගේ සහ අධිකරණ කාර්ය මණ්ඩලයේ කැපවීම ඊට හේතු වූ බවත් ඔහු අවධාරණය කළේය.